ප්‍රධාන පුහුණුකරු නොමැතිව සිම්බාබ්වේ පාකිස්තානයට

සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තානු සංචාරය 2020

195
Lalchand Rajput
(Photo by Jekesai NJIKIZANA / AFP)

මේ මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය සඳහා සහභාගී වන සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයේ ඉස්ලාමාබාද් බලා අද (20) ළඟා විය. ඒ ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු නොමැතිවයි.

සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන ඉන්දීය ජාතික Lalchand Rajput හට තරගාවලියට පෙර යම් යම් ගැටලු කිහිපයක් තිබී ඇති නමුත් තිබූ වීසා ගැටලු සහ අනෙකුත් ගැටලු නිරාකරණය කර දීමට සිම්බාබ්වේ සහ පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණි. 

එසේ වුවත් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානු ක්‍රිකට් ආයතනයට පවසා ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු මේ තරග සංචාරය සඳහා එක් නොවන බවයි.

තවත් ක්‍රිකට් පුවත්

58 හැවිරිදි වියේ පසුවන Lalchand Rajput ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 6 (එක්දින තරග 4, ටෙස්ට් තරග 2) කටද ක්‍රීඩා කර ඇත. 1985 සහ 1987 යන වර්ෂවල දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් ඔහු 2018 අගෝස්තු මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තේරී පත්විය.

තරගාවලිය සඳහා ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගයේ එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්. එක්දින තරගාවලිය රාවල්පින්ඩි හිදී පැවැත්වෙන අතර ඉන් පසුව විස්සයි විස්ස තරගාවලිය ලාහෝර් හිදී පැවැත්වේ.

එම තරගාවලිය සඳහා එක්වන සිම්බාබ්වේ කණ්ඩායම අද උදෑසන පාකිස්තානය බලා පැමිණි අතර ඉදිරි පැය 48ක කාලය තුල එම සෑම අයෙකුගේම PCR පරීක්ෂණ සිදු කර එහි ප්‍රතිඵල මත ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.

කෙසේ නමුත් වර්තමානය වන විට ලොව පුරා මෙන්ම පාකිස්තානයේ ද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින අතර ICCය විසින් දැනුම් දී තිබෙන සෞඛ්‍ය උපදෙස් අනුව යමින් තරගාවලිය සාර්ථකව අවසන් කරගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් විසින් සපයා තිබේ. එසේම තරගාවලියේ කිසිදු තරගයක් ක්‍රීඩා පිටියේ සිට නැරඹීමට කිසිදු ප්‍රේක්ෂකයෙක් හට අවස්ථාව ලැබෙන්නේ නැත.

පාකිස්තානය ගෙවී ගිය වසරක කාලයක් තිස්සේ සිය රට තුල එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති අතර ඔවුන් අවසන් වරට සිය රටේ දී එක්දින තරගාවලියක් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව සමඟයි. ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගයේ තරගාවලියක් වන මෙහි එක්දින තරග තුන කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් වන අතර මේ කණ්ඩායම් දෙකේම ආරම්භක තරගාවලිය මෙය වනු ඇත.

2015 වසරට පසුව සිම්බාබ්වේ කණ්ඩායමක් පාකිස්තාන සංචාරයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙය වන අතර 2009 වසරේ දී පාකිස්තානයේ ලාහෝර් නුවර දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව පාකිස්තානයට සංචාරය කළ පළමු ICC පූර්ණ සාමාජිකත්වය හිමි ක්‍රිකට් කණ්ඩායම වන්නේ ද සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමයි.

තරග කාලසටහන:

  • ඔක්තෝබර් 30 – පළමු එක්දින තරගය – රාවල්පින්ඩි හිදී
  • නොවැම්බර් 1 – දෙවැනි එක්දින තරගය – රාවල්පින්ඩි හිදී
  • නොවැම්බර් 3 – තුන්වැනි එක්දින තරගය – රාවල්පින්ඩි හිදී
  • නොවැම්බර් 7 – පළමු විස්සයි විස්ස තරගය – ලාහෝර් හිදී
  • නොවැම්බර්  8 – දෙවන විස්සයි විස්ස තරගය – ලාහෝර් හිදී
  • නොවැම්බර් 10 – තුන්වැනි විස්සයි විස්ස තරගය – ලාහෝර් හිදී

ESPNcricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<