හිටපු දැවැන්තයින් තිදෙනා නැවතත් වැලිසරට

996

ක්‍රීඩක හුවමාරුව පිළිබඳව විශාල කතිකාවක් රග්බි පිටියේ ඇති වී තිබෙන පසුබිමක CH&FC කණ්ඩායමේ අඩිපාරේ යමින් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් තිදෙනෙකු මීළඟ තරග වාරය සඳහා ගිවිසුම් ගත කිරීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය කටයුතු කර ඇත.

2017 වසරේ සිට CH&FC නියෝජනය කළ, හිටපු නාවික හමුදා කණ්ඩායමේ සාමාජිකයන් ද වන හිටපු ශ්‍රී ලංකා රග්බි නායක සජිත් සුරංග, සත්‍ය රණතුංග සහ නිවංක ප්‍රසාද් යන ක්‍රීඩකයන් මෙලෙස 2021 තරග වාරය සඳහා සිය පැරණි නවාතැන සමඟින් නැවතත් එක්වීමට නියමිතව ඇත.

මෙම ක්‍රීඩකයන් තිදෙනා 2012 වසරේ සිට 2015 වසර තෙක් නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කණ්ඩායම ඉතාමත් ඉහළ තැනකට ගෙන ඒමට අමිල සේවයක් ඉටු කිරීමට සමත් වූ අතර ඔවුන්ගේ නැවත පැමිණීම තුළින් නාවික හමුදාවට නැවත වරක් නව ජීවයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවේ.

මීට අමතරව නාවික හමුදා ක්‍රීඩා සමාජය විසින් නැගී එන දක්ෂ ක්‍රීඩකයෙකු වෙන සැමුවෙල් මදුවන්ත මීළඟ තරග වාරයේ දී සිය කණ්ඩායමට එක් කර ගැනීමට කටයුතු කර ඇත.

23 වැනි වියේ පසුවන ඉතාමත් දක්ෂ fly-half ක්‍රීඩකයෙකු වුන මදුවන්ත සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමෙන් අනතුරුව පසුගිය තරග වාරවල දී CH&FC වෙනුවෙන් ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ නමුත් පසුව ඇති වූ ආබාධයක් නිසාවෙන් පසුගිය තරග වාරයෙන් ඉවත් වීමට සිදු විය.

තවත් රග්බි පුවත්:

මෙම ක්‍රීඩකයන් සිය කණ්ඩායම සමඟ එක් කරගැනීම තුළින් පසුගිය තරග වාරයේ දී මද පසුබෑමකට ලක්වූ නාවික හමුදා කණ්ඩායමට සිය දුර්වලතා මගහරවා ගනිමින් ඉතාමත් සවිමත් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට හැකි වනු ඇත.

පසුගිය තරග වාරයේ දී එතරම් සාර්ථක දස්කම් දැක්වීමට නාවික හමුදා කණ්ඩායම අසාර්ථක වූ නිසාවෙන් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ සිටිමින් තරග වාරය නිමා කිරීමට ඔවුන්ට සිදු විය.

කෙසේ නමුත් රට තුළ නැවත වරක් ඇති වූ දැඩි කොරෝනා ව්‍යාප්තියේ අවදානම නිසාවෙන් Dialog රග්බි තරගාවලියේ නැවත ආරම්භය දිනෙන් දින අවිනිශ්චිතතාවට පත්වෙමින් පවතී.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<