CH හමුදාව ශක්තිමත් කිරීමට ප්‍රබල CR සෙන්පතියෝ දසදෙනෙක්!

1391

ප්‍රබල CR&FC කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය තරග වාරයන් කිහිපයේ දී ම කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 10 දෙනෙකු එළඹෙන තරග වාරය සඳහා මේට්ලන්ඩ් පෙදෙස CH&FC ක්‍රීඩා සමාජය සමඟ අත්වැල් බැඳගැනීමට සූදානමින් පසුවන බව ඊයේ (14) වාර්තා විය.

CR&FC කණ්ඩායමේ සුක්කානම සියතට ගනිමින් ඉකුත් තරග වාරයේ දී නායකත්වයෙහි වගකීම ඉටු කළ ඔමල්ක ගුණරත්න වැනි ජවසම්පන්න, කුසලතාවන්ගෙන් පිරිපුන් ක්‍රීඩකයින්ගේ නම් එම ලැයිස්තුව අතරට ඇතුළත් වීම ඒ අතරින් වඩාත් සුවිශේෂී වේ.

තවත් රග්බි පුවත්:

2019/20 තරග වාරය CH&FC හට එතරම් සුබදායක නොවුනත් එළඹෙන තරග වාරයේ දී එම අඩුපාඩු සියල්ල නිවැරදි කරගනිමින්, වඩාත් ශක්තිමත් වැඩපිළිවෙළක් ද සමඟින් ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම ඔවුන් මේ වන විට සකස් කරමින් පවතී. 

ඉන් පෙර තරග වාරයේ දී (18/19) ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් පෙන්වූ හැකියා දක්ෂතා යළි ප්‍රදර්ශනය කරමින් සෙසු කණ්ඩායම් හට ප්‍රබල අභියෝගයක් ලබාදීමේ අපේක්ෂාවෙන් CH කණ්ඩායම මෙවර පසු වේ.

ඒ අනුව නව ක්‍රීඩකයින් 10 දෙනාගේ ආගමනයත් සමඟින් සුදර්ශන මුතුතන්ත්‍රි වැනි අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගේ නායකත්වය යටතේ තරග වඳින CH කණ්ඩායම පරාජයට පත් කිරීම අනෙක් නම් දැරූ කණ්ඩායම් හට එතරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව නොඅනුමානය. 

කෙසේ නමුත් දැනට පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඉදිරි තරග වාරය දියත් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තරගාවලි සංවිධායකවරුන් නුදුරේදීම රැස්වීමට නියමිත බව සඳහන් වේ.

CH කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩක ලැයිස්තුව:

  • ඔමල්ක ගුණරත්න
  • කෙවින් ඩික්සන්
  • රීසා රෆයිඩීන්
  • වාජිඩ් ෆවුමි
  • උදාර ගයාන්
  • ජොයෙල් පෙරේරා
  • ජනිඳු ඩිල්ෂාන් 
  • පණ්ඩුක අන්ගම්මන
  • ෂෙර්මාල් වීරසේකර 
  • මිථිල පෙරේරා

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<