හැව්ලොක් සුක්කානම සෙනාල්ට

835

2020/21 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා හැව්ලොක් ක්‍රීඩා සමාජය ඔවුන්ගේ නායකයා ලෙස සෙනාල් දීලක පත්කර ඇති අතර එළඹෙන 2020/21 රග්බි වාරය සඳහා ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් මාටිස් කටයුතු කරනු ඇත. මෙවර අන්තර් සමාජ ලීග් තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිතය.

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට අත්පොත් තබන සෙනාල් දීලක, සිය පාසල් සමයේ සිටම ප්‍රබල රග්බි ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කිරීමට සමත් විය. අන්තර් සමාජ ලීග් රග්බි තුළ වසර 7ක් ක්‍රීඩා කර ඇති ඔහු මෙවර තරගාවලිය තුළ සිය සුපුරුදු ෆ්ලෑන්කර් ස්ථානයේ ක්‍රීඩා කරනු ඇත.

2010 වසරේ සිට 2014 වසර දක්වා ඉසිපතන රග්බි කණ්ඩායම නියෝජනය කළ සෙනාල්,  2014 වසරේ දී ඉසිපතන කණ්ඩායමේ නායකයා ලෙස පාසල් රග්බි පිටියේ ශූරතා ත්‍රිත්වයටම හිමිකම් කීමට සමත් විය.

පාසල් පිටිය තුළදී ද දක්ෂ නායකයෙකු වූ සෙනාල්, ඉසිපතන කණ්ඩායමට අමතරව කනිෂ්ට ජාතික කණ්ඩායමට ද පිවිසීමට සමත් විය. 2014 වසරේ පැවති ආසියානු කනිෂ්ට රග්බි තරගාවලියේ දී අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ ද සෙනාල් දීලක ය. එම තරගාවලිය සඳහා හොංකොං, චීන තායිපේ, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව සහභාගී විය.

2018/19 වසරේ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය අනුශූරතාවය දිනාගත් අතර සෙනාල් දීලක එම කණ්ඩායමේ උප නායකයා විය. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එම තරගාවලියේ අවසන් තරගය හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර පැවැත්විනි. එහිදී මහනුවර ක්‍රීඩා සමාජය තරගය ජයග්‍රහණය කළේ ලකුණු 2ක පරතරයකිනි. එම වසරේ පැවති පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දී හැව්ලොක් කණ්ඩායම ශූරතාවය දිනාගැනීමට සමත් විය.

මෙවර තරගාවලිය සඳහා පිවිසෙන හැව්ලොක් කණ්ඩායමට තවත් සුභ බලාපොරොත්තු දෙකක් ලැබී තිබේ. ඒ සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු වන දිනුක් අමරසිංහ සහ සුමුදු රන්කොත්ගේ මෙවර තරගාවලිය සඳහා හැව්ලොක් කණ්ඩායම හා එක්ව සිටීමයි.

තවත් රග්බි පුවත් : 

2019/20 තරගාවලියේ දී දිනුක් අමරසිංහ CR&FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර සුමුදු රන්කොත්ගේ නැවත හැව්ලොක් වෙත පැමිණීමට පෙර මහනුවර ක්‍රීඩා සමාජය සහ CR&FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.

නව මුහුණු කිහිපයක් ඇතුළුව ක්‍රීඩකයින් 30කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලිය සඳහා හැව්ලොක් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව සිටියි. පසුගිය වසරේ හැව්ලොක් කණ්ඩායම නියෝජනය කළ ශව්කට් ලාහීර් පමණක් මෙවර තරගාවලිය සඳහා මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් එක්ව සිටියි.

මේ අතර හැව්ලොක් සාර්ථකත්වයේ ප්‍රධාන හිමිකරුවෙකු වන සනත් මාටිස් මෙවර තරගාවලිය සඳහා ද හැව්ලොක් පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. සනත් මාටිස් හට මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ කිහිපයකින්ම ආරාධනා ලැබී තිබුනු අතර හැව්ලොක් කණ්ඩායම තමන් රඳවා ගැනීමට ගත් තීරණය පිළිබඳව මාටිස් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සභාපති වන තුසිත පීරිස් මහතාට සිය කෘතඥතාව පළකර තිබේ.

හැව්ලොක් සභාපති තුසිත පීරිස් මහතා සහ ඔහුගේ නිලධාරීන් සමඟින් හැව්ලොක් කණ්ඩායම සිය පරිවර්තනයන් සමඟින් දියුණුවක් ලබා ගනිමින් සිටින අවස්ථාවක දී මෙලෙස මාටිස් මාටිස්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට හැකි වීම හැව්ලොක් කණ්ඩායමට විශාල වාසියක් වනු ඇත. නවක ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සහ ක්‍රීඩක කළමනාකරණය සම්බන්ධයෙන් සනත් මාටිස් ප්‍රසිද්ධියක් උසුලන අතර ක්‍රීඩා සමාජ කිහිපයකටම ශූරතාවය දිනා ගැනීමට ඔහු විශාල දායකත්වයක් සපයා තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් රග්බි පිටියට පිවිසි උමේෂ් මධුෂාන් මෙවර තරගාවලිය සඳහා හැව්ලොක් උප නායකයා වේ. හැව්ලොක් කණ්ඩායමේ රග්බි සභාපති ලෙස සාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු ක්‍රීඩක සැමී අක්බාර් කටයුතු කරන අතර හිටපු සාන්ත පීතර ක්‍රීඩක රොශාන් ඕපාත රග්බි ලේකම් ලෙස කටයුතු කිරීමට නියමිතය.

“ශව්කට් හැර අපේ පසුගිය වසරේ සංචිතය මේ වසරේ තරගාවලියටත් රඳවා ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙන් දෙදෙනෙක් විදිහට දිනුක් අමරසිංහ වගේම සුමුදු රන්කොත්ගේ අපිත් එක්ක එකතු වුන එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. අපේ සම්පූර්ණ සංචිතය සමබරයි. අපිට විශ්වාසයි සනත් මාටිස්ගේ මෙහෙය වීම එක්ක අපිට අපේ බලාපොරොත්තු ඉටුකර ගන්න පුළුවන් වේවි කියලා.” හැව්ලොක් රග්බි ලේකම් රොශාන් ඕපාත මහතා පැවසීය. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<