LPL එකට පිටරටින් එන්න හිටි තවත් දෙදෙනෙකු හැලෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

1228

එළඹෙන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන ‘ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය’ (LPL) සඳහා සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටි Andre Russell සහ Manvinder Bisla හට LPL තරගාවලිය සඳහා සහභාගී වීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබේ. 

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින Andre Russell ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් LPL තරගාවලියට සහභාගී නොවන බව දන්වා ඇති අතර Manvinder Bisla තරගාවලිය සඳහා සහභාගී නොවන්නේ කුමන හේතුවක් මතද යන්න නිල වශයෙන් තහවුරු කර නොමැත. 

මෙම ක්‍රීඩකයින් දෙදෙනාට අමතරව Faf du Plessis, David Miller සහ Dawid Malan යන ක්‍රීඩකයින් හට LPL තරගාවලිය සඳහා සහභාගී නොවේ. ඒ දකුණු අප්‍රිකානු දේශීය ක්‍රිකට් තරගාවලිය සහ ලබන මස අවසානයේ දී ආරම්භ වන දකුණු අප්‍රිකා – එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලි නිසාවෙනි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් කණ්ඩායම් වලට වෙන්කර සතියක් ඇතුළත විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙකු මෙසේ තරගාවලියෙන් ඉවත් වී ඇත. 

Plessis, Russell සහ Bisla යන ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය සිදුනොවන නිසා ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කොළඹ Kings කණ්ඩායමට වන අතර Malan සහ Miller යන දෙදෙනා මෙවර LPL තරගාවලියේ පිළිවෙළින් යාපනය Stallions සහ දඹුල්ල Hawks යන කණ්ඩායම් නියෝජනය කිරීම වෙනුවෙන් තෝරාගෙන තිබුනි. 

දකුණු අප්‍රිකා – එංගලන්ත තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින තරගය දෙසැම්බර් මස 04 වැනිදා Newlands හිදී පැවැත්වෙන අතර අනෙක් තරග දෙක පිළිවෙළින් දෙසැම්බර් මස 06 සහ 09 යන දිනවලදී පැවැත්වේ. Newlands පැවැත්වෙන පළමු එක්දින තරගය සහ තුන්වැනි එක්දින තරගය දිවා/රාත්‍රි තරග ලෙස පැවැත්වේ. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ICC ලෝක කුසලාන සුපර් ලීගය තුළ සහභාගී වන පළමු තරගාවලිය මෙය වනු ඇත. 

දකුණු අප්‍රිකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත තරගාවලිය (නොවැම්බර් මස 27) සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය (නොවැම්බර් මස අවසානයේ දී) ආරම්භ වීමට තිබෙන ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි වේ. Carlos Braithwaite සහ Chris Gayle යන ක්‍රීඩකයින් නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ කොදෙව් සංචිතය සඳහා නම් වී නොමැත. 

එම නිසා ඒ තරගාවලි නියෝජනය කරන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් LPL තරගාවලියට සහභාගී නොවන නිසාවෙන් ඉන් ගැටලුවක් ඇති වන්නේ නොමැත. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තරග සංවිධායකයින් LPL තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් ඉතාමත් දැඩි වෙහෙසක් දරනු ලැබේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<