මෙරට කෙටිදුර ධාවන නාමය ජාත්‍යන්තර තලයට රැගෙන යමින් පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් රන් පදක්කම් ත්‍රිත්වයක් මෙන්ම ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ රැසක් මෙරටට දිනා දෙන්නට ශෙහාන් අඹේපිටිය සමත් විය.

ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ළැදියාවක් දැක්වූ පවුල් පසුබිමක ඔහු හැදී වැඩුනත්, ක්‍රීඩාවට යොමු වීමට මහත් මැලිකමක් දැක්වූ ශෙහාන් අහම්බෙන් හිමි වූ අවස්ථාවක් නිසාවෙන් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ක්‍රීඩාවට අවතීර්ණ විය. 

අහම්බෙන් ලද අවස්ථාවෙන් සිය හැකියාවන් පිළිබඳව වටහා ගත් ශෙහාන් කෙටිදුර ධාවන පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන්නට පසුව සමත් විය.

මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ බාධක රැසක් ජයග්‍රහණය කරමින් ශෙහාන් මලල ක්‍රීඩා පිටියේ ආ ගමනේ දී කැමරා කාචයන්හි සටහන් වූ සේයා රූ වෙනුවෙනි.

1. පාසල් වියේ සිටම කෙටිදුර දස්කම් 

මලල ක්‍රීඩාවට යොමු වීමෙන් අනතුරුව කෙටිදුර ධාවන පිටියේ ඉතා ඉක්මනින්ම සිය ආධිපත්‍ය පැතිරවීමට සමත් වූ ශෙහාන් මෙරට නියෝජනය කරමින් 2007 වසරේ පැවති ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයට තේරී පත්වීමට ද සමත් විය.

2. ජාත්‍යන්තර යොවුන් පිටියේ ආධිපත්‍ය 

පාසල් වියේ සිටම කෙටිදුර ධාවන පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ශෙහාන් 2008 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලෙ මීටර් 100 ඉසව්ව උළෙල වාර්තාවක් (තත් 10.31) සමඟින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි දී මීටර් 200 සහ මීටර් 100X4 සහය දිවීමේ රන් පදක්කම් දිනා ගන්නට ද ඔහුට හැකි විය.

3. දකුණු ආසියානු පිටියේ වැඩකිඩ 

කනිෂ්ඨ මට්ටමේ දැක්වූ දස්කම් නිසාවෙන් 2010 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන්නට වරම් ලද ශෙහාන් මීටර් 100 ඉසව්වේ රන් පදක්කමත්, මීටර් 200 ඉසව්වේ රිදී පදක්කමත් ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර මීටර් 100X4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ද ශෙහාන් ඇතුළු කණ්ඩායම සමත් විය.

4. ක්‍රීඩා දිවිය වෙනස් කළ ජැමෙයිකානු පුහුණුව 

දිගින් දිගටම කෙටි දුර ධාවන පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් 2012 ගිම්හාන ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම ඉලක්ක කරගනිමින් ජැමෙයිකාවේ පුහුණුවකට යෑමට ශෙහාන්ට වරම් ලද නමුත් එම පුහුණුවේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔහු ආබාධයකට ලක් වීම නිසාවෙන් සිය ක්‍රීඩා දිවියේ හොඳම අවධියේ දී පිටියෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදු විය.

5. ජාතික වාර්තාවක් 

ආබාධය නිසාවෙන් මදක් පසුබෑමෙන් අනතුරුව මීටර් 100X4 සහය දිවීමේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණ ශෙහාන් සිය සගයන් සමඟ එක්වෙමින් 2015 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ 100X4 සහය දිවීමේ ඉසව්ව තත්පර 39.38ක කාලයකින් සිව්වැන්නා ලෙස අවසන් කිරීමට සමත්වූයේ එම ඉසව්වට අදාළ ජාතික වාර්තාව ද බිඳ හෙළමිනි.

තවත් Photo Stories:

6. දකුණු ආසියාවේ තවත් ජයක් 

මීටර් 100X4 සහය දිවීමේ කණ්ඩායම සමඟ එක්වීමෙන් අනතුරුව ඉතා හොඳ ප්‍රගතියක් ලැබූ ශෙහාන් ඇතුළු කණ්ඩායම 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100X4 සහය දිවීමේ ඉසව්ව තත්පර 39.96ක කාලයකින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

7. ජාතික තේරීම් තරගවල දස්කම් 

මීටර් 100X4 සහය දිවීමේ කණ්ඩායම සමඟ කටයුතු කරන අතරවාරයේ 2018 වසරේ පැවති මලල ක්‍රීඩා සංචිත තේරීම් තරගයක් සඳහා සහභාගී වූ ශෙහාන් එහි දී තත් 10.56ක කාලයක් වාර්තා කරමින් දෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කිරීමට සමත් විය.

8. තමාගේම වාර්තාවම බිඳ හෙළීම  

2018 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100X4 සහය දිවීමේ ඉසව්ව නියෝජනය කළ ශෙහාන් ඇතුළු කණ්ඩායම එම තරගය තත් 39.08ක කාලයකින් අවසන් කරමින් හයවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූ අතර එම කාලය ඔවුන් විසින් එම ඉසව්වට පිහිටුවා තිබූ ජාතික වාර්තාව ද අභිබවා යන්නක් විය.

9. පසුබෑමකට ලක් වූ ජාතික ශූරතාවය 

සිය ක්‍රීඩා දිවියේ අවසාන පරිච්ඡේදයේ සිටි ශෙහාන් 2019 වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 100 ඉසව්ව තත් 10.87ක කාලයකින් අවසන් කිරීමට සමත් වූවත් එම තරගය හත්වැන්නා ලෙස පසුබසින්නට ඔහුට සිදු විය.

10. සියල්ලන් මවිත කරමින් ක්‍රීඩා පිටියට සමුදීම

2019 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 මූලික වටය තත්පර 21.60ක කාලයකින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශෙහාන් සමත් වූවත් එම තරගයෙන් අනතුරුව ඔහු ඉදිරි තරග සඳහා සහභාගී නොවන බව පවසමින් වසර 16කට ආසන්න මලල ක්‍රීඩා දිවියට සමුදීමට ඔහු තීරණය කරන ලදි.

සමුගැනීමෙන් පසුව ද මෙරට මලල ක්‍රීඩාවට පරිපාලනය ඔස්සේ සහය දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශෙහාන් මෙරට මලල ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ බැබළවීමට අමිල සේවයක් ඉටු කළ ක්‍රීඩකයෙකි, ඔහුගේ දිවියේ ඉදිරි සිහින සපුරා ගනිමින් තම ඉලක්කය වෙත යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<