තිලකා ජිනදාස නාමය ශ්‍රී ලාංකීය ක්‍රීඩා ප්‍රජාවට නුහුරු නාමයක් නොවේ. මලල ක්‍රීඩිකාවක්, දැල්පන්දු ක්‍රීඩිකාවක් සහ පුහුණුකාරිනියක් ලෙසින් ඇය ක්‍රීඩාවේ සැරිසැරූ තැන් බොහෝ ය. ThePapare.com මත මේ දිග හැරෙන්නේ එකී සැරිසැරූ මතකයන් ය. 

තිලකාගේ නම උප්පැන්න සහතිකයේ සඳහන් වෙන්නේ කොස්ගමගේ තිලකා ධම්මිකා ජිනදාස කියලයි. නමුත් ඇය කාටත් තිලකා වුනා. “මම දන්න කාලෙ ඉඳලම කවුරුත් මට කතා කළේ තිලකා කියලා. මේ නිසා ඒක අමුතු දෙයක් වුණේ නැහැ. ඊට පස්සේ මගේ නම ඉදිරියට දේශබන්දු නාමය එක් වුනා. ඒත් ඒක නම් මට ටිකක් නුහුරුයි.” තිලකා අපිත් සමඟ කතාවට එක් වුනේ ඒ ආකාරයෙන්.

තිලකාගෙ පියා කොස්ගමගේ ජිනදාස. තිලකා කියන විදහට ක්‍රිකට් පිස්සෙක්. පුංචි දවස්වල තිලකලත් රැගෙන පිට්ටනි ගානෙ රස්තියාදු වෙන එක තාත්තගෙ පුරුද්දක්ලු. මේකට අම්මා, විමලා ජිනදාස එච්චර කැමැත්තක් දක්වල නැහැ. නමුත් තාත්තගෙ පුරුද්ද මැරෙනකම් ම නතර වෙන්නෙත් නැහැ. 

“අපි පවුලෙ මමත් සමඟ පස් දෙනෙක්. වැඩිමල්ම අක්කා, ඊට පස්සේ අයියා, ආයිමත් අක්කා, අක්කට පස්සෙ මම, පවුලේ බාලයා නංගි. ක්‍රීඩාවට යොමු වුනා නම් යොමු වුනේ තාත්තගෙ පුරුද්ද නිසා වෙන්න ඇති. මුලින්ම පවුලෙන් ක්‍රීඩාවට යොමු වෙන්නේ ලොකු අක්කා. එයාට ඉස්කෝලෙන් ලොකු පිළිගැනීමක් තිබුණා. මේ නිසා මටත් ඕන වුනා ක්‍රීඩා කරන්න. ගෙදරින් අකමැත්තක් තිබුණෙ නැහැ. අක්කට තනියටත් එක්ක හොඳයි කියල මාවත් ක්‍රීඩාවට දැම්මා. ඒත් මට කිසිම අරමුණක් තිබුණෙ නැහැ කරන්න ඕන මොනවද කියල. ගෙදරින් බලපෑමක්වත් නෑ. ඉතිං හැමදේම කළා.”

තිලකා පාසල් ගියේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයට. ඒකෙ දුවන පනින ඉසව් වගේම දැල්පන්දු, එල්ලේ, ත්‍රෝ බෝල් වගේ ක්‍රීඩාවනුත් කළා. කණ්ඩායම් නායිකාව වුනා. පාසලේ ක්‍රීඩා නායිකාව වුනා. ඔය අතර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ජයග්‍රාහිකාව වුනා. 

“මේ තරග තිබුණෙ සාන්ත පීතර විද්‍යාලයේ. පස්සේ කාලයේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදක්කම් දිනූ අයි. පී. සුමිත්‍රාත් ඒ තරගයට සහභාගී වුනා. අපිට පුහුණුකරුවන් හිටියෙ නැහැ. පාසල් කාලය පුරාම හිටියේ ශාරීරික අභ්‍යාස ගුරුවරුන් ලෙසින් සේවය කළ චන්ද්‍රා වීරකෝන්  සහ ශ්‍යාමා සමරකෝන් කියන ගුරුවරියන් දෙදෙනා විතරයි. එක් අවස්ථාවක සුනිල් ජයවීර සර් කෝචින් කැම්ප් එකකට අපේ ඉස්කෝලෙට ආවා. ක්‍රීඩාව ගැන ඉගෙන ගෙන තිබුණ නම් ඉගෙන ගත්තේ එච්චරයි. ඒත් අපි දිව්වා.”  

තිලකා පාසල් කාලයේ දී ක්‍රීඩාව වගේම ඉගෙනීමත් සමබරව ගෙන ගියා. අපොස සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වුනා. උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තා. මලල ක්‍රීඩාවෙන් කප් ගැහුවට තිලකාගෙ වැඩි කැමැත්තක් තිබුණෙ දැල්පන්දු ක්‍රීඩාවට. 

“මම ඉස්කෝලෙන් අවුට් වෙන්නේ 1982 අවුරුද්දේ. ඒ අවුරුද්දේම මට සිලෝන් ඔක්සිජන් ආයතනයේ රැකියාවක් ලැබෙනවා. එතකොට ඒ අය ජනසතු සේවා ගහනවා. ඒකට සෙල්ලම් කරන්න තමයි මට ආරාධනාව ලැබෙන්නේ. මමත් සමඟ පාසලේ එකට සෙල්ලම් කළ පුෂ්පා කියල මගේ යෙහෙළියකුත් ඒකට සම්බන්ධ වෙනවා. එතකොට අපි පාසල් මට්ටමේ දක්ෂතා දක්වන අය. අපි කිහිප දෙනෙක්ම ඒකට එකතු වෙනවා. එතකොට එතැන හොඳ දැල්පන්දු කණ්ඩායමක් හැදෙනවා. ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය තමයි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ.”

Thilaka Jinadasa
තිලකා තම ආදරණීය මව සමඟ.

පාසල් කාලයෙන් පස්සේ තිලකා, උදේ හවස ටොරින්ටන් යනවා. ඒ පුහුණුවීම්වලට. දැල්පන්දු ගහන්න වගේම දුවන පනින දේවල්වලටත් සහභාගී වෙනවා. ඒ අතර ජිම්නාස්ටික් පවා කරනවා. ඒකට හරි යන යාළුවෝ පිරිසක් ද හිටිය කියලයි තිලකා කියන්නේ. 

“ටොරින්ටන් එක අමුතු සංස්කෘතියක්. අපිට වෙනත් අරමුණු තිබුණෙ නැහැ. ක්‍රීඩාව තමයි ජීවිතය. අපි හිටියේ ජීවිතයේ විවිධ දේවල් අත්හදා බලන වයසේ. මේ නිසා හැමදේකටම ට්‍රයි කරනවා. අපිත් එහෙම වුනා. ජිම්නාස්ටික් පවා ඉගෙන ගන්න යන්නේ ඒ නිසා. ඔය අතරේ අපිට යුද හමුදාව නියෝජනය කළ ඉලංගකෝන් කියන අයියා මුණ ගැහෙනවා. එයා අපි වගේ ආධුනික අයට උදව් කරන කෙනෙක්. ෆේමස් කෙනෙක්. ක්‍රීඩාවට හරියට ගරු කරනවා. එයාගෙ මාර්ගයෙන් අපිට යෝගානන්ද විජේසුන්දර සර් හමුවෙනවා. ඒ 1983 අවුරුද්ද. සර් යටතේ තමයි මම පළමු වරට කාලසටහනකට අනුව මලල ක්‍රීඩාව පුහුණුවෙන්න පටන් ගන්නේ.”

අරමුණක් නැතිව, අක්කට තිබුණ සැලකිල්ල නිසා ක්‍රීඩාවට පිවිසි තිලකා එතැනින් පසු ක්‍රමානුකුලව මලල ක්‍රීඩාව හදාරනවා. ඒ අතර දැල්පන්දු ගැහිල්ල ද කරගෙන යනවා. කොහොම වුනත් තිලකාගේ මේ ක්‍රීඩා දෙකෙන් ඉස්සර වෙන්නේ මලල ක්‍රීඩාව. ඒ වෙද්දී තිලකා, ජාතික මලල ක්‍රීඩා පිටියේ කතා බහට ලක්වෙන චරිතයක්. මීටර් 100 ඉසව්වේ ජයග්‍රාහි පළමු තිදෙනා අතර තිලකාගේ නමත් තිබුණා. ඒ වගේම මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වත් ඇය හදාරමින් සිටියේ. 

“මම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට සහභාගි වෙන්නේ 1984 නේපාලයේ කත්මන්ඩු නුවර පැවති සාෆ් ක්‍රීඩා උළෙලට. ඒකෙ මම සහභාගී වෙන්නේ රිලේ ටිම් එක නියෝජනය කරන්න. එතැනින් පස්සේ මම පිට පිට අවුරුදු 5ක් ම මේ තරගාවලිය නියෝජනය කරනවා. මලල ක්‍රීඩා සංචිතයට තේරී පත් වුන අවුරුද්දට පස්සෙ අවුරුද්දේ මම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තෝරගන්න සංචිතයට ද තේරුණා. 

ඒ වෙලාවේ යෝගානන්ද සර් මට පැහැදිලි කරල දුන්නා, මම සහභාගී වෙන ක්‍රීඩා දෙකේ වෙනස. සර් කිව්වේ ජාත්‍යන්තර මට්ටමේ දී ක්‍රීඩා දෙකක් කරන්න අමාරුයි. විශේෂයෙන්ම දැල්පන්දු වගේ දෙයක්. මොකද ඒක ටිම් ඊවන්ට් එකක්. ඒ නිසා අනිත් අයත් සමඟ කැපවීම් කරන්න ඕන.

Thilaka Jinadasa
විද්‍යාලයීය දැල්පන්දු කණ්ඩායම සමඟ 1977 දී, කුසලානය ඇතැතිව තිලකා.

නමුත් මලල ක්‍රීඩාව නිසා ඒක අතපසු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දෙකෙන් එකක් තෝර ගන්න කියලා. මේ වෙලාවේ ගෙදරිනුත් අහල මම මලල ක්‍රීඩාව තෝර ගත්තා. ඒත් මට ඒ වෙද්දී හැම දෙයක්ම ලැබිල තිබුණෙ දැල්පන්දු නිසා. රස්සාව පවා. මම මලල ක්‍රීඩාව කළත් ජනසතු සේවා දැල්පන්දු ටූනමන්ට් සියල්ලම ගැහුවා. ඒක අත හැරියෙ නැහැ.” 

එතැන් සිට තිලකාගේ කතාව ගෙවෙන්නේ මලල ක්‍රීඩිකාවක් ලෙසින්. ඇයගේ ප්‍රධාන ඉසව්ව වෙන්නේ කඩුලු පැනීම. මේ කියන අවුරුද්ද 1987. ඇය එම වසරේ දී සංවිධානය වන සාෆ් ක්‍රීඩා උළෙලට තේරි පත් වෙනවා. එතෙක් රිලේ කණ්ඩායමට පමණක් තේරුණ තිලකා, පළමු වරට කඩුලු පැනීමේ ඉසව්වට තේරී පත් වෙනවා.

“ඒක මම තනිව සහභාගී වූ පළමු ජාත්‍යන්තර ඉසව්ව. මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව පළමු වරට සාෆ් තරගාවලියට හඳුන්වා දුන්නෙ ඒ අවුරුද්දේ. ඉන්දියාවෙ අය තමයි ඉදිරියෙන් හිටියේ. මගේ ඉසව්ව තිබුණෙ අවසන් දිනයේ. ඒ වෙද්දි අපිට එක රන් පදක්කමක් හෝ තිබුණෙ නැහැ. 

මම මීටර් 400 රිලේ එකෙන් ලෝකඩ පදක්කමකුත්, මීටර් 100 රිලේ එකෙන් රිදී පදක්කමකුත් දිනාගෙන තිබුණෙ. කඩුලු පැනීමේ ඉසව්වෙන් මම ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. මම තරගය ජයග්‍රහණය කරනවා. මරාගෙන මැරෙන තාලෙ ෆිනිෂ් එකක් තිබුණෙ.”

ඒ ජයග්‍රහණයෙන් තිලකාට ඔලිම්පික් යන්න පාර කැපෙනවා. “ඒක මට ලැබුණෙ මගේ තරග නිමි කාලය හොඳ නිසාවත් හෝ කවුරුත් මාව අනවශ්‍ය ලෙස නිර්දේශ කළ නිසාවත් නෙමේ. සාෆ් තරගාවලියේ දී ලබා ගත් රන් පදක්කම නිසා. ඒ අනුව මම 88 ඔලිම්පික්වලට සහභාගී වෙනවා. මම සමඟ පිහිනුම් ඉසව්වලට ජූලියං බෝලිං ද සහභාගී වුනා. අපි දෙන්නට දේශබන්දු නාමය ලබා දෙන්නේ ඒ නිසා.” තිලකා පවසනවා.

Thilaka Jinadasaමලල ක්‍රීඩිකාවක් ලෙසින් ආසියානු සහ දකුණු ආසියානු පදක්කම් දිනා ගත්තත්, විවිධ තරග ඉසව් සඳහා රට රටවල සංචාරය කළත් තිලකාගෙ හිතෙන් දැල්පන්දු ඉවත් වෙලා තිබුණෙ නැහැ. දැල්පන්දු එක්ක තිබුණ ඇසුර නතර වෙලා තිබුණෙත් නැහැ. 

“1991 සාෆ්වල දී මට මගේ ඉසව්වේ රන් පදක්කම අහිමි වෙනවා. එතකොට ශ්‍රියානි කුලවංශ හොඳට දුවන කාලේ. ශ්‍රියානි මගේ රෙකෝඩ් එක බ්‍රේක් කරලා තිබුණෙ. මලල ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න හොඳම කාලය මේක කියලා හිතුණා. කොහොම වුනත් මගේ හිතේ කොනක දැල්පන්දු පැළපදියම් වෙලා තිබුණා. දැල්පන්දුවලට ආවොත් උපරිමයෙන් කරන්න පුළුවන් කියන හැඟීමක් තිබුණා. සාෆ් ගේම් ඉවර වුනාට පස්සේ මම මලල ක්‍රීඩාවෙන් ඉවත් වෙනවා.”

Thilaka Jinadasaඑය එතරම් අපහසු කාර්යයක් නොවූ බවයි තිලකා පවසන්නේ. මේ ඉවත් වීමත් සමඟින් තිලකා එතෙක් සේවය කළ සිලෝන් ඔක්සිජන් ආයතනයෙන් ද ඉවත් වෙනවා. ඊට පස්සේ ඇය සම්බන්ධ වෙන්නේ සෙලින්කෝ එකට. ඒකෙදිත් ඇයට වාසිසහගත වෙන්නේ දැල්පන්දු ගැහිල්ල. 

“ඒ දවස්වල ක්‍රිකට්වලට, පාපන්දුවලට වගේම දැල්පන්දුවලටත් රටේ ජොබ් මාකට් එකක් තිබුණා. මලල ක්‍රීඩාවලට පිළිගැනීමක් තිබුණෙම නැහැ. අපරාදෙ මලල ක්‍රීඩා කළේ කියල හිතුණා.”

තවත් විශේෂාංග ලිපි:

1992 දී නැවත දැල්පන්දු ක්‍රීඩිකාවක ලෙසින් දෙවැනි ගමන ආරම්භ කරන තිලකා ඊට පසු අවුරුද්දේම ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ගන්නවා. ඇයගේ පළමු සහභාගීත්වය වෙන්නේ හොංකොං හී පැවති ආසියානු තරගාවලිය. එහි දී ඔවුන් 3 වැනි ස්ථානය දිනා ගන්නවා. ඒ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමකට එවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව. 

“දැල්පන්දු තමයි මගේ සිහිනය. ඒකෙත් ලෝක කුසලානයට සහභාගී වීම. ඒත් මට 1993 සිට 1995 දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගන්න බැරි වෙනවා. ඔවුන් කියන්නේ මම උස මදියි කියලයි. ඒ ගැන ලොකු කනගාටුවකින් සිටියේ. මේ නිසා දැල්පන්දුවලින් ඉවත් වෙනවයි කියලයි හිතාගෙන හිටියේ.”

එම අවස්ථාවේ දී ඇයගේ සහායට එන්නේ ඥාති සහෝදරයෙක්. ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචි අයෙක්. ඔහු පැවසුවේ එරටට පැමිණ දැල්පන්දු පුහුණුකාරී පාඨමාලාවකට සහභාගී වෙන්න කියලයි. 

“මම කෝචින් ස්ටාර්ට් කරනවා කියල යෝගානන්ද සර්ට කිවුවා. සර් කිවුවා එක්ස්පීරියන්ස් පාස් කරන්න එපා කොලිෆයි වෙලා එන්න කියලා. සර්ගෙ ඒ කීමට මම අදටත් ගරු කරනවා. ඒ සුදුසුකම ගත්ත එක තමයි මට අදටත් ජාත්‍යන්තර මට්ටමට වාසියක් වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ දී මම කෝචින් වල හැම ඉසව්වක්ම ෆලෝ කරනවා. අදටත් මම ඕස්ට්‍රේලියාවේ කොචිං කවුන්සිල් එකේ සාමාජිකාවක්. එහේ දී මම ක්ලබ් එකකට සෙල්ලම් කරනවා. ඒ නිසා මම 1997 දී නැවත ට්‍රයල් එකට ෆේස් කරන්නවා.”

Thilaka Jinadasa
හිටපු කතානායක ආනන්ද තිස්ස ද අල්විස් මහතා සහභාගී වූ උත්සවයක දී තිලකා ද පහන දැල්වීමට සහභාගී වෙමින්.

අවුරුදු 3කට පස්සෙ නැවත තිලකා ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙනවා. කණ්ඩායමේ උපනායකත්වය ද ඇය හිමි වෙනවා. ඒ විතරක් නෙමේ, ඒ අවුරුද්දේ ආසියානු ශූරතාව දිනා ගැනීමට ද ඔවුන් සමත් වෙනවා. ඒ ජයග්‍රහණය තිලකාගේ ක්‍රීඩිකාවක ලෙසින් වූ සහභාගී වූ අවසන් තරගය ද වෙනවා. 

අනතුරුව 1998 වසරේ දී තිලකා මාලදිවයින් ජාතික පුහුණුකාරිය ලෙසින් එරට කණ්ඩායම හා එක් වෙනවා. වසරක ගිවිසුමක් වූ මෙහි දී ඇය ආසියානු යොවුන් තරගාවලියේ සිව්වැනි ස්ථානය දක්වා එම කණ්ඩායම ගෙන එනවා. ඊට පසුව ශ්‍රී ලංකාවේ යොවුන් දැල්පන්දු පුහුණුකරු ලෙසත්, කෙටි කාලයක් ජාතික පුහුණුකාරිනිය ලෙසත් කටයුතු කරනවා. මේ කාලයේ දී ආසියානු යොවුන් තරගාවලියේ දී 2006 සහ 2008 වසරවල අනුශූරියන් වීමටත්, 2009 වසරේ දී වසර 8කට පසුව ආසියානු ශූරතා දිනා ගත් කණ්ඩායම බිහි කිරීමටත් සමත් වෙනවා. 

ඊට පසුව තිලකාගේ පුහුණුවිම් කාලය ගත වෙන්නේ බaaනායි රාජ්‍යයේ ජාතික පුහුණුකාරිනිය ලෙසයි. එම කාලය ඇය මුහුණ දුන් අභියෝගාත්මක කාලයක් ලෙසයි තිලකා හඳුන්වන්නේ. 

“බaaනායි කියන්නේ ලෝකයේ ධනවත් මුස්ලිම් රටක්. හැබැයි දැල්පන්දු තිබුණෙ බිංදුවේ. ළමයි දෙන්නයි හිටියේ. එහෙම පටන් අරගෙන පූල් එකකුත් හදාගෙන 2012 අවුරුද්දේ ශ්‍රී ලංකාවට එනවා ආසියානු කුසලානයට සහභාගී වෙන්න. ඒකෙදි අපි 6 වැනි තැන ගන්නවා. ඊට පස්සේ 2014 සහ 2016 අවුරුදුවලත් එම ස්ථානය රැක ගන්න අපි සමත් වෙනවා.  මම බaaනායි දාල ආවේ ඔවුන් උපරිම තලයකට ගෙනැල්ලා. 

ලෝකයේ පොහොසත්ම රට. මම එද්දී ඒ රටේ රැජිණ තමයි දැල්පන්දු කණ්ඩායමේ නායිකාව. රජතුමා පවා හමුබවුණා. ඒ අය හැමෝම කිවුවේ යන්න එපා ඉන්න කියලා. නමුත් මම ලංකාවට ආවේ මගේ හීනය නිසා. මම මලල ක්‍රීඩිකාවක් ලෙස ඔලිම්පික් ගියා. දැල්පන්දු ක්‍රීඩිකාවක් ලෙසත් ලෝක කුසලානයට යන්න ආසාවක් තිබුණා. ඒත් බැරි වුනා. ඊට පස්සේ පුහුණුකාරියක් ලෙසින් හෝ ලෝක කුසලානයට සහභාගී වෙන බලාපොරොත්තුව තිබුණා. ඒ නිසා ඒ වෙලාවේ මම ලංකාවට එන එක වැදගත්. මොකද බaaනායි ඉඳලා ලෝක කුසලානයකට යන්න බැහැනේ. මම ලංකාවට ආවා.”

Thilaka Jinadasaඉන් අනතුරුව විවිධ හැල හැප්පිලි මැද තිලකාට මෙරට දැල්පන්දු ජාතික පුහුණුකාරී ධුරය හිමි වෙනවා. ඇය තම සිහිනය ද කර තබාගෙන ආසියාව දිනා ලෝක කුසලාන තරගාවලියට ද සහභාගි වෙනවා. ඉන් අනතුරුව පුහුණුකාරි ධුරයට සමු දෙන තිලකා මේ වන විට දැල්පන්දු ජාත්‍යන්තර පුහුණුකරුවන් සමඟ තාක්ෂණික මෙහෙයුම් රැසක් සිදු කරමින් සිටිනවා. 

අවශ්‍යම අවස්ථාවන්වල දී නිවැරදි තීරණ ගනිමින් තම බලාපොරොත්තු සඵල කරගත් තිලකා එහි ප්‍රතිඵල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙත ලබා දුන්නේ දාන පාරමිතාවක් පුරන්නා සේ. අදටත් ඇය තම ජීවිතය කැප කර තිබෙන්නේ දැල්පන්දු වෙනුවෙන් ය. 

තම ජීවිතයේ විවාහය පවා අමතක කරමින් ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කළ ඇය දැල්පන්දු ක්‍රීඩාවේ නව මානයන් සොයමින් අනාගත ක්‍රීඩිකාවන් ඒ මගින් සන්නද්ධ කිරීමට පෙරමුණ ගෙන තිබෙනවා. 

ඇයගේ උත්සාහයට ThePapare.com උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<