KIXP පළමු හතරට රැගෙන ආ නිහඬ වීරයාගේ හැඟුම්බර කථාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2020

1724

Dream 11 IPL තරගාවලියේ ලීග් වටයෙහි අවසන් තරග කිහිපය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අතර තරගවාරය ආරම්භයේ දී එතරම් කැපී පෙනෙන දස්කම් නොදැක්වූ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් පළමු ස්ථාන හතර අතරට උසස් වීමක් ලබා ගැනීමට සමත්ව තිබෙන්නේ ක්‍රීඩා කළ අවසන් තරග පහම ජයග්‍රාහී සටහනකින් අවසන් කරමිනි. 

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව සඳුදා දිනයේ දී පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් අත්පත් කරගත් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් ක්‍රීඩකයින් මේ වන විට ඉතාමත් හොඳ මානසිකත්වයකින් පසුවන්නේ පළමු තරග කිහිපයේ ලද අමිහිරි පරාජයන්ගෙන් උගත් පාඩම් තම ගමනට ආශිර්වාදයක් කරගනිමිනි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මෙම තරගයේ දී කිංග්ස් ඉලෙවන් කණ්ඩායමේ පිතිකරණ අංශය සවිබල ගන්වමින් අවසන් ජයකණුව තෙක් රැගෙන යාමේ වගකීම තම කරට ගත් ඉදිරිපෙළ පිතිකරු Mandeep Singh නොදැවී ලකුණු 66ක අගනා ඉනිමක් දියත් කළේ තම කණ්ඩායම ලද ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමිනි. ඔහුගේ මෙම ඉනිම වඩාත් සුවිශේෂී එකක් බවට පත්වන්නේ සෙනුසාරාදා දිනයේ දී තම පියාගේ අභාවය සිදුවී ඇති බව සැලවුනු කණගාටුදායක පුවත සිතෙහි දරාගනිමින් තරගයට මුහුණදීමට ගත් තීරණය නිසාවෙනි. 

තරගයෙන් අනතුරුව සංවිධානය කර තිබූ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා එක්වෙමින් Mandeep Singh සඳහන් කර සිටියේ පන්දුවට පහරදීමට යාමට පෙරාතුව තම පියා ලබා දුන් ඔවදන් අදටත් මේ මොහොත දක්වා එලෙසින්ම තම මතකයෙහි රැඳී ඇති බවයි. 

“මේක මට ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. මට අද වගේ මතකයි මගේ පියා හැමතිස්සෙම වගේ කියන කථාවක් තියෙනවා. ඒ තමයි ‘Mandeep හැම තරගෙකදීම කඩුල්ල නිකරුනේ පූජා කරන්නේ නැතුව අවසානය වෙනකන් පහරදෙන්න. ලකුණු 100ක් හෝ 200ක් වේවා කිසිම වෙලාවක ප්‍රතිවාදීන්ට කඩුල්ල දීලා එන්න එපා’ කියන එක. අද තරගෙට කලින් මම Rahul එක්ක දීර්ඝ වශයෙන් මගේ පිතිකරණය ගැන කථා කළා. මම අන්තිම තරගයේ දී උත්සාහ කළේම වේගයෙන් ලකුණු රැස් කරන්න, මොකද ඒක තමා මගේ ප්‍රධානම අවිය.” 

“මම තරගයට යන්න කලින් ඔහුට කිව්වෙම මගේ සාමාන්‍ය ක්‍රීඩා ශෛලිය දියත් කරන්න අවස්ථාවක් ලැබුනොත් අනිවාර්‍යෙන්ම තරගය ජයග්‍රහණය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලා. ඔහු මං කෙරෙහි තියපු විශ්වාසය මම ඉතාමත් අගයකොට සලකනවා. Chris Gayleලුත් අනෙක් අන්තයේ ඉඳන් හැමවෙලාවෙම මතක් කළේ අන්තිම වෙනකන් කඩුල්ලේ රැඳී ඉන්න කියලා. මම ඔහුට මේ දැනුත් කිව්වේ ඔහු කීයටවත් දැන්මම විශ්‍රාම යන්න ඕන නැහැ කියලා. ඔහු තාමත් ක්‍රීඩා කරන්නෙ තරුණ ක්‍රීඩකයෙක් වගේ.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<