පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, October 20, 2020

The Secret - 3 වන කොටස - කැමැත්ත කරා කැමැත්ත ආකර්ෂණය වෙයි

 

ජෝන් ආසරෆ්

                ආකර්ෂණ ධර්මතාව දෙස මා බලන ඉතාමත් සරලතම ආකාරය මෙයයි. මා දකින්නේ මා කාන්දමක් ලෙස නම්, කාන්දමට තවත් කාන්දමක් ආකර්ෂණය වන බවයි.

විශ්වයේ සිටින වඩාත් ප්‍රබලතම කාන්දම ඔබයි. ලොව අන් කිසිදු දෙයකටත් වඩා ප්‍රබල වූ කාන්දම් බලයක් ඔබ සතුයි. මේ අසීමාන්තික වූ කාන්දම් බලය නිකුත් වෙන්නේ ඔබේ සිතුවිලි තුළින්.

-----

බොබ් ඩොයිල්

                කතුවරයෙක්. ආකර්ෂණ ධර්මතාවය පිළිබඳ විශේෂඥයෙක්.

                මූලිකවම ගතහොත්, ආකර්ෂණ ධර්මතාවයෙන් පැවසෙන්නේ කැමැත්ත කරා කැමැත්ත ආකර්ෂණය වන බවයි. නමුත් අප සැබවින්ම ඒ පිළිබඳ නොසිතන තරම්.

-----

ඔබ කැමැති සිතිවිලි ඔබට ආකර්ෂණය වන බව එයින් කියැවෙනවා. ඔබේ ජීවිතයට සම්බන්ධ ආකර්ෂණ ධර්මතාවයන් පිළිබඳ මේ නිදසුන් බලන්න. ඔබ අකැමති යමක් පිළිබඳ සිතන්නට ඔබ කවරදාක හෝ පෙළඹී තිබෙනවාද? එවැන්නක් ගැන සිතීම පවා කෙතරම් අකැමැති දෙයක්ද? එයට හේතුව ආකර්ෂණ ධර්මතාව මගින් ඔබ වඩාත් කැමති සිතිවිලි ඔබ කරා රැගෙන එන නිසයි. ඔබ අකැමැති සිතිවිලි  ඔබේ සිතට ගළා ගෙන එද්දී මිනිත්තු කිහිපයක් තුළ සියල්ල අයහපත් අතට හැරෙනවා ඔබට දැනේවි. තවදුරටත් ඒ පිළිබඳ සිතුවොත් වන්නේ සියලු දෙයම අවුල් සහගත තත්වයකට පත්වීම පමණයි.

ඔබ කැමති ගීතයකට සවන් දෙන විට ඔබ කැමැති සිතිවිලි ආකර්ෂණය වනවා ඔබට දැනේවි.  ඔබට ඒ ගීතය සිතින් ඉවත් කරගන්නට නොහැකි යැයි ද සිතේවි. ඒ ගීතය නැවත නැවත ඔබේ සිත තුල නැවත නැවත ඇසෙයි. ඔබට නොදැනුනත් සිදුවන්නේ ඒ ගීතය කෙරෙහි ඔබේ සම්පූර්ණම අවධානය යොමු වීමයි. එවිට ඒ ගීතයට සම්බන්ධව ඔබ කැමති සිතිවිලි වඩ වඩාත් ඔබ කරා ආකර්ෂණය වන්නට පටන් ගනියි. ආකර්ෂණ ධර්මතාව ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටයි. එහිදී ඒ ගීතය පිළිබඳ ඔබේ සිතේ කැමැත්ත ඇති වන සිතිවිලිවලින් ඔබේ සිත පිරී යයි.

-----

 ජෝන් ආසරෆ්

මිනිසුන් ලෙස අපගේ කාර්යය වන්නේ අපට අවශ්‍ය කුමන සිතිවිලි ද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනීමයි. අපට අවශ්‍ය කුමක්ද යන්න සහමුලින්ම අපගේ සිත් තුළ පැහැදිලිව    තැන්පත් කර ගැනීමයි. එමෙන්ම එතැන් සිට විශ්වයේ පවතින බලගතුම ධර්මතාව වන ආකර්ෂණ ධර්මතාව ඔබට සමීප කර ගැනීමට උත්සාහ කිරීමයි. ඔබ වැඩි වශයෙන් සිතන්නේ කුමනකාර පුද්ගලයකු වන්නට ද, ඔබ ඒ පුද්ගලයා බවට ඔබ පත් වෙනවා මෙන්ම       ඔබ වඩාත් සිතන ලද දෙය කෙරෙහි ඔබ ආකර්ෂණය ද වෙයි.

-----

ඔබගේ වර්තමාන ජීවිතය යනු ඔබේ අතීත සිතිවිලිවල පිළිබිඹුවක් ලෙස සඳහන් කළ හැකියි.  සියලු ශ්‍රේෂ්ඨ මෙන්ම ශ්‍රේෂ්ඨ යැයි ඔබ නොසිතන දෑ ද එහි ඇතුළත් වෙනවා. ඔබ වඩාත්ම සිතන දේවල්වලට ඔබ ආකර්ෂණය වන බැවින්,  ජීවිතයේ සෑම කාරණයකට ම අදාළ ප්‍රධාන පෙලේ සිතිවිලි මොනවාදැයි හඳුනා ගැනීම ඔබට වඩා පහසු වෙනවා. එයට හේතුව ඔබ අත්දැකීම් ලබා ගෙන ඇත්තේ ඒවා පිළිබඳව නිසයි. ජීවිතය තුළ තේරුම් ගැනීමට අපහසුව තිබුණු රහස මෙයයි. එය අවබෝධ කර ගත්තොත් ජීවිතයේ සෑම දෙයක්ම වෙනස් කිරීමේ හැකියාව ද ඔබට ලැබෙනවා.

-----

බොබ් ප්‍රොක්ටර්

ඔබ යමක් සිතින් දකින්නේ නම්, ඔබට එය දෑතින් අල්ලා ගන්නටත් හැකියි.

ඔබට අවශ්‍ය කුමක් දැයි ඔබට සිතින් දැකිය හැකි නම්, එය ඔබේ ප්‍රධානතම සිතිවිල්ල බවට පත් කර ගත හැකි නම්, ඔබ එය ඔබේ ජීවිතයට ළං කරගන්නට අපහසු වන්නේ නැහැ.

-----

මයික් ඩූලි

කතුවරයකු සේම ජාත්‍යන්තර දේශකයෙක්.

මේ ධර්මතාව සිතිවිලි ජීවමාන වේයනුවෙන් සරල වචන තුනකින් විස්තර කළ හැකියි.

-----

වඩාත් ප්‍රබල ධර්මතාව වන මෙය තුළින් ඔබේ සිතිවිලි ඔබේ ජීවිතයේ අංග බවට පත් වෙනවා. සිතිවිලි ජීවමාන වෙනවා. මෙය ඔබටම නිතර පවසා ගැනීමෙන් එය ඔබේ සිතෙහි තැන්පත් වන්නට ඉඩ හරින්න. ඔබේ ප්‍රධාන සිතිවිල්ල එය බවට පත් වන්නට ඉඩ හරින්න. එවිට ඔබේ සිතිවිලි ජීවමාන වෙනවා. 

-----

ජෝන් ආසරෆ්

බොහෝ දෙනෙකු වටහා නොගන්නා දෙයක් වන්නේ සිතිවිලිවලට සංඛ්‍යාතයක් ඇතැයි          යන්නයි. අපට             සිතිවිලි මැනිය හැකියි. ඔබ ඒ සිතිවිල්ල පිළිබඳ නැවත නැවත සිතන්නේ නම්, ඔබට සිහිනයක් වී ඇති මෝටර් රථය සිතින් දකින්නේ නම්, ඔබට අවශ්‍ය මුදල්, ඔබේම ව්‍යාපාරික ස්ථානයක්, ඔබේ ජීවන සහකරු හෝ සහකාරිය කුමනකාර විය යුතුද යන්න පිළිබඳ නිතර සිතන්නේ නම්, ඔබේ සිතිවිලිවලින් නිරන්තරයෙන් එක්තරා සංඛ්‍යාතයක් නිකුත් වන්නට පටන් ගන්නවා.

 -----

ආචාර්ය ජෝ විටාලි

සිතිවිලිවලින් චුම්බක සංඥාවක් නිකුත් වන අතර ඒවා සමාන්තරව ඔබ කරාම නැවත පැමිණෙයි.

-----

මෙහිදී චුම්බකය හෙවත් කාන්දම වන්නේ ඔබේ සිතේ ඇති වන ප්‍රමුඛතම සිතිවිල්ලයි. ප්‍රමුඛ සිතිවිල්ල යනුවෙන් හැඳින්වෙන්නේ නිතරම පාහේ  සිතේ පවතින සිතිවිල්ලයි. එමෙන්ම, අප මෙතෙක් කතා කළ ධර්මතාව වන්නේ කැමැත්ත කරා කැමැත්ත ආකර්ෂණය වේය යන්නයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ සිතේ ඇති වූ ප්‍රමුඛතම සිතිවිල්ල කරා ඒ හා සමාන තවත් සිතිවිල්ලක් ඉබේම ආකර්ෂණය වෙනවා.

                - චාල්ස් හානෙල් (1866 - 1949)

-----

සිතිවිලි කාන්දම් බලයෙන් යුක්ත වන අතර ඒවාට සංඛ්‍යාතයක් තිබෙනවා. මේ සිතිවිලි විශ්වයට යවන්නට ඔබ සිතුවහොත්, ඒවා තමාට සමාන සංඛ්‍යාතයෙන් යුක්ත සියලු දෑ තමා කරා ආකර්ෂණය කර ගන්නවා. බැහැරට යවන ලද සියලු දේ යළි පිටත් කළ තැනටම ආපසු පැමිණෙනවා. ඒවා පිටත් කළ තැන වන්නේ ඔබම යි.

අපට එය තවත් සරලව මෙසේ තේරුම් ගත හැකියි. රූපවාහිනී විකාශනාගාරයකින් සිය විකාශන කටයුතු සිදුකරනුයේ විවිධ සංඛ්‍යාතයන් ඔස්සේයි. එම සංඛ්‍යාත ඔබේ රූපවාහිනී යන්ත්‍රය තුළ දී නැවත රූප සහ ශබ්ද බවට පත් වෙනවා. එය සිදුවන්නේ කෙසේ දැයි අප බොහෝ දෙනෙකු දන්නේ නැහැ. නමුත් සෑම නාලිකාවකටම සංඛ්‍යාතයක් ඇති බවත්, අප එම සංඛ්‍යාතයට රූපවාහිනී යන්ත්‍රය සුසර කළ විට අපගේ රූපවාහිනී තිරය මත රූප දර්ශනය වන බවත් අපි දන්නවා. අප සංඛ්‍යාතය තෝරා ගන්නේ නාලිකාව වෙනස් කිරීමෙන් වන අතර එවිට එම නාලිකාව ඔස්සේ විකාශනය වන රූපය අපට දර්ශනය වෙනවා. අපගේ රූපවාහිනියෙන් වෙනත් රූපයක් නැරඹීමට අවශ්‍ය නම්, අප නාලිකාව වෙනස් කොට නව සංඛ්‍යාතයකට සුසර කර ගත යුතු වෙනවා.

ඔබ ද විකාශන කුළුණක්. ඔබ මෙලොව ඇති සෑම රූපවාහිනි කුළුණකටම වඩා බලවත්. මේ විශ්වයේ පවතින ප්‍රබලතම විකාශන කුළුණ ඔබයි. ඔබේ විකාශනය ඔස්සේ ඔබේ ජීවිතය නිර්මාණය කෙරෙන අතර එමගින් ලෝකය නිර්මාණය වෙනවා. ඔබ විකාශනය කරන සංඛ්‍යාතය ගම් දනව්, නගර, රටවල් සිසාරා පැතිර යනවා. එය මුළු මහත් විශ්වය පුරාම පැතිර යනවා. ඔබ ඒ විකාශනය සිදු කරන්නේ ඔබගේ සිතිවිලි ඔස්සේයි.

ඔබගේ සිතිවිලිවලින් සම්ප්‍රේෂණය වන රූප ඔබගේ සාලයේ ඇති රූපවාහිනිය මත පිළිබිඹු වන ඒවා නොවේ. ඒවා ඔබගේ ජීවිතය පෙන්වන රූපයි. ඔබගේ සිතිවිලි සංඛ්‍යාත මවනවා. ඒවා එම සංඛ්‍යාතයෙහි ඇති කැමැති දේ කෙරෙහි ආකර්ෂණය වෙනවා. අනතුරුව ඔබේ ජීවිතයේ රූප සටහන් සිතිවිලි මගින් ඒවා නැවත ඔබ වෙත විකාශනය කෙරෙනවා. ඔබේ ජීවිතයේ යමක් වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ සිතිවිලි වෙනස් කොට නාලිකාව සහ සංඛ්‍යාතය වෙනස් කළ යුතු වෙනවා.

-----

බොබ් ප්‍රොක්ටර්

ඔබට අතමිට යහමින් ඇති ජීවිතයක් හිමි බව සිතින් දකින්න. එවිට ඔබ එයට ආකර්ෂණය වේවි.

ඔබ ධනය, සතුට සහිත පරිපූර්ණ ජීවිතයක් ගෙවන්නෙකු යැයි සිතුවහොත්, ඔබ ඔබේ ජීවිතය ප්‍රබල සහ මනා සිහියෙන් යුක්තව ආකර්ෂණ ධර්මතාව ඔස්සේ ඉදිරියට රැගෙන යන්නට හැකියාව ලැබෙනවා එය පහසුයි. නමුත් ගැටලුව වන්නේ එවැනි ජීවිතයක් ලබාගැනීම සඳහා ප්‍රබල ලෙස සිහින මවන්නට අපට ඇති නොහැකියාවයි.

අයහපත වෙනුවට යහපත ආකර්ෂණය කරගන්න

තමාට අවශ්‍ය දෙය තමාට අහිමිවන්නට එකම හේතුව වන්නේ ඔබ ඔබට අවශ්‍ය දෙයට වඩා ඔබට අවශ්‍ය නොවන දේ පිළිබඳ වැඩිපුර සිතීමයි. ඔබ කතා කරනා විට ඔබේ සිතිවිලිවලට සහ   වචනවලට සවන් දෙන්න. ආකර්ෂණ ධර්මතාව සීමාරහිත වන අතර කිසිදා වරදින්නේ ද නැහැ.

බොහෝ දෙනෙක් වරද්දා ගන්නා දෙය වන්නේ අනේ අපට ඕවා ඕන නෑ. එච්චර ලොකු ජීවිතයක් ඕන නෑ. එච්චර ලොකු ගෙවල් අපට මොකටදවැනි සිතිවිලි යි.

මිනිසුන් තමාට අවශ්‍ය නැතයන දේ පිළිබඳ වැඩි වශයෙන් සිතද්දී, කතා කරද්දී, ක්‍රියා කරද්දී සහ අවධානය යොමු කරද්දී ඔවුන්ට ඇත්තටම ඒ දේවල් ලැබෙන්නේ නැහැ.  දැන් ඔබ ඒ සිතිවිල්ල වෙනස් කර ගත යුතු කාලය ඇවිත්. 

-----

බොබ් ඩොයිල්      

ඔබ හොඳ හෝ නරක ලෙස, අවශ්‍ය හෝ අනවශ්‍ය ලෙස යමක් ප්‍රත්‍යක්ෂ කරගැනීම ආකර්ෂණ ධර්මතාවයට අදාළ වන්නක් නොවෙයි. එය ප්‍රතිචාර දක්වන්නේ ඔබගේ සිතිවිලිවලටයි. එබැවින් ඔබ ණය කන්දක් පිළිබඳ කල්පනා කිරීමේදී, ඒ පිළිබඳ කරදරයෙන් සිතීමේ දී, ඔබ විශ්වයට මුදා හරින්නේ එම සංඥාවයි. මට තියෙන ණය කන්දරාව ගැන හිතෙන කොට හැම දේම එපා වෙනවා.මෙසේ පැවසීමෙන් ඔබ ඒ බර ඔබටම පටවා ගන්නවා.  එය ඔබේ ජීවිතයේ කුමන මට්ටමක දී වුවත් ඔබට දැනෙන්නට පටන් ගන්නවා. මෙසේ සිතද්දී  ඔබ වැඩි වැඩියෙන් ලබා ගන්නට යන්නේ ඒ බරයි.

ආකර්ෂණ ධර්මතාව යනු සොබා දහමේ නීතියයි. එය එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයෙන් බලපානා දෙයක් නොවෙයි. ඔබ සිතන්නේ කුමක් පිළිබඳ වුවත්, ආකර්ෂණ ධර්මතාව නිතැනින්ම එය ඔබට ලබා දෙයි.

-----

ලිසා නිකොල්ස්

කතුවරියක්. පුද්ගල පෞරුෂය බල සම්පන්න කිරීමේ විශේෂඥවරියක්.

ආකර්ෂණ ධර්මතාව සැබවින්ම ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකියි. ඔබට අවශ්‍ය දෙය පිළිබඳ ඔබ සිතද්දී, ඔබේ සියලු අවධානයන් යොදා ඒ කෙරෙහි යොමු වෙද්දී, ආකර්ෂණ ධර්මතාව සෑම විටම ඔබට අවශ්‍ය දෙය ලබා දෙනවා. එපා’, ‘නැතහෝ නැහැවැනි ඍණාත්මක වචන ආකර්ෂණ ධර්මතාව සමග පරිහරණය කිරීම නොකළ යුතුයි. ඔබ ඍණාත්මක වචන කතා කරද්දී, ඔබට ලැබෙන්නේ ඍණාත්මක දේවල්.

-----

බොබ් ප්‍රොක්ටර්                

ඔබ විශ්වාස කළ ද, නොකළ ද, තේරුම් ගත්ත ද, නොගත්ත ද ආකර්ෂණ ධර්මතාව සෑම විටම ක්‍රියාකාරීයි.

ආකර්ෂණ ධර්මතාව යනු බොහෝ ආගම්වල දැක්වෙන මැවුම්කාර ධර්මතාවයයි. ක්වොන්ටම් භෞතික විද්‍යාඥයන් පවසන්නේ සමස්ත විශ්වයම සිතිවිලිලකින් උපන් බවයි ඔබේ ජීවිතය ඔබ නිර්මාණය කළේ එක් තනි සිතිවිල්ලකින් සහ ආකර්ෂණ ධර්මතාවයෙන් වන අතර, සෑම පුද්ගලයකුම කරන්නේ එයමයි. ඔබ එය පිළිබඳ දැන සිටි පමණින් එය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔබ මේ ශ්‍රේෂ්ඨ ධර්මතාව පිළිබඳ, ඔබේ ජීවිතය ජීවත්වන වන බව අවබෝධ කරගන්නා විට,  ඔබ ඇදහිය නොහැකි තරම් බලසම්පන්න පුද්ගලයකු යැයි ඔබට හැඟෙනු නිසැකයි.  

-----                

ලිසා නිකොල්ස්                

ඔබ සිතන ස්වභාවය ප්‍රබල වන තරමට ආකර්ෂණ ධර්මතාව ක්‍රියාකාරී වනවා. ඔබේ සිතිවිලි ගලා යන ඕනෑම මොහොතක ආකර්ෂණ ධර්මතාව ක්‍රියාත්මක වෙනවා. ඔබ අතීතය පිළිබඳ සිතද්දී ආකර්ෂණ ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. ඔබ වර්තමානය හෝ අනාගතය පිළිබඳ සිතද්දී ආකර්ෂණ ධර්මතාව ක්‍රියාත්මක වෙනවා. එය අඛණ්ඩව ඉදිරියට ඇදී යන ක්‍රියාවලියක්.

-----

අප තේරුම් ගත්ත ද, නොගත්ත ද, වැඩි කාලයක් අප ගත කරනුයේ කල්පනා කරන්නටයි. සිතන්නටයි.  ඔබ යමක් පවසයි ද, අසයි ද, ඔබ කරන්නේ කල්පනා කිරීමයි. ඔබ පුවත්පතක් කියවූව ද, රූපවාහිනිය නැරඹුව ද, ඔබ කරන්නේ කල්පනා කිරීමයි. අතීතය පිළිබඳ මතක් කිරීමේ දී ඔබ කරන්නේ කල්පනා කිරීමයි. ඔබ අනාගතය පිළිබඳ යමක් සිතද්දී ඔබ කරන්නේ කල්පනා කිරීමයි. රිය පදවන විට ද ඔබ කරන්නේ කල්පනා කිරීමයි. ඔබ උදෑසන සූදානම් වෙද්දී ඔබ කරන්නේ කල්පනා කිරීමයි. අප බොහෝ දෙනෙක් කල්පනා නොකරන්නේ අප නින්දට වැටුණු විට පමණයි. කෙසේ නමුත් අප නින්දට වැටෙද්දී අවසන් වරට කල්පනා කරමින් සිටි යමක් ඔස්සේ ආකර්ෂණ ධර්මතාව ක්‍රියාත්මක වෙනවා. නින්දට පෙර ඔබ කල්පනා කරන දෙය යහපත් සිතිවිල්ලක් බවට පත් කරගත යුත්තේ ඒ නිසයි.


The Secret - 2 වන කොටස

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න