CH වෙනසකට මුල පුරයි; කාන්තා නියෝජනයකට ඉඩප්‍රස්තාව

1021

COVID-19 වසංගතය හේතුවෙන් අඩපණ වූ දේශීය රග්බි පිටියට යලි ජීවය එක් කරමින් ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය එළඹෙන මාසය ආරම්භයේ දී දියත් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ලම මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතරවාරයේ ප්‍රමුඛ පෙළේ රග්බි ක්‍රීඩා සමාජ කිහිපයක්ම ඊට ලහිලහියේ සූදානම් වන්නේ තම කණ්ඩායම්හී කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු කරමිනි.

මීට කදිම නිදසුනක් සපයමින් CH&FC කණ්ඩායම එළඹෙන තරග වාරය සඳහා නව නායකයෙකු සහ පුහුණුකරුවෙකු යටතේ තරග වැඳීමට සූදානමින් පසුවන්නේ සෙසු ප්‍රතිවාදීන් හට පැහැදිලි අභියෝගයක් එල්ල කරමිනි.

තවද මෙරට රග්බි වංශකථා පොතේ පළමු වරට A කාණ්ඩය නියෝජනය කරන රග්බි ක්‍රීඩා සමාජයක ප්‍රධාන කළමනාකාර ධූරය හෙඹවීමේ කාර්‍යභාර්‍ය කාන්තා නායකත්වයක් යටතට භාර කිරීමේ ගෞරවය ද හිමි කරගැනීමට CH&FC ක්‍රීඩා සමාජය සමත් වී තිබේ.

තවත් රග්බි පුවත් :

නමින් උදානි එදිරිසිංහ වන ඇය මින් පෙර අවස්ථා කිහිපයක දී ම CH කණ්ඩායම සමඟ සමීපව වැඩ කටයුතු කරමින් ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණයන් උදෙසා ඇයගේ දායකත්වය ලබා දී තිබේ.

රග්බි පිටියට ආගන්තුක චරිතයක් නොවන උදානි 2016 වසරේ දී සහකාර කළමණාකාරිණිය වශයෙන් CH ක්‍රීඩා සමාජය සමඟ අත්වැල් බැඳගන්නේ කණ්ඩායමේ සුභසිද්ධිය උදෙසා සුවිසල් මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරමිනි.

2018 වසරේ දී අන්තර් සමාජ සත් සාමාජික රග්බි ශූරතාවලිය සහ බස්නාහිර පළාත් සත් සාමාජික රග්බි ශුරතාවලිය යන තරගාවලීන් ද්විත්වයේම කිරුළු CH කණ්ඩායම දිනා ගත්තේ ඇයගේ ධූර කාලසීමාව තුල දී වීම විශේෂත්වයකි.

ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් 2018 වර්ෂයේ දී මෙරට තරුණ රග්බි ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවිමේ අරමුණින් කාශ්මීරයෙහි සංවිධානය කළ රග්බි පුහුණු කඳවුර සහ වැඩමුළුව සඳහා ද  උපරිම දායකත්වයක් ලබා දුන් උදානි එම ඉසව්වෙහි ප්‍රධාන සම්බන්ධීකාරක සහ සංවිධායකවරිය ලෙස ඉතාමත් සාර්ථකව තමන්ට පැවරුණු වැඩ රාජකාරි කොටස සම්පූර්ණ කිරීමට සමත්කම් දැක්විය. එම නිසාවෙන් ඇය සතු අත්දැකීම් සමුදාය සහ පිරිස් කළමනාකරණය කිරීමේ සුවිශේෂී හැකියාව CH කණ්ඩායමේ ඉදිරි වැඩ කටයුතු පහසුවෙන් ඉටු කරගැනීම සඳහා ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<