Bio Bubbles ගැන Steve Smithගෙන් මැසිවිලි

523

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක Steve Smith මෙම වසරේ පැවැත්වීමට නියමිත Big Bash තරගාවලියේ සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ජෛව ආරක්ෂිත බුබුලක දීර්ඝ කාලයක් ගත නොකිරීමේ අදහසින් ඔහු මෙවර තරගාවලියෙන් ඉවත්ව ඇත.

මේ දිනවල ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගි වීමට ප්‍රථමයෙන් පසුගිය අගෝස්තු මාසයේ දී Steve Smith ඇතුළු ක්‍රීඩක පිරිස එංගලන්තයේ තරග සංචාරයක නිරත වීම නිසාවෙන් එහිදීත් ඔවුන්ට ජෛව ආරක්ෂිත බුබුලක කටයුතු කිරීමට සිදු වූ අතර ඉන් පසුව ඔහු ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉන්දියානු ප්‍රිමියර් ලීගයට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ එම ජෛව ආරක්ෂිත බුබුල තුළ කටයුතු කිරීමට සිදු විය.

අගෝස්තු මාසයේ සිට සිය නිවසින් ඈත්ව කටයුතු කිරීම ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට බලපාන ආකාරය පිළිබඳව “News Corp” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Steve Smith ප්‍රකාශ කර සිටියේ මෙම ජෛව ආරක්ෂිත බුබුලක දීර්ඝ කාලයක් ගත කිරීම නිසාවෙන් සිදු විය හැකි අහිතකර බලපෑම පිළිබඳව සැලකිල්ලට ගනිමින් තමන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

“මම ඔබට අවංකවම කියනවා, ඇත්තෙන්ම ඒකට කිසිම අවස්ථාවක් නෑ කියලා. මේ බුබුලුවලට හැඩගැහෙන්න අරන් මුල් දවස් තවමත් ගෙවෙන්නේ, මේ විදියට තවත් කොච්චර කාලයක් ඉන්න වෙයි ද? මේක කවදා ඉවර වෙයි ද කියලා අපි දන්නේ නෑ.

ඒක ගොඩක්ම අවිනිශ්චිත දෙයක් මෙම බුබුල තුළ ඉන්න පුද්ගලයන්ගේ මානසිකත්වය හොඳ තැනකට ගේන්න වගේම එය සහතික කරන්න පුහුණුකරුවන්, කළමනාකරුවන් ඇතුළු කවුරුන් හෝ කෙනෙක් එක්ක විවෘත සංවාදයක් පැවැත්විය යුතුයි.

මෙම තත්වය එක්ක ක්‍රීඩකයන් තීරණ ගද්දී ගැටලු එන්න පුළුවන්, එක් අයෙක් දිගු කාලයක් මේ ජෛව ආරක්ෂිත බුබුලු ඇතුළේ ඉඳලා කෙටි විවේකයක් ගන්න තීරණය කළොත් ඔහුගේ තැනට පැමිණෙන ක්‍රීඩකයා හොදින් ක්‍රීඩා කරලා ඔහුගේ ස්ථානය ගනියි ද? වගේ දේවල් ගැන හිතන්න ඕන” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා. 

තවත් ක්‍රිකට් පුවත්: 

තවද මෙම ජෛව ආරක්ෂිත පරිසරයක් තුල ගත කිරීම පිළිබඳව සිය අදහස් දක්වමින් Smith ප්‍රකාශ කර සිටියේ මෙම ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ගත කරන ජීවිතය හා සම්බන්ධ මානසික කම්පනයෙන් මිදීමට ක්‍රීඩකයෙකුට සාමාන්‍යයෙන් යම් කාලයක් ගතවන බවයි.

මීට අමතරව Smith නායකත්වය දරන Rajasthan Royals කණ්ඩායමේ පුහුණුකරු වන Andrew McDonald ද මෙවැනි අදහසක සිටින අතර මෙම ජෛව ආරක්ෂිත බුබුලක සිටීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මානසික පීඩනය පිළිබඳව බලධාරීන්ගේ විමසිලිමත්වීම මෙම බුබුලක සිටින ක්‍රීඩක ජීවිතයට බලපාන බවයි.

“ක්‍රීඩකයන්ගේ මානසික වශයෙන් සිදු කරන ඉල්ලීම් ඔවුන් සමඟ කටයුතු කරන විදියත් එක්ක වෙනස් වෙන්න පුළුවන්, මනුස්සයෙක් විදියට ඔබට ඔබේ ස්වයං පාලනය නැති වෙන ඕනෑම වෙලාවක මෙම බුබුළු තුළ ගෙවන ජීවිතයත් එක්ක ඔබට ඇති වෙනත් විකල්පයන් අහිමි වෙනවා. මම හිතන විදියට ඒක නිසා මානසික තෙහෙට්ටුවක් ඇති වෙන්න පුළුවන් වගේම එය පසුව කායික සෞඛ්‍යට ද බලපෑමක් එල්ල කරන්න පුළුවන්. 

අනිත් මිනිස්සු ජයග්‍රහණය හරි පරාජය මත හරි සිදුවන දේවල් පිළිබඳව විනිශ්චය කළත්, මම එහෙම හිතන්නේ නෑ, මම හිතන්නේ ක්‍රීඩකයන් ඔවුන්ගේ නිසි සුබසාධනය හරහා සෞඛ්‍ය සම්පන්න තත්වයකට ගෙන ඒම පිළිබඳවයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා. 

ඒ අනුව මෙවර Smithගේ දායකත්වය සිය කණ්ඩායමට අහිමි වන අතර ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය ද නොවැම්බර් මස අග ආරම්භ වීමට නියමිතව ඇති නිසාවෙන් ආකෘති ත්‍රිත්වයම ක්‍රීඩා කරන තවත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම දෙසැම්බර් 03 වැනිදා ආරම්භ වන Big Bash තරගාවලියෙන් ඉවත් වීමට වැඩි ඉඩකඩක් පවතී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<