Main Logo

Friday 25 September 2020

කාලෝ ගැන

 කාලෝ ගැන 


ඊයේ මගේ ලිපියට පඬි නැට්ටකු ප්‍රතිචාර දක්වමින් කියා තිබුණේ මහජනයාගේ මුදලින් පඩි කකා පරෙවියන් බලන්නෙ නැතිව තානාපති හැටියට රටට වැඩක් කරන්න කියා. තවත් අයකු කියා තිබුණේ තමනුත් තනියම පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්න කැමති නමුත් තමන්ට තානාපතිකමක් නොලැබෙන බව. ඇතැමුන්ට මගේ තානාපතිකම ප්‍රශ්නයක් වෙලා. කල්පනා කරන්න තානාපතිකමක් අවශ්‍ය නැහැ. අවශ්‍ය එසේ කිරීමට හැකියාව පමණයි. පඬියන්ට ඒ හැකියාව නම් ගෑවිලාවත් නැහැ. ඔවුන් දන්නේ අරයා මෙහෙම කියල තියනවා මෙයා අරෙහෙම කියල තියනව කියල වමාරන්න විතරයි.

මගේ ජීවිතේට මා රටට වැඩක් කර නැහැ. මා විශ්වවිද්‍යාලවලට වැඩක් කරලත් නැහැ. ඒ හින්ද වෙන්න ඕනෙ පේරාදෙණියෙ අප්පාපිල්ලෙ, පණ්ඩිතරත්න වැනි අය දෙවැනි වර මා නොගත්තෙ. ඒ නිසා වෙන්න ඇති ජී එල්, ඩබ් ඩී ලක්‍ෂමන්, විමලසේන (විමල්) ඈපාසිංහ, වී කේ සමරනායක අදීන් මා කොළඹින් ඉවත් කෙළෙ. ඒ නිසා වෙන්න ඇති මා අස්කළ පසු ආචාර්ය සමීිති සම්මේලනය ඒ ගැන කිසිම දෙයක් නොකළෙ. ඒ නිසා වෙන්න ඇති එකල ශිෂ්‍ය සංගම් මෙහෙයවපු චම්පක, කරුණාරත්න (කරු) පරණවිතාන, රොෂාන් ගුණවර්ධන, මාලික වැන්නන් ශිෂ්‍යයන් යම් ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් වැළැක්වුවෙ. ඒ නිසා වෙන්න ඇති කැලණියෙ ඇතැම් ආචාර්යවරුන් මට විරුද්ධව ශිෂ්‍යයන්ට  අත් පත්‍රිකා බෙදුවෙ.

මා රටට වැඩක් කරන්නෙ නැහැ. මා කරන්නෙ මට ඕන වැඩ. ඒ ගැන මා අඬබෙර ගහන්නෙ නැහැ. මාධ්‍ය ප්‍රකාශකයන් තියාගෙන ජනමාඩ්‍ය අල්ල ගෙන රටට වැඩ කරන බව කියා පෑම මගේ ප්‍රතිපත්තිය නොවෙයි. කොහොමත් පොදුවේ ජඩමාධ්‍ය මට විරුද්ධයි. ජඩමාධ්‍යයන් එහෙම කියන්න තරම් මා රටට වැඩක් කරන්නෙත් නැහැ. මේ ලිපි ලියන්නෙත් මට ඕන නිසා. කොහොමටත් වෙනදා එන පරෙවි රෑන අද ආවෙ නැහැ. පණුවන් ඉවර වෙලා ද එහෙම නැත්නම් ඔවුන්ට වෙනත් සශ්‍රීක පණුබිමක් හමුවෙලා ද දන්නෙ නැහැ. සාම කුමාරයොත් එහෙමයි. සරු බිම් හොයා ගෙන යනවා. 



කාලෝ ෆොන්සේකා මිය ගිහින් පහුගිය දා වසරක් ගත වුණා. වැඩි හඬක් නැගුණෙ නැහැ. මිය ගිය කාලෝ ජීවත් ව සිටි කාලෝ තරමටවත් රටට බලපාන පුද්ගලයෙක් නොවන බව මා දැන සිටියා. ඇන් ඇම්වත් රටට බල පාන්නෙ නැති එකේ කාලෝ  සමසමාජ පාක්‍ෂිකයකු ලෙස රටට බලපාන්නෙ නැහැ. එතකොට තිස්ස විතාරණ ඔහු ඉන්නව ද නැද්ද කියල බොහෝ දෙනා දන්නෙත් නැහැ. සමහරු ඔහු ඉන්න බව කෝපා වැඩෙන් දැනගත්තා. 

කාලෝ ඊනියා යථාර්ථවාදියකු ලෙසත් රටට බලපෑමක් කරන්නෙ නැහැ. කොවුර්වත් වෙනත් ඊනියා යථාර්ථවාදියකුවත් රටට බලපාන්නෙ නැහැ. පඬි නැට්ටන් කිහිප දෙනකු නම් ඔවුන් ගැන කතා කරනවා. නරක ද යථාර්ථවාදී දිනයක් පැවැත්තුව නම්.  කාලෝ මට අමතක වෙන්නෙ නැත්තෙ කරුණු දෙකක් හින්ද. එකක් නාථ දෙවියන් ගැන. දෙක සමසමාජය හවුල් ආණ්ඩු හැදීම ගැන. ඔහු කියා ඇති අනෙක් දේශපාලන, විද්‍යා, දාර්ශනික කිසිවක් සතපහකට වැඩක් නැහැ. පඬි නැට්ටකු කියයි මා කියා ඇති කිසි දෙයක් සත දෙකක් වටින්නෙ නැහැ කියල. 

ඒ දවස්වල ඇතැමුන් කිවුව මෙරට සමසමාජ පක්‍ෂය පිරිහුණෙ ශ්‍රී ල නි පක්‍ෂය සමග සභාගයකට ගිය හින්ද කියල. ඔවුන් කම්කරු පංතියේ නායකත්වය ගොඩ නැගීම ගැන හරබර කතා පැවැත්තුව. සභාග දේශපාලනයේ වැරදි ගැන ට්‍රොට්ස්කි ඇතුළු මාක්ස්වාදීන් කියා ඇති දේ වැමෑරුවා. කාලෝ පැත්තක ඉඳන් ඇහුව මෙහෙ ම. අපි සමසමාජ පක්‍ෂය සභාගයට ගිය නිසා පිරිහුණා කියමු. ඔය සහෝදරවරු සභාගයට ගියෙ නැති නිසා වර්ධනය වුණා ද? 

විප්ලවය දැන් වංගුව හරියෙ ද කියල කාලෝ ඇහුවෙ නැහැ. එවට විප්ලවවාදීන්ට තිබුණෙ වංගු කතා පමණයි. ඔවුන් තාමත් වංගුවේ. වම නැතිවෙලා වමාලා ටික දෙනෙක් පමණක් ඉතිරි වුණෙ ඊනියා වමට ජාතිකත්වය සමග තරග කරන්න බැරි නිසා. පුළුවන් කමක් තිබුණොත් පරෙවියන් ආවත් නැතත් අපි හෙට ඒ ගැන කතා කරමු. හෙට වැනි දිනයක මියගිය බණ්ඩාරනායක තවමත් රටට බලපානවා. ධර්මපාලතුමා ඊටත් වඩා බලපානවා. පඬි නැට්ටන්, වමාලා, ගණනාථලා එතුමාට තවමත් පහර දෙන්නෙ ඒකයි. සමහර පඬි නැට්ටන් එතුමාට කියන්නෙ ධර්මෙ කියල. ඔවුන් තම තාත්ත කියල සම්මත අයටත් කතා කරන්නෙ එහෙම වෙන්න ඇති. සමහර විට අම්මවත් දන්නෙ නැතිව ඇති තාත්තා කවුද කියල. 

මා ආසනික් කතාව නාථ දෙවියන්ගෙන් දැන ගත්තයි කිව්ව ම (ඇත්තට ම නාථ දේව මණ්ඩලය සමග සම්බන්ධකම් ඇති සේනානායක මහත්මියගෙන්) යථාර්ථවාදියො වෙනත් දාර්ශනිකයෙ විද්‍යාඥයො කියන අය බඩ අල්ල ගෙන හිනහ වෙන්න පටන් ගත්ත. ඔවුන්වත් කාලෝවත් ඔය එක ක්‍ෂෙත්‍රයකවත් හරිහමන් එකතුවක් කරල නැහැ. සමහරු එක පත්‍රිකාවක්වත් ලියල නැහැ. දැන් අහයි මට පත්‍රිකා ලොකු ද කියල. මට ලොකු නැහැ. පඬියන් තමයි පත්‍රිකා ගැන ලොකු විශ්වවිද්‍යාලවල ලොක්කන් ගැන කතා කරන්නෙ. මා ලියන්නෙ වෙබ් අඩවියට, ඒ දවස්වල ලිව්වෙ පුවත්පත්වලට. 

කාලෝ කිව්ව අදහස ලැබුණ තැන නො වෙයි වැදගත්. අවශ්‍ය වන්නෙ ඒ පරීක්‍ෂා කිරීම කියා. කාලෝ අර පරණ විද්‍යාත්මක ක්‍රමය කියන එක විශ්වාස කළ අයෙක්. ඔහුට පරීක්‍ෂණය තමයි වැදගත්. ඔහු දැන ඉන්න ඇති කෙක්‍යුලෙට බෙන්සීන් අණුව ගැන අදහස ලැබුණෙ සිහිනෙන් කියල. ඒත් කාලෝ මිය යන තෙක් ම දැන හිටියෙ නැහැ වත්මන් භෞතික විද්‍යාවෙ බොහෝ හිතළු පරික්‍ෂණයකට ලක් කරන්නවත් නිරීෂණය කරන්නවත් බැහැ කියල. 

ඔහු හිතාගෙන හිටියෙ කාළාම සූත්‍රය විද්‍යාත්මක විධි ක්‍රමය අනුගමනය කරනවා කියල. කාළාම සූත්‍රයෙ කියන්නෙ තර්කානුකූල වූ නිසාවත් න්‍යායාත්මක වූ නිසාවත්, එපමණින් පිළිගන්න එපා කියල. එහි කියැවෙනව විඤ්ඤූන් කියන දේ අනුව වැඩ කරන්න කියලත්. පඬි නැට්ටන් නම් ඒක පිළිගන්නවා. ඔවුන්ගේ විඤ්ඤූන් විද්‍යාඥයන් දාර්ශනිකයන් හා පොදුවේ බටහිර උගතුන්. බුදුහාමුදුරුවො ඊනියා පර්යේෂණ ගැන කියල නැහැ. බුදුුහාමුදුරුවො කසිකබල් විද්‍යාඥයෙක්වත් දාර්ශනිකයෙක්වත් නො වෙයි. බෞද්ධ දර්ශනය කියල එකක් නැහැ. ඒක තියෙන්නෙ ඊනියා බෞද්ධ විශ්වවිද්‍යාලවල බුඩිස්ට් ෆිලොසොෆි කියල. මා බෞද්ධ දර්ශනය පිළිගන්නෙ නැහැ කියන එක නොවෙයි ඉන් කියැවෙන්නෙ. එහෙම එකක් නැහැ. නැති දෙයක් පිළිගන්නවත් ප්‍රතික්‍ෂෙප කරන්නවත් බැහැ. 

කාලෝ නැවත ඉපදීමක් ගැන කතෝලිකයකු හැටියට විශ්වාස කළා. මොන කතා ප්‍රසිද්ධියෙ කිව්වත් ඔහු කතෝලිකයෙක්. මා කියන දේට ධර්මසේකර (දැන් හිමියන්) සාක්‍ෂි.