එංගලන්ත – දකුණු අප්‍රිකා සටනට කොළ එළියක්

205
England to begin white-ball tour of South Africa
©Reuters

දිනෙන් දින ඉතා කණගාටුදායක පුවත් මවන දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට තරමක සහනයක් ගෙන දෙමින් ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා එරටේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එක්දින තරග තුනකින් සහ පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත සංචාරයක් සඳහා ලබන මස මැද දී එංගලන්තය දකුණු අප්‍රිකාවට පැමිණීමට නියමිතව ඇති අතර තරගාවලිය නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සහභාගි වන එංගලන්ත කණ්ඩායම නොවැම්බර් මස 16 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරට පැමිණීමට නියමිතව ඇති අතර එහි දී ඔවුන් Vineyard Hotel හී නවාතැන් ගෙන සෞඛ්‍යාරක්ෂිත වටපිටාවකට අනුගත වෙමින් Western Province Cricket Club ground හිදී සිය පුහුණුවීම් කටයුතු සිදු කිරීමටත්, අන්තර් සංචිත පුහුණු තරග ද්විත්වයක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර ඇත.

මෙම තරගාවලිය පැවැත්වීම, මේ දිනවල දැඩි අභ්‍යන්තර ගැටලු රැසකට මෙන්ම මූල්‍ය ගැටලුවකට ද මුහුණ පා සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් හට මහත් සහනයක් වනු ඇති අතර තරගාවලියේ සියලුම තරග Cape Town සහ Paarl හිදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලියට අවසර හිමි වීමෙන් පසු අදහස් පලකරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජික Tom Harrison ප්‍රකාශ කර සිටියේ, මෙම වසංගත කාලසීමාව තුළ දී ජාත්‍යන්තර තරගාවලි අවලංගු නොවී පැවැත්වීමට තම බලධාරීන් අවශ්‍ය සියලූම කටයුතු සිදු කරන බවයි.

“Proteas එරෙහිව සිදු කරන සෑම තරගාවලියක්ම ඉතා තියුණු මෙන්ම ආකර්ෂණීය බවක් ගන්නවා, අප ඒ පිළිබඳව මෙම වසරේ මුල පැවති තරගාවලියේ දී දුටුවා. මෙම සංචාරය ඉදිරියට ගෙන යාමට සහ අප ක්‍රීඩකයන් ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර දීමට ඔවුන් දරන උත්සහය පිළිබඳව මා දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් හට ස්තුතිය පුද කර සිටිනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවද මෙම තරගාවලිය පෙර සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකි වීම පිළිබඳව අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජික Kugandrie Govender ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය මගින් ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ජීවයක් එක් කරන බවයි.

“එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඔවුන් විසින් විවිධ ආකාරයෙන් අප වෙත ලබා දී ඇති සහයෝගය පිළිබඳව අප ස්තුතිය පුද කර සිටිනවා, අප හට ඔවුන්ගේ අත්දැකීම් සහ උපදෙස් ලබා ගනිමින් මෙම ජෛව ආරක්ෂිත වටපිටාවක් යටතේ තරග සංවිධානය කර පැවැත්වීමට හැකි වනු ඇත.

එමෙන්ම අප අපේ ස්තුතිය පුද කර සිටිනවා අප රජය වෙත මෙන්ම අපගේ සෞඛ්‍ය අංශය ඇතුළු මෙම තරගාවලිය පැවැත්වීමට සහය ලබා දෙන සියලූම දෙනාට, එය අප දේශයට නැවත ක්‍රිකට් ක්‍රීඩාව පැමිණීමට විශාල සහයෝගයක් වුනා. මෙයට සහභාගි වන සියල්ලන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවයි අපගේ ප්‍රධාන අරමුණ වෙන්නේ” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මාර්තු මාසයේ ඉන්දියානු සංචාරය අවසන් කර පැමිණීමෙන් පසු දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන මුල්ම තරගාවලිය මෙය වන අතර කොරෝනා වසංගතයෙන් පසු එංගලන්ත කණ්ඩායම විදේශයේ සංචාරය කරන මුල්ම අවස්ථාව මෙය වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<