පාලනය කළ නොහැකි ගැටලුවක් නිසා තරගාවලියේ වෙනසක්

143
Pakistan vs Zimbabwe t20s

පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණය ආසන්න ප්‍රදේශයේ පවතින වායු දූෂණ තත්ත්වය නිසා පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇති විස්සයි විස්ස තරගාවලිය රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය වෙත ගෙන යාමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

මෙම තරගාවලිය එළඹෙන නොවැම්බර් මාසයේ මුල් සති කීපය තුල පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසුවය. සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වේ. 

ලාහෝර් ක්‍රීඩාංගණය ආසන්න ප්‍රදේශය තුල පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එහි පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ද ලාහෝර් ක්‍රීඩාංගණයේ නොපැවැත්වීමට මේ වන විට තීරණය වී ඇත. 

“අපි පසුගිය සති දෙකක් කාලය තුල ලාහෝර් ආසන්න ප්‍රදේශයේ වායු තත්ත්වය ගැන අවධානයෙන් හිටියේ. ඒකෙදි අපි දැක්කා මේ කාලය තුල ක්‍රීඩා කරන්න අමාරු තරම් වායු දූෂණයක්. මේක එක්වරම සිදු වුන දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ මේ ප්‍රශ්නය අපිට තිබුණා. 

ඉදිරි කාලයේ දී මේ තත්ත්වයේ අඩු වීමක් අපිට දකින්න බැරි වේවි. අපි මේ තත්ත්වය ගැන අදාල අංශවලින් විමසුවා. ඔවුන් අපිට කිව්වා නොවැම්බර් මාසය වෙද්දී මේ තත්ත්වය වැඩිවීමක් වේවි කියලා. ඒ නිසා අපි තීරණය කළා ලාහෝර් ක්‍රීඩාංගණයේ පවත්වන්න සැලසුම් කළ සියලු තරග වෙනත් ක්‍රීඩාංගණ වෙත ගෙනයන්න” පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වසීම් ඛාන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබේ. 

තවත් ක්‍රිකට් පුවත්: 

“මේ අනතුරුදායක පරිසර දූෂණය වාතයේ ගුණාත්මක භාවය අඩුවෙන්න ප්‍රධානම බලපෑම වෙලා තියනවා. මේ තත්ත්වය එක්ක අපි තීරණය කළා ලාහෝර් හි තරග පවත්වන එක ඉතා විශාල අවදානම් තත්ත්වයක් කියලා. ඇත්තෙන්ම අපිට ක්‍රීඩාංගණය මාරු කරන එක එතරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකට අදාල හෝටල්වල ඉඳන් හැමදේම වෙනස් කරන්න ඕනේ. 

ඒක අභියෝගයක්. ඒත් මම හිතනවා ඒ අභියෝගයට දැන්ම මුහුණ දෙන එක පහසු වේවි පසුව ඒ තත්ත්වයට මුහුණ දෙන එකට වඩා. අපේ මේ ගැටලු සියල්ල ඉක්මනින් විසඳා ගන්න පුළුවන් වෙන නිසා අපි ඉක්මන් තීරණයක් ගත්තා. මේ දේ අපි කරන්නේ ක්‍රීඩකයන්ගේ හා නිලධාරීන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රධානම අරමුණ කරගෙන.” 

“ලාහෝර් ක්‍රීඩාංගණයෙන් වෙනත් ක්‍රීඩාංගණයකට තරග ගෙන යන අභියෝගය පහසු එකක් ලෙස අපි කිසිම වෙලාවක සලකන්නේ නැහැ. තරගාවලියට සම්බන්ධ වෙන හැමදෙනාගෙම ආරක්ෂාව වගේම සෞඛ්‍ය අපි හැමවෙලේම හිතන්න ඕන. ක්‍රිකට් ආයතනයක් විදිහට අපිට අවශ්‍ය වුනේ පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගාවලිය වගේම පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තරගත් කිසිම අවදානමක් නැතිව පවත්වන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන එක.” 

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාලව පැවැත්වීමට නියමිතව ඇති තරග එළඹෙන නොවැම්බර් මස තුන්වැනි සතියේ දී කරච්චි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත. 

සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තාන සංචාරය එළඹෙන 30 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර එයට එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වේ. 

තරගාවලිය සඳහා සහභාගී වන සිම්බාබ්වේ කණ්ඩායම පසුගිය 19 වැනිදා පාකිස්තානයට ළඟා විය. 

සිම්බාබ්වේ කණ්ඩායමේ මෙම සංචාරය පූර්ණ සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල පැවැත්වීමට නියමිත අතර පාකිස්තානයට යාමට පෙර ද සිම්බාබ්වේ කණ්ඩායම සෞඛ්‍යාරක්ෂිත නීතිවලට අනුව ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල කටයුතු කළේය.

සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ සංශෝධිත කාලසටහන

  • පළමු එක්දින තරගය – ඔක්තෝබර් 30 (රාවල්පිණ්ඩි)
  • දෙවන එක්දින තරගය – නොවැම්බර් 01 (රාවල්පිණ්ඩි)
  • තෙවැනි එක්දින තරගය – නොවැම්බර් 03 (රාවල්පිණ්ඩි)
  • පළමු විස්සයි විස්ස තරගය – නොවැම්බර් 07  (රාවල්පිණ්ඩි)
  • දෙවන විස්සයි විස්ස තරගය – නොවැම්බර් 08 (රාවල්පිණ්ඩි)
  • තෙවැනි විස්සයි විස්ස තරගය – නොවැම්බර් 09 (රාවල්පිණ්ඩි)

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<