ශ්‍රී ලංකා කිරුළ දරණ යොවුන් වීරයා “නිපුන් ධනංජය”

971
Nipun Dhananjaya

වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ඉතිහාසයේ, ශ්‍රී ලංකා මතකයන් අතර නිපුන් ධනංජයට හිමි වෙන්නේ සුවිශේෂි ස්ථානයක්. ඔහු 2018 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වන්නේ ය. මේ ඔහු ගැන ThePapare.com තබන සටහනක්.

“අම්මත්, තාත්තත්, කියන විදිහට මම බැට් එකටත් බෝලෙටත් හුරු වෙන්නේ පුංචිම කාලෙ ඉඳලා. තාත්තා ගෙදර ඉන්නවා නම් ක්‍රිකට් ගහන්න එන්න කියල මගේ වදෙන් බේරෙන්න බැරිලු. තාත්තා ගෙදර නැත්නම් අම්මටත් ඒ වදේම දීලා තියෙනවා. නංගිත් මල්ලිත් ලැබෙන්න ඉන්න කාලවල දී පවා අම්මට සිද්ධ වෙලා තියෙනවා මාත් එක්ක ක්‍රිකට් ගහන්න” නිපුන් ධනංජය තමන් නොදන්නා අතීතය ගැන දෙමාපියන්ගේ මතකයන් සිහිපත් කළා. 

නිපුන්ගෙ තාත්තා, මංජුල සංජීව පෙරේරා. වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. කොළඹ 10, මහාබෝධි විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ කනිෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙසින් පමණයි. ආර්ථික අපහසුතා මැද ඔහු ක්‍රිකට් ක්‍රීඩාව අතහරිනවා. මව, දයානි සමන්ති ගෘහණියක්.

Nipun Dhananjaya
නිපුන්, තම පවුලේ ආදරණීයයන් සමඟින්

ඔවුන්ගේ පවුලේ නිපුන් සමඟ තවත් සාමාජිකයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ නංගි, නිර්මාණි දිලක්ෂි සහ මල්ලි, නිලූප දෙනුවන්. නංගි, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගනුම ලබන අතර මල්ලි වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගනුම ලබනවා. ඔවුන් දෙදෙනාම ක්‍රිකට් පුහුණුවීම්වල  යෙදෙනවා. ඒ අයියා, නිපුන්ගේ ආභාෂයත් සමඟ.

පුංචිම දවස්වල බැට් එකත් බෝලෙත් එක්ක හිටියත් නිපුන්ගේ ක්‍රිකට් ජීවිතය හරිහැටි ආරම්භ වෙන්නේ ඔහුට යම්තම් වයස අවුරුදු 8ක් විතර වෙද්දි. ඒ වසන්ත විජේසූරිය මහතාගේ අධීක්ෂණයෙන් යුත් ක්‍රිකට් පුහුණු පාසලට යෑමෙන්. 

“මම එතකොට ධම්මිස්සරේට යන කාලෙ. මම 3 පංතියේ විතර ඇති. තාත්තා ක්‍රිකට්වලට කැමතියි. මමත් ක්‍රිකට්වලට පුංචි දවස්වල ඉඳලම කැමතියි. ඒ නිසාම තාත්තා වසන්ත සර් ළඟට මාව යවනවා. එතැනින් තමයි මම ක්‍රිකට් ඉගෙන ගන්නේ. ඒ දවස්වල තාත්තා නිතරම කියපු දෙයක් තමයි තාත්තට දිගටම ක්‍රිකට් ගහන්න බැරි වුනත් මට ඒ අවස්ථාව ලබා දෙනවා කියල. මම හිතන්නේ මගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය තාත්තා කියලයි.”  

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ මුලකුරු ඉගෙන ගන්නා නිපුන්, නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම හා එක් වෙමින් වසර ත්‍රිත්වයක් ක්‍රීඩා කරනවා. වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම හා එක්වෙන නිපුන්, පළමු වසරේ තරගාවලිය අවසන් කරන්නේ ලකුණු 631ක් ලබා ගනිමින්. මේ දක්ෂතාව හේතුවෙන් නිපුන් ගැන කතා කරන පිරිස වැඩි වුනා. බොහෝ දෙනෙක්ගේ කතාව වුනේ නිපුන් පුත්තලමෙන්, කොළඹ පාසලකට යවන්නේ නම් වඩාත් සුදුසු බවයි.  ඒත් නිපුන්ගේ පියා ඒ ගැන වැඩි විශ්වාසය තැබුවේ නැහැ. 

“තාත්තට ඕන වුණේ තාත්තටත් යන්න එන්න ලේසි වෙන තැනක මම ක්‍රිකට් ගහනවට” නිපුන් පැවසුවා.  

ධම්මිස්සර විද්‍යාලයේ ක්‍රිකට් ගසමින් සිටි කාලය අවුරුදු තුනක් විතර ගත වුනා. මුලින්ම තරංග ලියනපතිරණ මහතා යටතේත්, ඊට පසුව නුවන් රුචිර මහතා යටතේත් නිපුන් ක්‍රිකට් පුහුණුවීම් ලැබුවා. ඔය අතර තරංග ලියනපතිරණ මහතා 2010 වසරෙන් පසු ජෝසප් වාස් විද්‍යාලයේ පුහුණුකරු වෙන්නේ. ඒ ගමන නිපුන්ගේ ද ක්‍රිකට් ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූවා. 

“ඊට පසු කාලයේ දී මටත් ආරාධනා ලැබෙනවා ජෝසප් වාස් එකට යන්න. එතැනදි මට උදව් කළේ තරංග සර් සහ ක්‍රිකට් බාරව සිටි රන්දීර් කරුණානායක සර්.”

එසේ ගිය පසු 2013 වසරේ සිට නිපුන්ගේ දක්ෂතා ලියැවෙන්නේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය නමින්. එහි පළමු වසරේ දී වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම නියෝජනය කරන නිපුන් තරග 6කට සහභාගී වෙමින් ලකුණු 488ක් ලබා ගන්නවා. ඊට කෑගලු විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද ද්විත්ව ශතකයක් ද ඇතුළත්. 

අනතුරුව වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කළ නිපුන් එම වසරේ දී ම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් වෙනවා. 

“ඒ අවුරුද්දේ දී මම පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කරමින් ලකුණු 250කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගන්නවා. ඒත් එක්කම මම වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමටත් තේරෙනවා. 2015 දී මැලේසියා සංචාරයේ නායකත්වය හිමි වෙන්නේ මට. ඒ අවුරුද්දේ ශූරතාව අපේ රටට දිනා දීමටත් තරගාවලියේ වීරයා වීමටත් මට හැකි වෙනවා.”

එම අවුරුද්දේ වයස අවුරුදු 15න් වයස් කාණ්ඩයේ දක්ෂතම පිතිකරු ලෙසත් සහ එම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් සම්මානයෙන් පුද ලැබීමට ද නිපුන් සමත් වෙනවා. 

එතැන් සිට නිපුන්ගේ නාමය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රමුඛ නාම අතර සටහන් වෙනවා. වයස අවුරුදු 15න් පහළ දෙවැනි වසරේ දි කළුතර විද්‍යාලයට එරෙහිව ශතකයක් ද රැස් කරන නිපුන් 2015/16 තරග සමයේ දී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් වෙමින් ලකුණු 484ක් ලබා ගන්නවා. එම අවුරුද්දේ දී තම පළමු පෙළ මංගල ශතකය වාර්තා කිරීමට ඔහු සමත් වෙනවා. ඒ මොරටු විද්‍යාලයට එරෙහිව. 

“2016 අවුරුද්දේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම නියෝජනය කරද්දී මට වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් දෙදින තරගාවලියේ වයඹ කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ තරගාවලියේ දී අපි දකුණු පළාත් කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රාහකයන් වෙනවා. එම තරගාවලියේ දී මම අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 300කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නවා.”

මේ දක්ෂතාත් සමඟ 2016/17 තරග සමයට වයස අවුරුදු 19න් පහළ තරගාවලියට සහභාගී වෙන නිපුන් පිතිකරුවෙක් ලෙසින් ලකුණු 881ක් ද, දකුණතින් දඟපන්දු යවමින් කඩුලු 72ක් ද ලබා ගන්නවා. ඒ වසරේ පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම් උත්සවවල දී දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසත් සහ ඩයලොග් සම්මාන උළෙලේ දී වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයේ අනුශූරතාවත් හිමි කර ගැනීමට නිපුන් සමත් වෙනවා. ඊට අමතරව යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අන්තර්ජාතික දක්ෂතා ඇගයීමේ දී නිපුන් දක්ෂතම පන්දු රකින්නාට හිමි සම්මානය ද හිමි කර ගන්නවා. ඒ 2018 වසරේ දී. 

Nipun Dhananjaya
ඩයලොග් සම්මාන උළෙලේ වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයේ අනුශූරතාව හිමිකර ගනිමින්.

ඊට පසු 2017/18 තරග අවුරුද්දේ දී නිපුන් විද්‍යාලයීය පළමු පෙළ කණ්ඩායමේ නායකත්වයට පත් වෙන අතර නැවත වතාවක් 2019/20 තරග කාලයේ ද නායකත්වයට පත් වෙනවා. 

“ධම්මිස්සරෙන් පටන් ගත්ත ක්‍රීඩාවට ආලෝකයක් ලැබුණේ ජෝසප් වාස් විද්‍යාලයෙන්. ඒ ගමනේ දී විද්‍යාල දෙකෙන්ම ලැබූ සහයෝගයන් අමතක කරන්න බැහැ. මේ පිටුපස පාසල් දෙකේ බොහෝ දෙනෙක් සිටියා. ඒ සියලුම දෙනාට ස්තුතියි” නිපුන් පවසනවා. 

නිපුන් ප්‍රථම වරට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයකට කැඳවෙන්නේ 2016 වසරේ දී. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව. නමුත් එම තරග සංචාරයට එක්වීමට නිපුන් සුදුසුකම් ලබන්නේ නැහැ. එසේ වුවත් එතැන් සිට දිගින් දිගටම එම සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට නිපුන් සමත් වෙනවා. ඒ අනුව ඔහු පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වෙන්නේ 2017 මැලේසියාවේ දී පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්. ඉන් අනතුරුව ඉන්දියාවේ පැවති නැගී එන වයස අවුරුදු 19න් පහළ තරගාවලියක් වෙනුවෙන් සහභාගී වෙන නිපුන් එම තරගාවලියේ දී අර්ධ ශතක දෙකක් ද වාර්තා කරමින් කැපි පෙනෙන දක්ෂතා දක්වනවා.

“ඊට පස්සෙ මට 2018 වසරේ දී නවසීලන්තයේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන කණ්ඩායම හා එක්වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් එම තරගාවලියේ දී මට එතරම්ම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන ලොකු දුකක් තියෙනවා” නිපුන් පැවැසුවා. 

තවත් විශේෂාංග ලිපි:

අනතුරුව නිපුන්ගේ නම මෙරට යොවුන් තරග ඉතිහාසයේ ලියැවෙන්නේ ‘නායකත්වය’ යන විශේෂණ පදයක ද සමඟින්. ඒ 2018 ජූලි මාසයේ මෙරට සංචාරයේ නියුතු ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි. එම තරගාවලියේ දී 3-2ක් ලෙසින් තරගාවලිය පරාජය වූව ද දෙවැනි තරගයේ දී නොදැවී ලකුණු 91ක් ලබා ගැනීමට නිපුන් සමත් වෙනවා. 

අනතුරුව බංග්ලාදේශය සමග වූ තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමටත්, නැවත බංග්ලාදේශයේ දී 2018 පැවති ආසියානු යොවුන් ශූරතාවලියේ දී අනුශූරයන් ලෙසින් අභිශේක ලැබීමටත්, මෙරට පැමිණි ඕස්ට්‍රේලියාව හා තරගාවලියේ දී සිවු දින තරගය ජයග්‍රහණය කිරීමටත් සහ එක්දින තරගයෙන් 2-1ක පරාජයක් ලැබීමත්, බංග්ලාදේශයේ දී පැවති තුන් දින තරගාවලිය ජයග්‍රහණය කිරීමටත් සහ එහි තරගාවලියේ වීරයා වීමටත්, 2019 වසරේ දී මෙරට පැවති ආසියානු යොවුන් සූරතාවලියටත් සහ බටහිර ඉන්දීය කොදෙව් හි පැවති තුන් කොන් එක්දින තරගාවලියටත් නායකත්වය දෙමින් කටයුතු කිරීමට නිපුන් සමත් වෙනවා.

Nipun Dhananjayaඑහි අග්‍රස්ථානය වෙන්නේ 2020 දකුණු අප්‍රිකාවේ දී පැවති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය ද නිපුන්ට හිමි වීමයි. ඒ අනුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමක නායකයා මෙන්ම ලෝක කුසලාන තරගාවලියක පළමු නායකයා වෙන්නේත් නිපුන්. එමෙන්ම විද්‍යාලයීය ඉතිහාසයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම් උළෙලක දී ලද ඉහළම ඇගයීම ද නිපුන් සතු වෙනවා. 

නිපුන් මේ වන විට වයස අවුරුදු 23න් පහළ තරගාවලියේ දී කොළඹ එස්. එස්. සී. කණ්ඩායම නියෝජනය කරනවා. එහි පළමු වටය අවසන් කරන විට නිපුන් තරග 6කට සහභාගී වී ලකුණු 376ක් ලබා සිටිනවා. එහි ඉනිමක සාමාන්‍ය 75.2ක්. ඒ ලකුණු ප්‍රමාණය දක්වා යෑමේ දී නිපුන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 100ක් සමඟින් කුරුණෑගල යුත් ක්‍රීඩා සමාජයට,  ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට සහ සී. සී. සී. කණ්ඩායමට එරෙහිව අර්ධ ශතක ත්‍රිත්වයක් ද වාර්තා කරනවා.

“ඇත්තටම මේ ආපු ගමන ගැන සතුටුයි. පොඩි තැනකින් ඇවිත් රටේම අවධානයට ලක් වෙන්න ලැබීම ගැන ඊටත් වඩා සතුටුයි. මේ තැනට එන්න එක පාරටම ලැබුණේ නැහැ. ගොඩක් මහන්සි වුනා. කැපවීම් කළා. එක අරමුණක් තියාගෙන ඒ වෙනුවෙන්ම උත්සාහ කළා. 

මේ වෙනුවෙන් මගේ අම්මා, තාත්තා මටත් වඩා විශාල කැපවීම් කළා. ඔවුන් කවදාවත් මට කිසිම දේක අඩුවක් පෙන්නුවේ නැහැ. අවශ්‍ය හැම දෙයක්ම ලබා දුන්නා. තාත්තගේ සිහිනය වුණේ මම කවදාහරි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනවා දකින්න. ඒක යම්තාක් දුරට මම ඉෂ්ට කරල තියෙනවා. මෙතැනින් පස්සේ මට තවත් විශාල ගමනක් යන්න තියෙනවා. ඒ වෙනුවෙන් තව දුරටත් මහන්සි වෙනවා. ඒ ශක්තිය මට ලබා දෙන සහ දුන් සෑම කෙනෙක්ටම ස්තූතියි” නිපුන් පැවසුවා.

නිපුන් ධනංජයේ ඉදිරි ගමනට ThePapare.com අපෙන් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<