දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය නැවතත් පුවත් මවයි

221
Beresford Williams
හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් සභාපති Beresford Williams ©Muzi Ntombela/BackpagePix

දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු සාමාජිකයන් කිහිපදෙනෙකු පසුගිය ඉරිදා (25) සිය ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඊයේ (26) පාලක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව එහි සභාපති ධුරයේ කටයුතු කළ Beresford Williams, ස්වාධීන නොවන සාමාජිකයන් සිව්දෙනෙක් සහ ස්වාධීන සාමාජිකයෙකු Dheven Dharmalingam ඉරිදා පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.

ඉන්පසුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් වූ ස්වාධීන නොවන අධ්‍යක්ෂක Zola Thamae සහ ස්වාධීන සාමාජිකයින් වන Eugenia Kula-Ameyaw, Marius Schoeman සහ Vuyokazi Memani-Sedile යන අය ඊයේ දිනයේ දී ඉල්ලා අස්වීමට කටයුතු කිරීමත් සමඟ මේ වන විට පාලක මණ්ඩලයේ සාමාජිකයන් 10 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.

මෙම අධ්‍යක්ෂවරුන් ඇතුළු සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව තහවුරු කරමින් Twitter සටහනක් නිකුත් කරමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත උදෙසා මෙන්ම උපරිම ලෙස සේවය ලබා දීම සඳහා දැනට පවතින පාලක මණ්ඩලය ඉල්ලා අස්වීම සිදු කළ යුතු බව සාකච්ඡාවේ දී තීරණය කළ නිසාවෙන් සියලුම ස්වාධීන සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරුන් ඉල්ල අස්වීමට තීරණය කළ බවයි.

තවද ඔක්තෝබර් මස 27 වැනිදා වන විට මෙම පාලක ප්‍රතිසංස්කරණය සඳහා සහය පලනොකරන්නේ නම් මෙම පාලක මණ්ඩලයේ කටයුතුවලට ද මැදිහත් වීමට තමන් අදහස් කරන බව දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍ය Nathi Mthethwa මීට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ද දැනුම් දී තිබුණි.

ඒ අනුව වත්මන් පාලක මණ්ඩලයෙ ඉල්ලා අස්වීමෙන් පසුව දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනයේ සහ ඔලිම්පික් කමිටුවේ උපදෙස් අනුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු මෙහෙයුම් කමිටුවක් පත්කිරීමට නියමිතව ඇති අතර එම කමිටුව පත්කරන තුරු Rihan Richardsගේ ප්‍රධානත්වයෙන් යුත් තාවකාලික සිව් පුද්ගල කමිටුවක් පත්කිරීමට කටයුතු කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්: 

ඒ අනුව අතුරු මෙහෙයුම් කමිටුවක් පත්කරන තුරු දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්මේලනයේ පාලනය මෙම සිව්පුද්ගල කමිටුව විසින් සිදු කරනු ඇති අතර සැප්තැම්බර් මස 05 වැනිදා පැවැත්වීමට තිබී දෙසැම්බර් මස 05 වැනිදා දක්වා කල් තැබූ වාර්ෂික රැස්වීමෙන් පසු ඉදිරි කටයුතු පිළිබඳව තීරණය ගනු ඇත.

එම අතුරු කමිටුව සඳහා දකුණු අප්‍රිකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීම අනිවාර්ය වන අතර එය සඳහා කවුරුන් ඇතුළත් වේ දැයි තවමත් කිසිදු තොරතුරක් නොමැති අතර වත්මන් ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරි Kugandrie Govender, ක්‍රිකට් අධ්‍යක්ෂක Graeme Smith සහ සමාගම් ලේකම් Welsh Gwaza තවමත් සිය තනතුරුවල රැඳී සිටියි.

මෙම සියලු අර්බුදකාරී තත්වයන් යටතේ දකුණු අප්‍රිකානු දේශීය තරග නොවැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර ජාත්‍යන්තර තරග ආරම්භ කරමින් නොවැම්බර් මස අග එංගලන්තය සමඟින් සීමිත පන්දුවාර තරගාවලියකට මුහුණ දීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සූදානමින් පසු වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<