HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇමසන්ගෙන් ඔබේ නිවසට විස්මිත ආරක්ෂකයෙක්!

ඔබ නිවසෙන් පිටව සිටියදී ඔබ ඉන්නා ඕනෑම තැනක සිට නිවස ගැන විපරම් කරන්නට අපූරු රැකවලෙක් ඇමසන් ආයගතනයෙන් හඳුන්වා දී තියෙනවා. ඔබ නිවසෙන් පිට සිටිය දී නිවස තුළ කිසියම් චලනයක් සිදු වුනොත් ‘ඔහුට’ පුලුවන් වහාම අහසට පැනලා එතැනට ළං වෙලා ඔබට දැක ගත යුත දේ සියල්ල ඔබේ ස්මාට්ෆෝනයට ලබා දෙන්න. 

මෙහි පියාසර කරන කොටස රඳවනය මත තියෙන කොට 
මෙහි කැමරාව සම්පූර්ණයෙන් ම අක්‍රියවයි පවතින්නේ.

මේ නවතම උපකරණය හඳුන්වා දෙනු ලැබුවේ ඇමසන් වාර්ෂිකව පවත්වන ඔවුන්ගේ නව නිපැයුම් එළිදැක්වීමේ උළෙලෙදියි. ලෝක කෝවිඩ් 19 වසංගත තත්වය නිසා මෙවර එය පැවැත්වූයේ අන්තර්ජාලය හරහායි. ඇමසන් ආයතනයට අනුබද්ධ නිවාස ආරක්ෂක නිපැයුම් අංශය වූ රින්ග් (Ring) මගින් තමයි, මේ නවතම උපකරණය ඉදිරිපත් කරනු ලැබුවේ. 

මේ විස්මිත නිපැයුම හඳුන්වා දී ඇත්තේ ‘ඔල්වේස් හෝම් කැම්’ (Always Home Cam) කියායි. මේක එක්තරා විධියක ඩ්‍රෝන කැමරාවක්! මෙය ඔබට කොතරම් දුරක සිට වුනත් මෙහෙයවන්න පුලුවන් ඔබේ ස්මාට්ෆෝනය හරහා, දවසේ ඕනෑම වේලාවක. ඔබට පුලුවන්, ජනේලයක් වහන්න අමතක වුනා නම් ඒක වහන්න. උදුන වහන්න අමතක වෙලා නම් ඒකත් වසා දමන්න. 

නිවසට අනවසරයෙන් ‍යමෙකු ඇතුළු වුවහොත් එහි සිදුවන්නේ කුමක්දැයි 
නිවෙස් හිමියාට පෙන්වා දෙන්න මේ විස්මිත කැමරාවට පුලුවන්. 
එය සිදුවන්නේ රින්ග් ඇප් එක මගින් ඔහුගේ ස්මාට් ෆෝනය හරහායි.

මේ උපකරණයට ඇතුළත් වෙනවා, පියාසර කළ හැකි කැමරාවක්! ඒක පියාසර කරන්නෙ ඩ්‍රෝන කැමරාවකට සමාන බමන පෙතිවලින්. නිවස තුළ යම් සෙලෙවීමක්, අසාමාන්‍ය වෙනසක් ඇති වුවහොත් එය හඳුනා ගන්නා කැමරාව වහාම ඔබව දැනුවත් කර එහි රැඳවුමෙන් ඉහළට නඟිනවා. දැන් ඔබට තියෙන්නේ රින්ග් ඇප් එක භාවිත කර ඔබට අවශ්‍ය දේ කිරීමයි. 

මේ ඩ්‍රෝන කැමරාවට රැඳුන තැනින් ඉහළට නැංගාම තමයි, සක්‍රිය වෙන්නේ. එතෙක් එය අක්‍රියව, නිහඬවයි තියෙන්නෙ. එය පියාසර කරන්න පටන් ගන්න පෙර කුඩා ශබ්දයක් නිකුත් කරනවා. ඒ වගේ ම මෙහි කැමරාව ක්‍රියාත්මක වන්නේ එය තබා ඇති රඳවනයෙන් ඉහළට එසවුනොත් විතරයි. 

කැමරාව ක්‍රියාත්මක වන්නේ එය තබා ඇති රඳවනයෙන් 
ඉහළට එසවුණු පසුවයි. රඳවනය මතදී එය මුළුමනින් ම අක්‍රියයි.

මෙහි ඇති සංවේදකවලට පුලුවන්, එහි යමක් ගැටුනොත්, කිසිවෙකු කඩා වැදුනොත්, හොරෙකු ඇතුළු වුවහොත්, කිසිවක් ඇද ගෙන යාමට හැදුවොත්, දොරක් කඩා ඇතුළුවීමට උත්සාහ කළොත් හිමිකරු ගේ ස්මාට් ෆෝනයට රින්ග් ඇප් එක මගින් දැනුම් දෙන්න පුළුවන්. 

‘නිවසක ආරක්ෂාව ගැන සලකන කොට, ගේ පුරා, ගේ අවට, හැම තැනම කැමරා වපුරා ආරක්ෂාව තර කරනවාට වඩා, නිදහසේ හැම තැනක ම, පහසුවෙන්, සීරුවෙන් යා හැකි, තනි කැමරාවකින් එය කළ හැකියි කියන සංකල්පය ක්‍රියාවට නැංවිමක් තමයි, අප මෙහෙදී ඉටු කළේ.’ රින්ග් නිර්මාතෘ ජේමී (සේම්ස්) සිමිනොෆ් කියනවා. ‘ඒ අනුව දැන් ඔබට ඔබේ නිවසේ කැමති තැනකට ගොස් විපරම් කර බලා, හිත නිදහස් කර ගෙන, තමා ගිය කටයුත්ත හොඳින් කරගෙන එන්න පුලුවන්’ යයි ඔහු තවදුරටත් කියනවා. ඔහු අමුතු අමුතු නිර්මාණ රාශියක් ‍ලොවට දායාද කළ අයෙක්. දැන් ඔහුගේ රින්ග් සමාගමත් දැවැන්ත ඇමසන් සමාගමේ අනුබද්ධ ව්‍යාපාරයක් වෙලා. 

ඇමසන් එකෝ ශබ්ද විකාශන මෙවලම කලින් තිබූ 
ආකාරයට හොකි පෙත්තක හැඩය වෙනුවට වඩා පහසු, 
ගෝලාකාර හැඩයකට අලුතින් තනා තියෙනවා.

ඇමසන් ආයතනය කියන විදියට මේ උපකරණය ඉතාමත් කුඩායි. බරෙන් අඩුයි. පියාසර කරන බමන පෙති පවා කෙටි කරලයි තියෙන්නේ කුඩා ඉඩකින් වුවත් රිංගා හැකි වන විදියට. බාධක මග හැර යාමේ තාක්ෂණය යොදා ගෙන මෙය නිර්මාණය කර ඇත්තේ. මෙයට තවම ඇමරිකන් ෆෙඩරල් කොමියුනිකේශන් කොමිසමේ අනුමැතිය ලැබී නැහැ. එය ලැබුණු පසු මෙය ලබන වසරේ වෙ‍ෙළඳ පොළට ඒවි. එවිට මෙය ඇමරිකන් ඩොලර් 250කට ඔබටත් මිලදී ගන්න පුලුවන්. 

ඔබේ දරුවන්ට බාල වියේදීම කෘත්‍රිම බුද්ධි මෙවලම්වලට 
හුරු කරවන්න, ඇමසන් එකෝ මෙවලම් ඔවුන් වෙනුවෙන් 
විශේෂයෙන් ම සකසා තියෙනවා.

ඇමසන් ආයතනය මේ විස්මිත උපකරණයට අමතරව තවත් නව නිපැයුම් හා නව්‍යෝත්පාදන කීපයක් ම ඉදිරි පත් කළා. එයින් එකක් තමා පරිගණක ක්‍රීඩාවලදී භාවිත කරන ‘එකෝ’ (Echo) ස්මාට් ස්පීකරයේ නව මාදිළිය. 

ඇමසන් එකෝ ශබ්ද විකාශන මෙවලම කලින් තිබූ ආකාරයට හොකි පෙත්තක හැඩය වෙනුවට වඩා පහසු, ගෝලාකාර හැඩයකට අලුතින් තනා තියෙනවා. 

ඔබේ දරුවන්ට බාල වියේදීම කෘත්‍රිම බුද්ධි මෙවලම්වලට හුරු කරවන්න, ඇමසන් එකෝ මෙවලම් ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් ම සකසා තියෙනවා. 

ඇමසන් ලූනා නමින් අන්තර්ජාලයේ පරිගණක ක්‍රීඩාවල යෙදෙන්න සේවාවක් ඇමසන් ආයතනය විසින් හඳුන්වාදීලා තියෙනවා. ඒවා ටීවී මගින්, පීසී පරිගණක මගින්, මැක් මෙවලම්, වෙබ් ඇප් හා අයිෆෝන්, අයිපෑඩ් ආදිය හරහා ඒවා ක්‍රීඩා කරන්න ඔබට පුලුවන්. එයට විවිධ පරිගණක ක්‍රීඩා 100කට වැඩිය අයත් වෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments