යුද හමුදා ක්‍රිකට් ලීගයේ මුල් දිනයේම සුපිරි පන්දුවාරයක්

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2020

3768

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ‘යුද හමුදාපති ලීග්’ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (Army Commanders League) අද (05) දින ආරම්භ වූ අතර එහි පළමු දිනයේ දී සුපර් ෆැෂන් Northern Warriors සහ ඩීමෝ Southern Warriors කණ්ඩායම් ජයග්‍රහණ හිමිකර ගත්හ. තරග දෙකම කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විනි.

සුපර් ෆැෂන් Northern Warriors සහ මෙල්බන් Western Warriors තරගය 

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් Northern Warriors නායක සීකුගේ ප්‍රසන්න, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Western Warriors කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීම සඳහා ආරාධනා කළේය. 

Western Warriors නායක තිසර පෙරේරා දියත් කළ වේගවත් පිති ප්‍රහාරය නිසාවෙන් ඔවුන්ගේ කණ්ඩායම සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කර ගන්නා ලදි. නායක තිසර පෙරේරා පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 40ක් වාර්තා කරගත්තේය. 

Western Warriors කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් (අවිශ්ක ප්‍රනාන්දු සහ හර්ෂජිත් විරේන්ද්‍ර) දෙදෙනාම ඉතාමත් ඉක්මණින් දැවී ගිය නිසාවෙන් ක්‍රමයෙන් කඩුල්ල මත තරමක් ස්ථාවර වෙමින් පිතිකරණයේ නිරත වූ සමිත වනිගසේකර ලකුණු 40ක් රැස්කර ගත්තේ පන්දු 41ක් තුළයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ගේ ඉනිම සඳහා ආරම්භය ලබා දුන්නේ හරිත් ප්‍රනාන්දු සහ අශාන් රන්දික යන දෙදෙනායි. හරිත් ලකුණු 5කට දැවී ගිය නමුත් භානුක රාජපක්ෂ සමඟින් එක්වූ අශාන් රන්දික ලකුණු 39ක් රැස්කර ගනිමින් සිය කණ්ඩායමට අවශ්‍ය යම් ස්ථාවර ලකුණු ප්‍රමාණයක් ලබා දීමට සමත් විය. එම ඉනිම සඳහා හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. 

එක්තරා මොහොතක ඔවුන්ගේ ඉනිම පන්දුවාර 13.3ක දී ලකුණු 102/2ක් ලෙස ඉතාමත් හොඳ මට්මක තිබිය දී රන්දිකගේ කඩුල්ල දැවී ගියේය. පසුව ඔවුන්ගේ මැදපෙළ කඩුලු කිහිපයක් එක ළඟ දවා ගැනීමට මෙල්බන් Western Warriors කණ්ඩායම සමත් වූ නමුත් දසුන් ශානක පන්දු 25ක් තුළ ලකුණු 42ක් රැස්කර ගනිමින් නැවත වතාවක් සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරවන ලදි. ඔහුගේ එම ප්‍රවේගකාරී ඉනිම සඳහා හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත විය. අවසානයේ තරගය ලකුණු සම වීමෙන් නිමාව දුටු නිසාවෙන් සුපිරි පන්දුවාරයක් දක්වා තරගය ඇදී ගියේය. 

එම සුපිරි පන්දුවාරයේ දී නුවන් ප්‍රදීප්ට එරෙහිව ලකුණු 24ක් රැස්කර ගැනීමට Northern Warriors කණ්ඩායම සමත් වූ අතර දසුන් ශානක පන්දු 4ක් තුළ හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් ලකුණු 20ක් තම නමට ඉදිරියෙන් සටහන් කරගත්තේය. 

හේෂාන් හෙට්ටිආරච්චි, තිසර සහ අවිශ්කට එරෙහිව සාර්ථක සුපිරි පන්දුවාරයක් යොමු කළ අතර එහිදී කඩුල්ලක් දැවී (අවිශ්කගේ කඩුල්ල) ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 14ක් පමණි. ඒ නිසාවෙන් සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය එම තරගයේ ජය හිමි වූයේ සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායමටයි. 

මෙල්බන් Western Warriors – 162/6 (20): තිසර පෙරේරා 40, සමිත් වනිගසේකර 40, ලක්ෂාන් එදිරිසිංහ 25. 

සුපර් ෆැෂන් Northern Warriors – 162/10 (20): දසුන් ශානක 42, අශාන් රන්දික 39, මහීෂ තීක්ෂණ 2/26, යශෝද මෙන්ඩිස් 2/24, තිසර පෙරේරා 2/24. 

තරගයේ ලකුණු සමයි. සුපිරි පන්දුවාරයේ ජය සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායමට.

තරගයේ වීරයා – දසුන් ශානක (සුපර් ෆැෂන් Northern Warriors) 


ඩීමෝ Southern Warriors සහ ප්‍රීමා Eastern Warriors තරගය 

කාසියේ වාසිය දිනාගත් ඩීමෝ Southern Warriors නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 198ක යෝධ ලකුණු පුවරුවක් නිර්මාණය කරගන්නා ලදි. 

නායක චන්දිමාල් සහ ප්‍රියන්ත රත්නායක Southern Warriors කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර චන්දිමාල් පන්දු 10කදී ලකුණු 18ක් රැස්කර ගෙන සිටිය දී දැවී ගිය නමුත් ප්‍රියන්ත රත්නායක පන්දු 28ක දී ලකුණු 35ක් රැස්කර ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් එල්ල කරමිනි. මෙම තරගය පුරාවට තුන් ඉරියව් දස්කම් හොඳින් ප්‍රදර්ශනය කළ වනිඳු හසරංග පන්දු 18ක් තුළ ලකුණු 28ක් වාර්තා කර ගනිමින් දස්කම් දක්වන ලදි. 

නමුත් Southern Warriors කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔවුන්ගේ ඉනිම වෙනත්ම මාවතකට යොමු කළ වයස අවුරුදු 23ක් වන ගිහාන් කෝරලගේ හතරේ පහරක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් ලකුණු 36ක් රැස්කර ගත්තේ පන්දු 18ක් තුළයි. 

ලකුණු 199ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Eastern Warriors කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන සඳුන් වීරක්කොඩි සිය සුපුරුදු රිද්මය සඳහා පැමිණීමට සමත් වීම නිසාවෙන් පන්දු 31ක් තුළ වේගවත් ලකුණු 57ක් වාර්තා කරගැනීමට ඔහුට හැකියාව ලැබුනි. එය මෙම තරගාවලියේ වාර්තා වූ පළමු අර්ධ ශතකය විය. එම වේගවත් ඉනිම සඳහා හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. අනතුරුව වනිඳු හසරංග පන්දුවෙන්ද දස්කම් දක්වමින් තරගයේ වැඩි පාලනය සිය කණ්ඩායම දෙසට හරවා දීමට සමත් වූයේ සිය පන්දුවාර 4 තුළ ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමිනි. 

Eastern Warriors ඉනිමේ පන්දුවාර 16ක් අවසන් වන විට අයහපත් ආලෝකය තරගයේ නිමාව දක්වා රැගෙන යාමට අවස්ථාව ලබා නොදුන් නිසාවෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව තරගයේ අවසන් තීරණය ලබා දීමට තරග විනිසුරුවරුන් හට සිදුවිය. ඒ අනුව පන්දුවාර 16ක් අවසානයේ Eastern Warriors කණ්ඩායම ලකුණු 151ක් රැස්කර ගෙන තිබිය යුතු වූ නමුත් ඔවුන් ඒ වන විට වාර්තා කරගෙන තිබුනේ ලකුණු 140ක් පමණි. තරගයේ නිමාව සනිටුහන් වන විට Eastern Warriors නායක අසේල ගුණරත්න නොදැවී ලකුණු 27*ක් රැස්කර ගෙන තිබුනි. 

ඩීමෝ Southern Warriors – 198/6 (20): ගිහාන් කෝරලගේ 36, ප්‍රියන්ත රත්නායක 35, අසේල ගුණරත්න 2/38.  

ප්‍රීමා Eastern Warriors – 140/5 (16): සඳුන් වීරක්කොඩි 57, අසේල ගුණරත්න 27*, වනිඳු හසරංග 3/13, මදුශාන් බෝතොටගේ 2/32. 

ඩීමෝ Southern Warriors කණ්ඩායමට ලකුණු 10ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) හිමි විය. 

තරගයේ වීරයා – වනිඳු හසරංග (ඩීමෝ Southern Warriors) 

මෙම තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (06) දිනයේ දී පහත පරිදි මෙම ක්‍රීඩා පිටියේ දීම පැවැත්වේ. 

  • ප්‍රීමා Eastern Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors
  • ඩීමෝ Southern Warriors සහ මෙල්බන් Western Warriors

එහි උණුසුම් තරග තොරතුරු, තරග සේයා රූ සහ විශේෂ වීඩියෝ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<