අභියෝගතා කුසලාන Lucky Six සහ විජයට

260

2019 Dialog ජනාධිපති අභියෝගතා කුසලාන වොලිබෝල් ශූරතාවලිය යටතේ මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති පිරිමි හා කාන්තා අවසන් තරග පිළිවෙළින් ජයග්‍රහණය කළ පොතුපිටිය Lucky Six ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය එම අදාළ තරග අංශ වල ශූරතා දිනා ගැනීමට සමත් විය. 

පිරිමි තරග අංශය     

තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාවය සඳහා අවසන් මහා තරගයේ දී පොතුපිටිය Lucky Six සහ නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජ තරග වැදුණු අතර උණුසුම් තරගයකින් අනතුරුව තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය හිමිකරගත් Lucky Six ක්‍රීඩකයින් එහි ශූරතාවය දිනා ගන්නට සමත් විය.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගනිමින් පළමු තරග වටය ලකුණු 25-19ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වූයේ Lucky Six ක්‍රීඩකයින් ය. 

අනතුරුව දෙවන වටයේ දී තරගයට අවතීර්ණ වූ යුනයිටඩ් ක්‍රීඩකයින් එහි දී හොඳ ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ලකුණු 19-25ක් ලෙස වටය ජයග්‍රහණය කරමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

කෙසේ නමුත් ඊළඟට එළඹි තරගයේ තෙවැනි හා සිව්වැනි වටවල දී යුනයිටඩ් ක්‍රීඩකයින් ලබා දුන් කරට කර සටනට සාර්ථකව මුහුණ දීමට සමත් වූ Lucky Six ක්‍රීඩකයින් එම වට දෙකේම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. ඒ පිළිවෙළින් ලකුණු 25-20ක් සහ 27-25ක් ලෙසිනි. 

ඒ අනුව Lucky Six ක්‍රීඩා සමාජය මෙම තරගය තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ තරගාවලියේ පිරිමි තරග අංශයේ ශූරතාවය තමන් සතුකර ගනිමිනි. 

විශේෂ සම්මාන 

  • තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා – අංජන සංදීපන (Lucky Six ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු සකසන්නා – හෂාන් මාලක (Lucky Six ක්‍රීඩා සමාජය)
  • හොඳම ප්‍රහාරකයා – මහේල ඉන්දීවර (යුනයිටඩ් ක්‍රීඩා සමාජය)

කාන්තා තරග අංශය

කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සහ කෑගල්ල Hirdaramani ක්‍රීඩා සමාජය තරග වැදුණු කාන්තා තරග අංශයේ අවසන් මහා තරගය තරමක් තියුණු සටනකින් අනතුරුව තරග වට 3-1ක් ලෙස තරගය ජයග්‍රහණය කළ විජය ක්‍රීඩිකාවන් මෙහි ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය. 

තරගයේ පළමු වටයේ දීම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වීමත් සමඟ එය ඉතා උණුසුම් මුහුණුවරක් ගන්නට විය. කෙසේ නමුත් අවසානයේ ප්‍රතිවාදීන් අභිබවමින් ඉදිරියට පැමිණෙමින් එම වටයේ ජයග්‍රහණය හිමිකරගනු ලැබුවේ Hirdaramani ක්‍රීඩිකාවන් ය. ඒ ලකුණු 25-27ක් ලෙසිනි. 

තවත් කියවන්න;

කෙසේ නමුත් ඉන් අනතුරුව සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ විජය ක්‍රීඩිකාවන් ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරනු ලැබුවේ ඊළඟ තරග වට තුනම දැඩි අභියෝගයකින් තොරව ජයග්‍රහණය කරමිනි. ඒවායේ ලකුණු තත්වය පිළිවෙළින් දැක්වුණේ ලකුණු 25-17ක්, 25-18ක් සහ 25-17ක් ලෙසිනි. 

ඒ අනුව මෙම අවසන් තරගය තරග වට 3-1ක් ලෙස විජය ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කිරීමත් සමඟ ඔවුන් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය තමන් සතුකර ගන්නට සමත් විය. 

විශේෂ සම්මාන 

  • තරගාවලියේ වටිනා ම ක්‍රීඩිකාව – චතුරිකා රණසිංහ (විජය ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු සකසන්නිය – ජේ.ඩබ්.පී. තුෂාරි (විජය ක්‍රීඩා සමාජය)
  • හොඳම ප්‍රහාරිකාව – දිලුක්ෂි සේනාරත්න (Hirdaramani ක්‍රීඩා සමාජය)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<