මුස්ටෆිසූර්ට ශ්‍රී ලංකා සංචාරයත් IPL දෙකම නැති වෙයි

5278

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට නොහැකි වීම පිළිබඳව බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රහ්මාන් සිය කනස්සල්ල පලකර තිබේ.

එළඹෙන ඔක්තෝබර් මාසයේ මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා  – බංග්ලාදේශ තරගාවලිය හේතුවෙන් මුස්ටෆිසූර්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර හිමි වූයේ නැත. නමුත් ශ්‍රී ලංකා සංචාරය අවලංගු වීම නිසා තමන්ට එම තරගාවලිය ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද අහිමි වූ බව ඔහු පවසා තිබේ.

මාස කීපයක ජාත්‍යන්තර තරගාවලි විරාමය නිමාවට පත්කරමින් ක්‍රීඩාලෝලීන් බලා සිටි වසරේ උත්කර්ෂවත් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය දා ආරම්භ වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ය.

පසුගිය සඳුදා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ වෙතින් ඉල්ලීමක් කරමින් තරග තුනකින් යුත් ටෙස්ට් තරගමාලාව ලබන මාසය දක්වා කල් දමන ලෙස ඉල්ලා තිබුණි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යෝජනා කළ දින 14ක ස්වයං නිරෝධායනය කාලයට තම ආයතනය එකඟ නොවන බව පවසමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට මෙන්ම බංග්ලාදේශය තුල ද පවතින කොරෝනා වයිරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස දින 14ක ස්වයං නිරෝධායන කාලයක් යෝජනා කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

දීර්ඝ විරාමයකට පස්සේ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබීම සතුටක්. ඒත් දින 14ක් නිරෝධායනය වෙන්න ශ්‍රී ලංකාව අපිට යෝජනාව කළ නොහැකි බවක් පෙනෙන්නට තිබුණා” යැයි මුස්ටෆිසූර් උපුටා දක්වමින් Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

අපි කොතරම් වෙහෙස මහන්සි වී පුහුණුවීම් කළත් අපිට මෙතරම් වැදගත් තරග මාලාවකට කලින් අපේ හෝටල් කාමරවල ඉන්න බැහැ. අපි ඒක වෙනස් කරගන්න උත්සාහ කළා. නමුත් දින 14 නිරෝධායනය ශ්‍රී ලංකාවේ නීතියයි. මම හිතන්නේ අපි එයට ගරු කළ යුතුයි.”

ශ්‍රී ලංකා තරගාවලිය කල්දමන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය දැනගෙන හිටියා නම්, ඔවුන් මට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වෙන්න NOC (No objection certificate) සහතිකයක් ලබා දෙන්න ඉඩ තිබුණා. ඒත් මම හිතනවා මොන දෙයක් වුනත් හැමදේම වෙන්නේ හොඳට කියලා. මම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළා නම් මට බංග්ලාදේශ ටාකා කෝටියක් උපයාගන්න තිබුණා. ”

මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් මෙවර තරගාවලිය සඳහා මුස්ටෆිසූර් රහ්මාන් සමඟින් ගිවිසුම් අත්සන් කිරීමට කීපවරක් උත්සාහ කර තිබුණි. කෙසේ වෙතත් ජාතික කණ්ඩායම සහභාගී වන තරගාවලි කීපයක් ඒ වන විට සැලසුම් කර තිබූ හෙයින් ඔහුට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට අවශ්‍ය අවසරය ලබා නොදීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

2015-16 කාලය තුල දී ඔහුට ඇතිවූ ආබාධ කීපයක් හේතුවෙන් එම වසරේ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා මුස්ටෆිසූර් රහ්මාන් හට අවසර ලබා නොදීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ක්‍රියා කළේය. එහෙත් එහි දී ඔහුට අහිමි වූ ආදායම සඳහා බංග්ලාදේශ ටකා ලක්ෂ 30ක වන්දියක් ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට මුස්ටෆිසූර් හට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කිසිදු වන්දියක් ඔහුට ගෙවීමට සූදානම් නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් උපුටා දක්වමින් cricbuzz වෙබ් අඩවිය වාර්තා කළේය.

අපි කලින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට සහභාගී වෙන්න ඔහුට අවසර දුන්නෙ නැත්තේ ආබාධ කීපයක් නිසා. අපි ඒ නිසා ඔහුට වන්දියක් ලබා දුන්නා. ඒත් මේ වෙලාවේ ඒක වෙනස්. පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී කණ්ඩායමක් ඔහුව තෝරාගෙන තිබුණේ. ඒත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කිසිම කණ්ඩායමක් ඔහුත් එක්ක ගිවිසුම්ගත වෙලා නැහැ. ඒ තරගාවලියට සහභාගී වෙන්න අපි ඔහුට අවසර දුන්නේ නැත්තේ ජාතික කණ්ඩායම සහභාගී වන තරගාවලි නිසා. ඒ හින්දා මේ වතාවේ ඔහුට වන්දියක් ලැබෙන්න තියන ඉඩකඩ අඩුයි.”

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<