කනිෂ්ඨ ශූරතා ජෝසප් වාස් සහ Hirdaramaniට

181

2019 Dialog ජනාධිපති රන් කුසලාන කනිෂ්ඨ (වයස අවුරුදු 23න් පහළ) වොලිබෝල් ශූරතාවලිය යටතේ පසුගිය සිකුරාදා (25) මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති පිරිමි හා කාන්තා අවසන් මහා තරග පිළිවෙළින් ජයග්‍රහණය කළ වෙන්නප්පුව ජෝසප් වාස් සහ කෑගල්ල Hirdaramani ක්‍රීඩා සමාජ එම අදාළ තරග අංශවල ශූරතා දිනා ගැනීමට සමත් වූහ.

පිරිමි තරග අංශය

වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩා සමාජය සහ නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය අතර පැවති පිරිමි අවසන් මහා තරගය තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කළ ජෝසප් වාස් ක්‍රීඩකයින් මෙහි දී තරගාවලියේ පිරිමි ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් විය. 

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් තරගයේ පළමු වටය ජයග්‍රහණය කරනු ලැබුවේ යුනයිටඩ් ක්‍රීඩකයින් ය. ඒ ලකුණු 20-25ක් ලෙසයි. 

කෙසේ නමුත් අනතුරුව පැවති දෙවන වටයේ සිට තරගයට අවතීර්ණ වූ ජෝසප් වාස් ක්‍රීඩකයින් ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරමින් දැඩි අභියෝගයකින් තොරව ඊළඟ තරග වට 3ම ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය. 

එහි දී යුනයිටඩ් ක්‍රීඩකයින් විසින් ජෝසප් වාස් හට තියුණු තරගයක් ලබා දීමට සමත් වූයේ තෙවැනි වටයේ දී පමණි. එම වට වල ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 25-15ක්, 25-22ක් සහ 25-11ක් ලෙසයි.

ඒ අනුව මෙම තරගය තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කළ ජෝසප් වාස් ක්‍රීඩකයින් මෙහිදී ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබීය. 

විශේෂ සම්මාන

  • දක්‍ෂත ම ක්‍රීඩකයා – චමත් දිල්ශාන් (ජෝසප් වාස් ක්‍රීඩා සමාජය)
  • හොඳම ප්‍රහාරකයා – මහේල ඉන්දීවර (යුනයිටඩ් ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු සකසන්නා – මලීෂ ජයවර්ධන (ජෝසප් වාස් ක්‍රීඩා සමාජය)

තවත් කියවන්න

කාන්තා තරග අංශය

අවසන් මහා තරගයේ දී මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය තරග වට 3-0ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කරමින් තරගාවලියේ කාන්තා තරග අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේ කෑගල්ල Hirdaramani ක්‍රීඩා සමාජය යි. 

තරගය ආරම්භයේ පටන් Hirdaramani ක්‍රීඩා සමාජය ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරනු ලැබුවේ ප්‍රතිවාදීන් හට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි. ඒ අනුව පළමු වට 3ම ජයග්‍රහණය කළ Hirdaramani ක්‍රීඩිකාවන් පහසුවෙන් මෙම තරගයේ ජයග්‍රහණය තහවුරු කරගනිමින් මෙම තරග අංශයේ ශූරතාවය දිනා ගන්නට සමත් විය. 

රතනපාල ක්‍රීඩිකාවන් විසින් ප්‍රතිවාදී Hirdaramani කණ්ඩායමට යම්කිසි අභියෝගයක් ලබා දීමට සමත් වුනේ තරගයේ දෙවන වටයේ දී පමණි. එම වට වල ලකුණු තත්වය දැක්වුණේ පිළිවෙළින් ලකුණු 25-14ක්, 25-22ක් සහ 25-16ක් ලෙසයි.

විශේෂ සම්මාන

  • දක්‍ෂත ම ක්‍රීඩිකාව – නිමේෂිකා සෙව්වන්දි (Hirdaramani ක්‍රීඩා සමාජය)
  • හොඳම ප්‍රහාරිකාව – දිලුක්ෂි සේනාරත්න (Hirdaramani ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු සකසන්නිය – එම්.පී.එස්.පී. විජේසිංහ (Hirdaramani ක්‍රීඩා සමාජය)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<