කෝලිට වැඩ වරදියි: දඩය ලක්ෂ 12ක්

12325
Virat Kohli
Image Courtesy - IPLT20.com

කිංග්ස් ඉලෙවන් පංජාබ් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් අතර ඊයේ (24) පැවති තරගයේ දී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් රඳවා ගැනීම නිසා බැංග්ලෝර් නායක විරාත් කෝලි හට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ මුදලක් පැනවීමට IPL තරග සංවිධායකයින් තීරණය කර ඇත.

IPL තරගාවලිය තුල බැංග්ලෝර් කණ්ඩායමට මන්දගාමී පන්දු යැවීම නිසාවෙන් දඩයක් හිමි වූ පළමු අවස්ථාව මෙය නිසාවෙන් IPL තරග කොන්දේසි අනුව කණ්ඩායමේ නායකයා හට පමණක් දඩය හිමිවන අතර එවැනි අවස්ථාවක් නැවත සිදුවුවහොත් දඩ මුදලට අමතරව තරග තහනමක් ද ලැබීමට ඉඩක් තිබේ.

තවත් කියවන්න

ඩුබායි හිදී පැවති මේ තරගයේ දී කෝලී ප්‍රමුඛ බැංග්ලෝර් කණ්ඩායමට ලකුණු 97ක දැවැන්ත පරාජයක් සඳහා උරුමකම් කීමට වූයේ පංජාබ් නායක ලෝකේශ් රාහුල් සහ පංජාබ් පන්දු යවන්නන් දියත් කළ සුපිරි පන්දු යැවීම නිසාවෙනි.

එසේම රාහුල් ලකුණු 83 දී සහ ලකුණු 89 දී විරාත් කෝලි වෙත උඩ පන්දු දෙකක් ලබා දුන් නමුත් එම අවස්ථාවන් දෙකේ දී ම එම උඩ පන්දුව රැකගැනීමට කෝලිට නොහැකි විය. ඒ නිසාවෙන් රාහුල් සිය IPL ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවන ශතකය වාර්තා කරගනිමින් නොදැවී ලකුණු 132*ක් ලබා ගත්තේ පංජාබ් ඉනිම ලකුණු 206ක් දක්වා ඔසවා තබමිනි.

පන්දු රැකීමේ දී මෙන්ම පිතිකරණයේ දී ද අසාර්ථක වූ කෝලි ශෙල්ඩන් කොට්‍රල් එවූ පන්දුවක් හමුවේ දැවී ගියේ එක් ලකුණකටයි. අවසානයේ බැංගලෝර් ඉනිම පන්දුවාර 17ක් තුල ලකුණු 109කට සීමා කිරීමට මුරුගන් අශ්වින් සහ රවී බිෂ්නෝයි ඇතුළු බැංග්ලෝර් පන්දු යවන්නෝ සමත් වූහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<