ගේල් අතහැර ඒබී සමඟ වාර්තා අළුත් කළ RCB නායකයා

397

සීමිත පන්දුවාර තරග බිමේ නොමැකෙන සන්නාමයන් ද්විත්වයක් ලෙසින්, පසුගිය දශකය පුරාවට ලොව බිහි වූ දක්ෂතම පන්දු යවන්නන් පවා තම පිත්ත ඉදිරියේ අන්ත අසරණ කළ කෝලි සහ ඩි විලියර්ස් සුසංයෝගය නැවත වතාවක් වාර්තා පොත් අළුත් පොත් කිරීමට ඊයේ (12) දිනයේ දී සමත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය අතරතුර දීය. 

කෝලිගේ නායකත්වය යටතේ තරග වදින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙස හඳුන්වාදිය හැකි සාජා තණතීරුවෙන් උපරිම ඵල නෙලා ගැනීමට RCB ආරම්භක පිතිකරු යුගලය සමත් විය. තම කණ්ඩායම වෙත සාර්ථක අඩිතාලමක් සකසා දෙමින් ඉනිම ගොඩනැඟීමේ කාර්‍යභාර්‍ය ඉන් අනතුරුව කෝලි සහ ඩිවිලියර්ස් වෙත භාර විය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

ක්‍රීඩා පිටියේ ඕනෑම කෝණයකින් හතරේ සීමාව ඉක්මවා පහර එල්ල කළ හැකි ඒ. බී. ඩි විලියර්ස් තමන් මුහුණ දුන් තුන්වන පන්දුවේ සිටම ප්‍රතිවාදී පන්දු යවන්නන් ආක්‍රමණය කිරීමට සමත් විය. ඒ අතර නායක විරාත් කෝලි, දිනයේ තමන්ට පැවරී ඇති රාජකාරිය හරියාකාරව වටහා ගනිමින් ඩි විලියර්ස් හට වැඩි පන්දු ප්‍රමාණයකට මුහුණදීමේ අවස්ථාව සලසා දුන්නේ කොල්කටා කණ්ඩායම වෙත උපායමාර්ගිකව පීඩනය යොමු කරමිනි. 

කඩුලු 2ක් දැවී මුළු ලකුණු සංඛ්‍යාව 94ක් ලෙස දිස්වූ අවස්ථාවෙන් ඇරඹුනු කෝලි – ඩි විලියර්ස් ගිණිකෙළි සංදර්ශනය අවසන් වූයේ ලකුණු 195ක අභියෝගාත්මක ඉලක්කයක් ප්‍රතිවාදී කොල්කටා පිතිකරු ලැයිස්තුව ඉදිරියේ ගෙනහැර තබමිනි. මෙහිදී වඩාත් කැපී පෙනුනේ මෙම පිතිකරුවන් දෙදෙනා විසින් IPL තරග ඉතිහාසය තුළ දියත් කළ 10වන ශතක සබඳතාව ලෙස මෙය වාර්තා පොත් අතරට ඇතුළත් වීමයි. 

ඒ අනුව වැඩිම ශතක සබඳතා ගණනට හිමි වාර්තාවෙහි අයිතිය තමන් සතුකර ගැනීමේ භාග්‍යය ඊයේ දිනයේ දී ඔවුන් දෙදෙනා හට උදාවිය. මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ද ශතක සබඳතා 9ක් තම නම ඉදිරියේ සටහන් කරගත් විරාත් කෝලි සහ සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් දෙපළ වීම කැපී පෙනේ. තවද ඩි විලියර්ස් සහ කෝලි දෙපළ එක්ව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ වාර්තා කළ 3000 වැනි ලකුණ ද ඊයේ දිනයේ දී සටහන් වීම වඩාත් සුවිශේෂී වේ. දිනය අවසානයේ ලකුණු 82ක විශිෂ්ට ජයක් තහවුරු කරගත් කෝලි ප්‍රමුඛ බැංගලෝර් ක්‍රීඩකයින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා උසස් වීමක් හිමිකර ගැනීමට සමත් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<