එක්දින සුපර් ලීගයට පාකිස්තානයෙන් සාර්ථක ආරම්භයක්

සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය 2020

301

සංචාරක සිම්බාබ්වේ සහ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය අද (30) රාවල්පින්ඩි හිදී පැවැත්විය. එම තරගයෙන් ලකුණු 26ක ජයක් ලබා ගත් පාකිස්තානය තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ දිනා ගන්නා ලදි.

මෙම තරගාවලිය ICC Men’s Cricket World Cup සුපර් ලීගයේ තරගාවලියක් වන අතර කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහරදීම සඳහා අවස්ථාව ලබා ගත්තා. ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 281ක් ලබා ගන්නා ලදි. 

මෙම තරගයේ දී, වේගපන්දු යවන ක්‍රීඩක හැරිස් රෞෆ් පාකිස්තානු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර වරම් දිනා ගත් 225 වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එකතු විය.

පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වූ අබිඩ් අලී සහ ඉමාම් උල් හක් තරගයට සාර්ථක ආරම්භයක් ගත් අතර ඔවුන් දෙදෙනා ලකුණු 47ක ආරම්භක සබඳතාවයක් ගොඩනංවන ලදි. ලකුණු 21ක් ලබා සිටි අලී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට කාල් මුම්බා සමත් විය.  පිටියට පැමිණි නායක බාබර් ලකුණු 19කට දැවී ගියේ පන්දු 18කට මුහුණ දී 4 පහර 3ක් එල්ල කරමිනි.

ලකුණු 89කට කඩුලු 2ක් ලෙස සටහන්ව තිබූ පාකිස්තානු ලකුණු සටහන තවදුරටත් සවිමත් කිරීමේ වගකීම සිය කරට ගත් වමතින් පිතිකරණයේ නිරත වන හැරිස් සොහෙයිල් එතෙක් වෙලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් තණතීරුවේ හැසිරීම අවබෝධ කරගෙන සිටි ඉමාම් උල් හක් සමඟ එකතු වෙමින් තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 30ක සබඳතාවයක් ගොඩනංවන ලදි. 

සාර්ථක ලෙස ගොඩනැඟෙමින් තිබූ එම සබඳතාවය නිමා වූයේ එක්දින ක්‍රිකට් දිවියේ 7 වැනි අර්ධ ශතකය ලබා ගත් ඉමාම් උල් හක් ලකුණු 58ක් ලබාගෙන සිටිය දී දැවී ගිය නිසයි.

කෙසේ නමුත් පාකිස්තානු මැදපෙළ සවිමත් කරමින් පසුපෙළ පිතිකරුවන් සමඟින් සාර්ථක ලෙස සබඳතාවයන් කිහිපයක් ගොඩනංවාගත් වමතින් පිතිකරණයේ නිරත වන හැරිස් සොහෙයිල් 4 පහර 6ක් සහ 6 පහර දෙකක් එල්ල කරමින් පන්දු 82ක දී ලකුණු 71ක් ලබා ගන්නා ලදි. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 14 වැනි අර්ධ ශතකය විය. 

ඉමාඩ් වසීම් නොදැවී ලකුණු 34ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩකයින් වන Tendai Chisoro සහ Blessing Muzarabani අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

තවත් ක්‍රිකට් පුවත්;

ලකුණු 282ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 28ක් තුල දවා ගැනීමට වමතින් වේගපන්දු යවන 20 හැවිරිදි ශහීන් ශා අෆ්රිඩි සමත් වූයේ පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.

ඉන් අනතුරුව කඩුල්ලේ එක්වූ Craig Ervine සහ කඩුලු රකින පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 71ක සබඳතාවයක් ගොඩනංවමින් සිම්බාබ්වේ කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කළේ පාකිස්තානු ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් ලබා දෙමිනි. 4 පහර 6ක් සමඟින් පන්දු 68ක දී ලකුණු 41ක් ලබා ගත් Ervineගේ කඩුල්ල වසීම්ගේ නමට ඉදිරියෙන් සටහන් වන විට ශෝන් විලියම්ස්ගේ කඩුල්ල වහබ් රියාස් විසින් දවා ගත්තේ තරගයේ උණුසුම වැඩි කරමිනි.

අනතුරුව පිටියට පැමිණි Wesley Madhevere ද කඩුල්ලේ ස්ථාවර වෙමින් බ්‍රෙන්ඩන් ටේලර් සමඟ එක්ව පාකිස්තානු ක්‍රීඩකයින්ට දිගින් දිගටම දැඩි අභියෝගයක් ලබා දුන් අතර Madhevere 4 පහර 7ක් එල්ල කරමින් සිය දෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කර ගන්නා ලදි. මෙම තරගයේ ලබා ගත් ලකුණු 55 සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් කර ගත් 20 හැවිරිදි Madhevere ද වහබ් රියාස්ගේ ගොදුරක් බවට පත් විය.

සිම්බාබ්වේ ඉනිමේ ප්‍රධාන සාධකයක් බවට පත්වෙමින් ජයග්‍රහණයක් පිළිබඳව බලාපොරොත්තු රැගෙන ආ ටේලර් 4 පහර 11ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 11 වැනි ශතකය වාර්තා කරගත්තා. 

නමුත් එම සතුට ජයග්‍රහණයක් දක්වා රැගෙන යාමට ඔවුන්ට නොහැකි වූයේ සිම්බාබ්වේ පසුපෙළ පිතිකරුවන්ගේ කඩුලු 5ක් ලකුණු 15ක් තුල දැවී ගිය නිසාවෙනි. අවසානයේ පන්දුවාර 49කුත් පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 255ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශහීන් ශා අෆ්රිඩි ලකුණු 49කට කඩුලු 5ක් දවා ගනිමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවැනි කඩුලු 5 අවස්ථාව ලබා ගන්නා විට, ඔහුට අනගි සහයක් ලබා දුන් වහබ් රියාස් ලකුණු 41කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. පාකිස්තානය තරගය ලකුණු 26කින් ජය ගත් නමුත් තරගයේ වීරයා සම්මානය ශතකයක් ලබා ගත් ටේලර් වෙත හිමි වුනා.

පාකිස්තානය – 281/8 (50): හැරිස් සොහෙයිල් 71, ඉමාම් උල් හක් 58, ඉමාඩ් වසීම් 34*, ෆාහීම් අශ්රෆ් 23, Tendai Chisoro 2/31, Blessing Muzarabani 2/39.

සිම්බාබ්වේ – 255 (49.4): බ්‍රෙන්ඩන් ටේලර් 112, Wesley Madhevere 55, Craig Ervine 41, ශහීන් ශා අෆ්රිඩි 5/49, වහබ් රියාස් 4/41.

තරගයේ වීරයා – බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ)

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය නොවැම්බර් මස 1 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ. පාකිස්තානය මෙම තරගය ජය ගැනීම නිසාවෙන් ICC Men’s Cricket World Cup සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු 10ක් දිනා ගන්නට පාකිස්තානයට හැකි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<