එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ලොකු තීරණයක්

193
England Cricket Team

කොරෝනා වසංගතය නිසාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලි රැසක් අත්හිටුවීමට ලක්වූ පසුබිමක් තුල ලොව බහුතරයක් ක්‍රිකට් ආයතන දැඩි මූල්‍යමය අර්බුද තත්වවලට මුහුණ දෙමින් තිබේ. 

එවැනි පසුබිමක එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි මාස 12ක කාලය සඳහා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා සිදු කරනු ලබන ගෙවීම් 15%ක ප්‍රමාණයකින් කප්පාදු කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා එංගලන්ත ක්‍රීඩකයින් සිය එකඟතාවය පළ කර ඇත.  

එංගලන්තය ඔවුන්ගේ රට තුල පැවැත්වෙන සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ඉතාමත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පවත්වනු ලැබූ නමුත් ඔවුන්ට අවම ලෙස බ්‍රිතාන්‍ය පවුම් මිලියන 106ක පාඩුවක් සිදු වනු ඇති බවට එංගලන්ත ක්‍රිකට් පරිපාලකයින් ගණනය කර ඇති අතර එය ඊට වඩා වැඩි වීමට ද ඉඩකඩ තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් ආයතනයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 62 දෙනෙකුගේ සේවය ඉවත් කරමින් එම මූල්‍යමය හානිය අවම කර ගැනීම සඳහා එංගලන්ත ක්‍රිකට් පරිපාලනයට සිදු වූ නිසාවෙන් ඔවුන්ගේ ක්‍රීඩක වැටුප් ද කප්පාදු වීමට හැකි බව එංගලන්ත ක්‍රීඩකයින් කල් තියාම දැනුම්වත් සිටියේය.

“අපි මේ වෙනකොට ලෝකයේ තිබෙන තත්වය ඉතාමත් හොඳින් තේරුම් අරගෙන ඉන්නේ, අපි කලින් ඉඳන්ම දැනගෙන හිටියා ඉදිරි මාස කිහිපයක කාලය තුල ක්‍රීඩකයින් වගේම අනෙක් නිලධාරීන්ටත් යම් යම් අභියෝගවලට මුහුණ දීලා සමස්තයක් විදිහට අපි හැමෝටම මුහුණපාලා තිබෙන මේ අභියෝගය ජය ගන්න ඕනේ. 

ඒ වගේම මේ තත්වය නිසා නිලධාරීන් කිහිපදෙනෙකුගේම සේවය අවසන් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයට සිදු වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවක අපි ක්‍රීඩකයින් විදිහට මොනයම් හෝ දායකත්වයක් දක්වන්න ඕනේ කියලා හිතනවා” යැයි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ඩ් බ්‍රෝඩ් පැවසීය.

ඒ අනුව ඔක්තෝබර් 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි මාස 12ක කාලය සඳහා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත් ගාස්තු, තරග ජයග්‍රහණ දීමනා, විශේෂ දස්කම් දීමනා යනාදිය සියල්ලම මෙලෙස 15%ක ප්‍රමාණයකින් කප්පාදුවට ලක්වනු ඇත.

“මම මේ අවස්ථාවේ දී ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට, මොකද ඔවුන් ඉතාමත් හොඳින් අවබෝධ කරගත්තා මේ කොරෝනා තත්වය නිසා ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවට සහ එයට වුනු මූල්‍යමය හානිය. මේ වගේ මූල්‍යමය අභියෝගයක් තිබෙන වෙලාවක Eoin Morgan සහ Joe Root ඇතුළු එංගලන්ත ක්‍රීඩකයින් ලබා ගත්ත මේ තීරණය ගැන අපි ගොඩක් ආඩම්බර වෙනවා” යැයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ (පිරිමි) කළමනාකරණ අධ්‍යක්ෂක Ashley Giles මහතා පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<