අනාගතය දිනන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20කට කෝටි 4ක ශිෂ්‍යත්ව

134
Image Courtesy : NOC

අනාගතයේ ජාත්‍යන්තර තලයේ දස්කම් දක්වමින් පදක්කම් දිනා ගැනීමට හැකියාවක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20ක් තෝරා ඔවුන් අතර රුපියල් කෝටි හතරක් වටිනා ශිෂ්‍යත්ව බෙදා දීමේ වැඩසටහනක් ජාතික ඔලිම්පික් කමිටුව CRYSBRO ආයතනයේ අනුග්‍රහය යටතේ ආරම්භ කරන ලදි.

ඊයේ (24) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති උත්සවයක දී ජාතික ඔලිම්පික් කමිටුව සහ CRYSBRO ආයතනය අතර මේ සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කළ අතර එහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ශිෂ්‍යත්ව බෙදා දීම ද සිදු කෙරුණි.

ඒ අනුව 2021 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, 2022 යොවුන් ඔලිම්පික් උළෙල, 2020 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලි ඉලක්ක කරගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩනැගීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධානතම අරමුණ ය. තවද මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට මෙවැනි මුදලක් වෙන් කළ මුල්ම අවස්ථාව ද මෙයයි.

මෙම වැඩසටහන ඔස්සේ එක් ක්‍රීඩාවකට කොටු නොවී මෙරට සම්පූර්ණ ක්‍රීඩා සංගම් ආවරණය වන පරිදි එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් වර්ධනය කරමින් ජාත්‍යන්තර මට්ටමකට ඔවුන්ව සූදානම් කිරීම මෙහි මූලික අරමුණක් වන අතර මෙම උළෙලේ දී ශිෂ්‍යත්ව ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහළොස් දෙනෙකු එළඹෙන මාස 3 තුළ දී තෝරාගැනීමට නියමිතව ඇත. 

තවද, මෙම වැඩසටහන තුළින් එම මුදල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ පෝෂණ දීමනා, පුහුණු කටයුතු, බෙහෙත් විටමින් සහ පුහුණුකරුවන්ට ගෙවිය යුතු දීමනා සඳහා යෙදවීමට අපේක්ෂා කරන අතර වයස අවුරුදු 20ට අඩු ජාතික කනිෂ්ඨ පිටියේ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මෙම ශිෂ්‍යත්වය හිමිවනු ඇත.

තවත් ක්‍රීඩා පුවත්:  

එම අවස්ථාවේ දී අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ඉතිරි ශිෂ්‍යත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඉදිරියේ පැවැත්වෙන ජාතික කනිෂ්ඨ ක්‍රීඩා තරගාවලිවල දී ඔවුන් දක්වන දස්කම් මත තෝරාගැනීමට කටයුතු සිදු කරන බවයි.

“ක්‍රීඩා සංගම් සතු දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලැයිස්තු අප වෙත එවන ලෙස අප සියලුම ක්‍රීඩා සංගම් වෙත දැනුම් දුන්නා, පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනා ගත් සුසන්තිකා ජයසිංහ මහත්මියගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා එයින් තෝරාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරි වසර දෙක සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට කටයුතු කරනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

කුරුණෑගල සාන්ත ජෝන් කොතලාවල මහ විදුහලේ මලල ක්‍රීඩක එච්. එච්. ආර්. එස්. ජයසුන්දර, වලල ඒ රත්නායක විද්‍යාලයේ මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න, බද්දේගම අනගාරික ධර්මපාල විද්‍යාලයේ බර ඉසිලීමේ ක්‍රීඩක දේෂාන් කපිල් කුමාර, පෝද්දිවෙල මහ විදුහලේ බර ඉසිලීමේ ක්‍රීඩිකා සචිනි රාජිකා හා එම විදුහලේ ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ඊයේ (24) දින එම ශිෂ්‍යත්ව ලබාගන්නා ලදි.

මෙම උත්සවය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, CRYSBRO ආයතනයේ විකුණුම් කළමනාකරු අමරෙස් සෙල්ලා සහ හිටපු ලාංකික ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගි වී සිටියහ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<