ඇමරිකානු රන් පදක්කම් සිහිනය සැබෑ කළ ධෛර්යවන්තිය

35

පුරාණ ඔලිම්පික් අවසන් වී නූතන ඔලිම්පික් උළෙල ආරම්භ වූ පසුව සෑම ඔලිම්පික් උළෙලක දී ම ඉහළ දස්කම් දක්වමින් පෙරමුණ ගන්නට ඇමරිකා එක්සත් ජනපදය සමත් වූ අතර ඔවුන්ට රුසියාව, චීනය වැනි ප්‍රබල රටවලින් හොඳ අභියෝගයක් එල්ල වූවත් එම රටවල් සියල්ල අභිබවා බොහෝ විට සිය ආධිපත්‍ය රැක ගැනීමට ඔවුන් සමත් විය.

සෑම ඉසව්වකම සිය ආධිපත්‍ය පැතිරවීමට ඇමරිකානුවන් සමත් වූවත් 1996 ගිම්හාන ඔලිම්පික් උළෙල තෙක් ඔවුන්ට ජිම්නාස්ටික් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය. 1984 වසරේ ඇමරිකානු කණ්ඩායම දිනා ගත් රිදී පදක්කම ඔවුන් එම ඉසව්වේ ලබා ගත් ඉහළම ජයග්‍රහණය ලෙස සටහන්ව තිබුණි.

1992 වසරේ ද ඔවුන්ට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදු වූවත් පසුව 1996 ඔලිම්පික් උළෙලේ දී කෙසේ හෝ රන් පදක්කම දිනා ගැනීමේ අදිටනින් Béla Károlyiගේ පුහුණුකාරීත්වය යටතේ 1996 ඔලිම්පික් උළෙලට ඉතා ශක්තිමත් කණ්ඩායමක් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලදි. එම කණ්ඩායමට 1992 වසරේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සහය වූ, කලක් ආබාධ නිසාවෙන් පිටියෙන් ඈත්ව සිටි ක්‍රීඩිකාවක් වන Kerri Strug ද සුදුසුකම් ලබා තිබුණි.

1977 වසරේ නොවැම්බර් මස 17 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ Arizona ප්‍රාන්තයේ දී උපත ලැබූ Kerri Strug සිය සහෝදරියගේ අඩිපාරේ යමින් වයස අවුරුදු තුනක් පමණ වන විටම Gymnastics ක්‍රීඩාවට යොමු වීමට පටන් ගත් අතර ඇයට වයස අවුරුදු අටක් වන විටම Gymnastics තරගාවලිවලට සහභාගි වන්නට ද ඇයට අවස්ථාව හිමි විය.

උපතින්ම ලද හැකියාව පුහුණුව තුළින් දියුණු කර ගැනීමට සමත් වූ ඇය ක්‍රීඩා දිවියේ ආරම්භයේ සිට 1991 වසර තෙක්ම Jim Gaultගේ ගුරුහරුකම් යටතේ පුහුණුවීම් කටයුතු සිදු කළ නමුත්, 1991 වසරේ දී ඇය සිය පදිංචිය Texas වෙත මාරු කරමින් නව පුහුණුකරුවා ලෙස සුප්‍රකට පුහුණුකරුවෙකු වූ Béla Károlyi තෝරා ගැනීමට කටයුතු කරන ලදි.

ඉතා ළාබාල වියේ දී ම දැක්වූ දස්කම් නිසාවෙන් 1991 වසරේ පැවති ජාතික Gymnastics ශූරතාව සඳහා සහභාගි වීමට වරම් ලද ඇය එහි දී vault ඉසව්වේ ප්‍රථම ස්ථානයත්, bars සහ all-around ඉසව්වේ තෙවැනි ස්ථානයත්, beam සහ floor ඉසව් හි සිව්වැනි ස්ථානයත් දිනා ගනිමින් දස්කම් දැක්වීමට සමත් විය.

ඇයගේ එම දස්කම් සහ 1992 ඔලිම්පික් උළෙල සඳහා සුදුස්සන් තේරීම සඳහා වූ ඇමරිකානු තේරීම් තරගවල දී දැක්වූ දස්කම් නිසාවෙන්, වයස අවුරුදු 14ක් වන විටම 1992 ගිම්හාන ඔලිම්පික් නියෝජනය කිරීමේ වරම් දිනා ගැනීමට සමත් විය. එවර තරගාවලිය නියෝජනය කළ ඇමරිකානු කණ්ඩායමේ සිටි ළාබාලතම ක්‍රීඩිකාව වූයේ ද ඇය යි.

ළාබාල ක්‍රීඩිකාවක් ලෙස තමන් සහභාගි වූ මුල්ම ඔලිම්පික් උළෙලේ දී ම තරමක කැපී පෙනෙන දස්කම් දැක්වීමට Kerri Strug සමත් වූවත් කේවල තරගවල අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇය හට නොහැකි විය. නමුත් කණ්ඩායම් තරගයේ දී සිය කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා දෙමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඇය ඇතුළු කණ්ඩායමට හැකි විය.

Kerri Strug
Kerri Strug 1992 ඔලිම්පික් තරගාවලිය අතරතුරදී

1992 ඔලිම්පික් උළෙලෙන් පසුව ඇගේ පුහුණුකරු වූ Béla Károlyi ද සිය ධුරයෙන් සමුගැනීමට තීරණය කිරීමෙත් සමඟ ඇයට නව පුහුණුකරුවෙකු සොයා ගැනීමේ ගැටලුවකට මුහුණදීමට සිදු විය. පුහුණුකරුවන් කීප දෙනෙකු යටතේ කටයුතු කිරීමෙන් පසු ඇය Steve Nunno යටතේ පුහුණුවීම් ආරම්භ කළ නමුත් එයින් කෙටි දිනකට පසුව ඇය උදරයේ ආබාධයකට ලක්වීම නිසාවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

පසුව 1993 වසරේ පැවති ඇමරිකානු ජාතික Gymnastics ශූරතාවයේ දී තරමක දස්කම් දැක්වීමට ඇය සමත් වූවත් ආබාධ සහ අනෙකුත් හේතූන් මත බලාපොරොත්තු වූ දස්කම් දැක්වීමට ඇය අසමත් වීම නිසාවෙන් ඇය නැවත වරක් සිය පුහුණුකරුවාට සමුදෙමින් උපන් ගම් ප්‍රදේශයට පැමිණෙන්නට විය.

නැවත වරක් Arizona ප්‍රාන්තයට පැමිණීමෙන් පසුව ඇයව පුහුණුකිරීම සඳහා Arizona ප්‍රාන්තයට පැමිණි Arthur Akopian සමඟින් තම ක්‍රීඩා දිවියේ ඉදිරි පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට ඇය කටයුතු කළ අතර එය සඳහා ඇයගේ කුඩා කල පුහුණුකරුවා වූ Jim Gaultගේ සහය ද හිමි වීම ඇයට අමතර වාසියක් විය.

ආබාධ තත්වෙයෙන් පසු නැවතත් සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් සිටි Kerri Strug uneven bar තරගයක් අතරතුර දී සමබරතාව ගිලිහී යාම නිසාවෙන් අවාසනාවන්ත ලෙස ඇදවැටීමකට ලක් වූ අතර ඇයව රෝහල් ගත කිරීමෙන් පසු එහි දී සිදු වූ ආබාධය තරමක බරපතළ එකක් බව අනාවරණය විය.

එම ආබාධය නිසාවෙන් මාස කිහිපයක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට ඇයට සිදු වූවත් 1994 වසරේ පැවති ලෝක ශූරතාවයේ දී ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට ඇය සමත් විය. 1995 වසරේ ලෝක ශූරතාවයේ දී කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ද ඇය සමත් වූ නමුත් කේවල ඉසව්වන්හී කැපී පෙනෙන දස්කම් අතරට පැමිණීමට ඇයට නොහැකි විය.

පුහුණුකරුවන්ගේ සිදු වූ වෙනස්කම් මෙන්ම වරින් වර ඇති වූ ආබාධ නිසාවෙන් තරමක පසුබෑමකට ලක්ව සිටි ඇය නව පුහුණුකරුවන්ගේ මගපෙන්වීම ඔස්සේ නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණියාය. 1996 ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් 1995 වසරේ දී නැවත වරක් සිය පැරණි පුහුණුකරුවෙකු වූ Béla Károlyi සමඟින් එක්වන්නට ඇය තීරණය කළාය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය 1996 වසරේ පැවති ඇමරිකානු ශූරතාවයේ දී සිය සහෝදර ක්‍රීඩිකාවන් අභිබවමින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ අතර එම දස්කම්වලින් අනතුරුව 1996 ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකානු සුදුස්සන් තේරීමේ තරගවල දී දස්කම් දක්වමින් දෙවන වරටත් ගිම්හාන ඔලිම්පික් වරම් දිනා ගැනීමට ඇය සමත් විය.

පෙර තරගාවලිවල දී ලද පසුබෑමත්, කිසිදා ජයගැනීමට නොහැකි වූ ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමේ අදිටනින් ඉතා ශක්තිමත් ලෙස නිර්මාණය කර තිබූ එවර ඇමරිකානු Gymnastics කණ්ඩායම එවර රන් පදක්කම දිනා ගැනීමට සමත් වේ යැයි සියලූම දෙනා මත පලකර තිබුනත්, Gymnastics ඉසව්වේ සෑම විටම ප්‍රබලයන් වූ රුසියානු සහ රුමේනියානු කණ්ඩායම් ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට සමත් විය.

එම නිසාවෙන් Gymnastics තරග මුල සිටම දැඩි උණුසුම්කාරි බවක් පෙන්නුම් කරන්නට වූ අතර රුසියානු කණ්ඩායම මද වාසියක් ද සමඟින් කණ්ඩායම් තරගවලට පැමිණෙන විට ඉදිරියෙන් සිටින්නට විය.

එසේ නමුත් කණ්ඩායම් තරගය ආරම්භයේ පටන්ම රුසියානු කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කරමින් පෙරමුණ ගැනීමට ඇමරිකානු කණ්ඩායම සමත් වූ අතර තරගයේ අඩක් නිමා වන විට ඇමරිකානු කණ්ඩායම රුසියානු කණ්ඩායමට වඩා ප්‍රසාද ලකුණු 0.897ක පරතරයකින් ඉදිරියෙන් සිටින්නට ද විය.

තවත් විශේෂාංග ලිපි: 

එසේ නමුත් තරගයේ අවසන් භාගයේ දී ඇමරිකානු ක්‍රීඩිකාවන් සිය පතිතවීම් නිවැරදිව අවසන් කිරීමට අසමත් වීමක් පෙන්නුම් කරන්නට වූ නිසාවෙන් නැවත වරක් රන් පදක්කම රුසියානු කණ්ඩායම විසින් දිනා ගැනීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වූ අතර ඇමරිකානු ක්‍රීඩිකා Dominique Moceanu සිය අවස්ථා ද්විත්වයම සම්පූර්ණ කරගැනීමට අසමත් වීම නිසාවෙන් ඇමරිකානු කණ්ඩායමට මෙවරත් රන් පදක්කම ගිලිහී යන ලකුණු පෙන්නුම් කරන්නට විය.

ඇයගේ අසමත් වීමෙන් පසු එදින ඉහළ රිද්මයක සිටි Kerri Strug සිය මුල්ම අවස්ථාව ලබා ගැනීමට ඉදිරිපත් වූ අතර ඇය පතිත වන අවස්ථාවේ දී ලිස්සා යාමෙන් නැවත වරක් පාදයේ ආබාධයකට ලක් වීම නිසාවෙන් ඇමරිකානු කණ්ඩායම් අවසන් බලාපොරොත්තුව ද බිඳ වැටෙන අයුරු පෙනෙන්නට විය.

Kerri Strug
Kerri Strug ආබාධයට ලක් වූ අවස්ථාව

එම අවස්ථාවෙන් පසු ලද අවස්ථාව රුසියන් ක්‍රීඩිකාවන් සාර්ථකව අවසන් කර ගැනීමට සමත් වීම නිසාවෙන් ඔවුන්ගේ ලකුණු තත්වය 9.200 දක්වා ඉහළ යන්නට වූ අතර සිදු වූ අසමත් වීම් නිසාවෙන් ඇමරිකානු කණ්ඩායමේ ලකුණු තත්වය 9.162 රැඳී තිබෙන්නට විය.

ඇමරිකානු කණ්ඩායමට ඉතිරිව ඇති එකම අවස්ථාව Kerri Strugගේ දෙවන අවස්ථාව පමණක් වූ අතර මුල් වටයේ දී ඇය තරමක බරපතළ ආබාධයකට ලක්වීම නිසාවෙන් එම අවස්ථාව ඇය ලබාගනී දැයි යන ගැටලුව සියල්ලන්ගේම සිතට නැගෙන්නට විය.

“මම ඒ අවස්ථාවේ දී මගේ පුහුණුකරුගෙන් ඇසුවා අපට මෙය අවශ්‍ය ද කියලා, එවිට ඔහු පැවසුවා ඔව් අපට ඔබ තව එක් වරකට අවශ්‍යයි, අපට ඔබව රන් පදක්කම ලබා ගැනීමට තවත් එක් වරක් යැවීමට අවශ්‍යයි, ඔබට එය කරන්න පුළුවන් සියල්ලට වඩා හොඳින් කියලා” යැයි Kerri Strug පසුකලෙක අදහස් දක්වමින් පවසා සිටියා.

පුහුණුකරුගෙන් සහ කණ්ඩායමෙන් ලැබූ දිරිගැන්වීමත්, සිය දේශයට ඔලිම්පික් රන් පදක්කමක් ගෙන දීමේ අරමුණත් සිතෙහි තබා ගත් Kerri Strug පාදයේ වේදනාව මදකට අමතක කොට සිය අවස්ථාව සම්පූර්ණ කිරීමට දිව එන්නට වූ අතර සිතෙහි ඇති දැඩි අධිෂ්ඨානය නිසාවෙන් ඇය එම අවස්ථාව සාර්ථකව අවසන් කරමින් පතිත වීම නිවැරදිව සම්පූර්ණ කරන්නට විය.

පිටියට පතිත වීමේ දී ඇයට දැඩි වේදනාවක් ගෙන දෙන්නට වූ නමුත් ඇය තම සිතෙහි ධෛර්යයෙන් එම වේදනාවන් සියල්ල යටපත් කරගනිමින් කණ්ඩායමට අවශ්‍ය වූ අවසානය ලබා දෙන්නට වූයේ තම දේශයට දිගු කාලයක් මුළුල්ලේ තිබූ ඔලිම්පික් Gymnastics කණ්ඩායම් ඉසව්වක මුල්ම රන් පදක්කමක පහස විදීමට ඉඩ සලසමිනි.

Kerri Strug
Kerri Strug (දකුණේ සිට දෙවනුව) ඇතුළු කණ්ඩායම ජයග්‍රහණයෙන් අනතුරුව

එම තරගයෙන් පසු ඇයව රෝහල් ගත කිරීමට සිදු වීමත් සමඟ ඒ වන විටත් Gymnastics කේවල ඉසව්වන්හී අවසන් මහා තරගයට තේරී පත්ව සිටි ඇයට එම තරගයට සහභාගි වීමට අවස්ථාව නොලැබුණු අතර ඇයගේ මෙම ක්‍රියාව නිසාවෙන් ඇය ඇමරිකානු ජාතික වීරවරියක් ලෙස ද නම් කරමින් එවකට ඇමරිකානු ජනාධිපති Bill Clintonගේ පැසසුමට පවා ලක්වන්නට විය.

එම ඔලිම්පික් උළෙලේ දී සිදු වූ ආබාධයෙන් පසුව ක්‍රීඩාවට වඩා අධ්‍යාපනයට සිය අවධානය යොමු කළ Kerri Strug, Stanford University හී සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරමින් ගෞරව උපාධියක් ලබා ගැනීමට ද සමත් විය. එම අධ්‍යාපන කටයුතු නිමා වීමෙන් අනතුරුව ඇය ගුරුවරියක් ලෙස මෙන්ම සමාජ සේවිකාවක ලෙස ද සිය සේවාව ලබා දෙමින් සමාජයට ඉමහත් සේවයක් ඉටු කරන්නට විය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<