ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ ගිවිසුම් ගත වේ

152

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) දේශීය සිසිල් බීම සහකරු ලෙසින් කටයුතු කරනු ලබන මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම එම සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘නිල බෝතල් කළ පානීය ජල සැපයුම්කරුවා’ ලෙස අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත්ව ඇත. 

මෙම අනුග්‍රාහකත්වය තහවුරු කරමින් අද (24) දින පස්වරුවේ මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම යටතේ පවතින බෝතල් කළ පානීය ජල සැපයුම් සන්නාම දෙකක් වන ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම හා හුවමාරු කරගැනීම සිදුවිය. ඒ අනුව ඉදිරි වසර 3ක කාලය සඳහා ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ බෝතල් කළ පානීය ජලය, ක්‍රිකට් ආයතනයේ නිල බෝතල් කළ පානීය ජල සැපයුම් සහකරු ලෙසින් කටයුතු කරනු ඇත. 

මෙම ගිවිසුමට අනුව ඉදිරි වසර 3ක කාලය තුළදී මෙරට සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිවල නිල බෝතල් කළ පානීය ජලය සැපයුම්කරුවා ලෙස කටයුතු කිරීමට ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ සන්නාම වලට අවස්ථාව හිමිවන අතර ඒ හරහා ඔවුන්ට සෑම ක්‍රීඩාංගණයක් තුළම බෝතල් කළ පානීය ජලය විකිණීමේ සහ බෙදා හැරීමේ වරළත් අයිතීන් හිමි වේ. අනෙක් පසින් මයිකෝලා බේවරේජස් පුද්ගලික සමාගම ද සියලුම ජාත්‍යන්තර තරග වලදී ක්‍රීඩකයින්ට, නිලධාරීන්ට, ආරාධිත අමුත්තන්ට සහ ප්‍රභූවරුන්ට, තරගාවලි ආවරණය කරන මාධ්‍යවේදීන්ට මෙන්ම රූපවාහිනී කාර්යය මණ්ඩලයට ද අවශ්‍ය බෝතල් කළ පානීය ජලය ලබා දීමට මෙම ගිවිසුමෙන් බැඳී සිටියි.  

අදාළ ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා එහිදී ප්‍රකාශ කර සිටියේ; 

“නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමට අපි බෙහෙවින් ස්තූතිවන්ත වන අතර ඔවුන් අප සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වයෙන් උපරිම වටිනාකමක් අත්කර ගැනීමට හැකියාව ලැබෙයි.” යනුවෙනි. 

තවත් කියවන්න;

අනතුරුව එහිදී අදහස් දක්වමින් මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ෂාම් ප්‍රනාන්දු මෙලෙස තම අදහස් දැක්වීය. 

“ශ්‍රී ලාංකික ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සිසිල් බීම පානීය හවුල්කරුවා වීමට අමතරව නිල බෝතල් කළ පානීය ජල සැපයුම්කරුවා වීමේ අවස්ථාව හිමි වීම අපිට මහත් ගෞරවයක් මෙන්ම වරප්‍රසාදයක්.”  

“මෙම හවුල්කාරීත්වයත් සමඟ ක්‍රිස්ටල් සහ ලයිෆ් වෙළෙඳ නාම ශ්‍රී ලංකාවේ ජනප්‍රියම බෝතල් කළ ජල වෙළෙඳ නාම බවට පත්වීමට ඉමහත් දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සන්නාමයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධවීම හරහා අන්තර්ජාතික වෙළෙඳ පොළට වැඩි ඉඩකඩක් විවර වනවා සේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද දායකත්වයක් ලබා දීමේ අවස්ථාව උදාවනු ඇත.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<