යුද හමුදා T20 ශූරතාව චන්දිමාල්ගේ කණ්ඩායමට

යුද හමුදා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2020

3161
Image Credits - sportsphotography.lk

යුද හමුදාව විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ යුද හමුදා Commander’s විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (17) දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එහි දී සුපර් ෆැෂන් Northern Warriors ලකුණු 9කින් පරාජයට පත් කළ ඩිමෝ Southern Warriors මේ තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ලදි.

පසුගිය 5 වැනිදා ආරම්භ වූ මේ තරගාවලියේ මූලික වටයේ තරග දොඹගොඩ පිහිටි යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර එහි දී ඒ ඒ කණ්ඩායම් දැක්වූ දස්කම් අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක දිනා ගත් Northern Warriors සහ Southern Warriors අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:

තරගයේ කාසියේ වාසිය දිනා ගත් දිනේෂ් චන්දිමාල්ගේ Southern Warriors කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා අවස්ථාව ලබා ගත්තා.

මේ කණ්ඩායම් දෙකම මූලික වටයේ තරග තුන බැගින් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට පිවිසි නිසාවෙන් ඉතාමත් උණුසුම් තරගයක් දැක බලා ගැනීමට හැකි වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන පළ කළ අතර එය එසේම සිදු විය. 

පළමුව පන්දුවට පහර දුන් Southern Warriors සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 159ක් ලබා ගත් අතර එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අසන්ත බස්නායක ලකුණු 47ක් ලබා ගන්නා ලදි.

කෙසේ නමුත් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දිනේෂ් චන්දිමාල් හට මේ තීරණාත්මක අවසන් තරගයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 19ක් පමණි. ඊට අමතරව මේ තරගාවලිය පුරාවට ඉතාමත් හොඳින් සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ වනිඳු හසරංග ලකුණු 29ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වයස අවුරුදු 21ක් වන දකුණතින් වේගපන්දු යවන හේෂාන් හෙට්ටිආරච්චි ලකුණු 46කට කඩුලු 2ක් දවා ගත්තේ තරගාවලිය පුරාවට Northern Warriors වෙනුවෙන් සාර්ථක වූ හොඳම පන්දු යවන්නා ලෙසයි. මීට පෙර පැවති තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් නායක සීකුගේ ප්‍රසන්න හට මේ තරගයේ දී දවා ගැනීමට හැකියාව ලැබුණේ එක් කඩුල්ලක් පමණි.

ලකුණු 160ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Northern Warriors කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට නායක සීකුගේ සමත් වූයේ ලකුණු 49ක් ලබා ගනිමිනි. 4 පහර 3ක් සහ 6 පහර 5කින් වර්ණවත් වූ ඔහුගේ එම වේගවත් ඉනිම ගොඩනැංවීම සඳහා ඔහුට වැය වූයේ පන්දු 23ක් පමණි.

දසුන් ශානක මේ තරගයේ දී ඔවුන්ගේ කණ්ඩායමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 34ක් ලබා ගන්නා විට, භානුක රාජපක්ෂගේ වටිනා කඩුල්ල දවා ගැනීමට මලින්ද අභිෂේක් සමත් විය.

දකුණතින් පිට දඟපන්දු යවන සුමින්ද ලක්ෂාන් මේ තරගයේ වීරයා බවට පත්වෙමින් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තේ සීකුගේ කඩුල්ල ද දවා ගනිමිනි. Northern Warriors කණ්ඩායමේ 19 වැනි පන්දුවාරය තුල දසුන් ශානකගේ කඩුල්ල දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන සුරංග ලක්මාල් සමත් වූයේ තරගයේ ජයග්‍රහණය පිළිබඳව Southern Warriors කණ්ඩායමට වැඩි බලාපොරොත්තුවක් ලබා දෙමින් වන අතර අවසානයේ දී එය එලෙසම සාක්ෂාත් කර ගැනීමට ඔවුන්ට හැකි විය.

ඩිමෝ Southern Warriors – 159/6(20): අසන්ත බස්නායක 47, වනිඳු හසරංග 29, හේෂාන් හෙට්ටිආරච්චි 2/46

සුපර් ෆැෂන් Northern Warriors – 150/10 (19): සීකුගේ ප්‍රසන්න 49, දසුන් ශානක 34, සුමින්ද ලක්ෂාන් 3/22, වනිඳු හසරංග 2/28, මලින්ද අභිෂේක් 2/23, සුරංග ලක්මාල් 2/39

Southern Warriors කණ්ඩායමට ලකුණු 9ක ජයක්

  • තරගාවලියේ හොඳම පිතිකරු – දිනේෂ් චන්දිමාල් (ලකුණු 288)
  • තරගාවලියේ හොඳම පන්දු යවන්නා – තිසර පෙරේරා (කඩුලු 12)
  • තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා – ආර්. තෙනුදරන්
  • අවසන් තරගයේ වීරයා – සුමින්ද ලක්ෂාන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<