දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

810

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසානයේ දී ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක් වෙනුවෙන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත අතර එහි තරග කාලසටහන අද (27) දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි.

මෙම තරගාවලිය සඳහා ප්‍රසාද ලකුණු 120ක් වෙන්වන අතර එක් තරගයක් ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායමට ප්‍රසාද ලකුණු 60ක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය (Boxing Day) දෙසැම්බර් මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා Centurion හිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව අවසන් වරට එම ක්‍රිකට් පිටියේ දී දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කර තිබෙන්නේ 2011 වසරේ දෙසැම්බර් මාසයේ දීයි. 

එසේම ජනවාරි 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය (New Year’s Test) Johannesburg හිදී පැවැත්වෙන අතර එම ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමඟ අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ 2017 වසරේ දීයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට සෞඛ්‍ය අංශ සහ රජය සමඟින් මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත් කර හරින ආකාරය පිළිබඳව, නැවත පැමිණීමේ දී නිරෝධායනය විය යුතු දින ගණන සහ එහි ක්‍රියා පටිපාටිය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ. කෙසේ නමුත් දැනට සැලසුම් කර තිබෙන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස 12 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති කොදෙව් තරගාවලියට පසුව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වූයේ නැත. කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟත් (එක්දින සහ විස්සයි විස්ස), ජූලි මාසයේ දී බංග්ලාදේශය සමඟත් තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණු නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලි සියල්ල මේ වන විට දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ. 

එය එසේ වුවත් එංගලන්ත තරගාවලිය ලබන වසර ආරම්භයේ දී පැවැත්වීමට දැනට කටයුතු සූදානම් කර පවතින නමුත් එය තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අවස්ථාවේ පැවති ටෙස්ට් තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර දකුණු අප්‍රිකාවේ දී එවැනි දස්කමක් දැක්වූ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගාවලියේ පළමු තරගය පැවති ඩර්බන් හිදී කුසල් පෙරේරා ලබා ගත් සුපිරි ලකුණු 153 කැපී පෙනුනි.

මේ වන විට පවත්වා ඇති තරගාවලිවලට අනුව ලෝක ටෙස්ට් ශූරතාවයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

  • 2020 දෙසැම්බර් 26 – 30 පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – Centurion හිදී
  • 2021 ජනවාරි 3 – 7 – දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය – Johannesburg හිදී

ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රේණිගත කිරීම්, (2020 ඔක්තෝබර් මාසය වන විට)

ස්ථානය කණ්ඩායම ලකුණු
1 ඉන්දියාව 360
2 ඕස්ට්‍රේලියාව 296
3 එංගලන්තය 292
4 නවසීලන්තය 180
5 පාකිස්තානය 166
6 ශ්‍රී ලංකාව 80
7 බටහිර ඉන්දීය කොදෙව් 40
8 දකුණු අප්‍රිකාව 24
9 බංග්ලාදේශය 0

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<