බැඩ්මින්ටන් ක්‍රීඩාවේ කප් ගැසූ ශූරිය “රේණු චන්ද්‍රිකා”

624

රේණු චන්ද්‍රිකා ද සිල්වා, 1997 සිට 2003 දක්වා පිට පිට වසර 7ක් බැඩ්මින්ටන් ජාතික ශූරිය ලෙසත්, ඉන් අනතුරුව තවත් වසර 4ක් එම ශූරතාව දිනා ගනිමින් වසර 11ක් ජාතික බැඩ්මින්ටන් ශූරිය වීමටත් සමත් වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දක්වා දිනා ඇති ඉහළම බැඩ්මින්ටන් ශූරතාව ද දිනා ගන්නේ ඇයයි. මේ ThePapare.com තුළ දිග ඇරෙන්නේ ඇයගේ කතාවයි. 

චන්ද්‍රිකා පාසල් යන්නේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයට. පවුලේ ඇයත් සමඟ 10 දෙනෙක්. අම්මා, තාත්තාට අමතරව ඉන් 5 දෙනෙක්ම සහෝදරයෝ. චන්ද්‍රිකා හැරුනහම අනෙක් දෙදෙනා නිවුන් සහෝදරියෝ. ඔවුන් දෙදෙනා ද පාසල් ගියේ ස්වර්ණපාලියට. 

චන්ද්‍රිකා බැඩ්මින්ටන් ගහන්න පටන් ගන්නේ ඒ අක්කලා දෙන්න නිසා. එක් කෙනෙක් නිලන්ති සේපාලිකා. අනෙක් තැනැත්තිය යසන්ති සේපාලිකා. ඔවුන් දෙන්නා ස්වර්ණපාලියේ කප් ගහපු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවෝ. ඒ විතරක් නෙමේ උතුරු මැද පළාත් තරගවල දී ද ඔවුන්ට ලැබුණේ ප්‍රමුඛ තැනක්. 

“මට අවුරුදු 11ක් වගේ වෙද්දී මම ඒ දෙන්නා බැඩිමින්ටන් ගහනවා බලන්න යනවා. යනවටත් වඩා අම්මා තමයි මාව ඔවුන් සමඟ එතැනට යවන්නේ. මොකද මම ගෙදර හිටියොත් අම්මට ගෙදර වැඩ කරගන්න අමාරුයි. ඒ තරමටම මම කුඩා කාලෙ දඟ කරලා තියෙනවා. ගෙවල් අස්-පස් කරන ඒවා. අපි දහදෙනාගෙ රෙදි හෝදන ඒවා, අපි කට්ටියට උයන දේවල් ඇරෙන්න අම්මට වෙනත් කාලයක් තිබුණ ද කියල විශ්වාස කරන්නත් බැහැ. ඒත් අම්ම කවදාවත් ඒ කිසි දෙයක්වත්, අපේ වැඩ කටයුතුවත් අතපසු කළේ නැහැ.” 

චන්ද්‍රිකාගේ පියා, ඒ කාලෙ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝ පරීක්ෂකවරයා. ඉන් ලැබෙන පඩිය තමයි චන්ද්‍රිකාලගෙ ප්‍රමුඛ ආදායම් මාර්ගය. දහදෙනෙක්ගෙන් යුත් පවුලක් නඩත්තු වුනේ ඒ පඩියෙන්. “තාත්තා කළේ රස්සාවට යන එක විතරයි. අම්ම තමයි ගෙදර හැම දෙයක්ම පාලනය කළේ” චන්ද්‍රිකා සිහිපත් කරනවා. මේ දිරිය මාතාව තම දරුවන්ගේ පාසල් කටයුතු සහ එදිනෙදා කටයුතු වෙනුවෙන් වූ වෙහෙස කෙතෙක් දැයි ඔබට සිතා ගත හැකි ද? 

“අක්කලා බැඩ්මින්ටන් ගහනවා බලන්න ගිය මම අවුරුද්දක් විතර මේ දේ කරනවා. ඒත් කවදාවත් මට බැඩ්මින්ටන් ගහන්න ඕන කියන හැඟීමක් ඇවිත් නැහැ. එහෙම ඉන්දැද්දී එක දවසක් අක්කලාට පුහුණුවීම් කළ විමලරත්න සර් මට සෙල්ලම් කරන්න කතා කළා. මමත් ගියා.”

එය ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකගේ ප්‍රවිශ්ඨය කියල කවුරුත් හිතන්න නැතිව ඇති. අඩුම තරමින් චන්ද්‍රිකාවත්. උතුරු මැද පළාත් ක්‍රීඩා නිලධාරි ලෙසින් කටයුතු කළ ඒ. එම්. විමලරත්න මහතා චන්ද්‍රිකාගේ බැඩ්මින්ටන් ගමනේ පළමු නියෝග දෙන්නා වෙන්නේ ඒ ආකාරයෙන්. 

චන්ද්‍රිකා සිය නිවැසියන් සමඟ

“අපි ඒ දවස්වල හිතාගෙන හිටියේ අපි සෙල්ලම් කරන තැන තමයි ලංකාවේ හොඳම කෝට් එක කියලා. ඒත් පසු කාලයේ දී කොළඹ ඇවිත් සෙල්ලම් කරද්දී තමයි දන්නේ අපි ඉතා අඩු පහසුකම් යටතේ තමයි සෙල්ලම් කරල තියෙන්නේ කියලා. බිම වලවල් පිරිච්ච සිමෙන්ති පොළොව, වහල ඒ තරමට උසත් නැහැ. ඒත් විමලරත්න සර් අපිට උදේ හවස මේ තත්ත්වය යටතේ වූවත් පුහුණුවීම් කළා. මට මතක විදිහට අපි 50 දෙනෙක් විතර හිටියා. මේ වෙනුවෙන් කිසිම කෙනෙක්ගෙන් කිසිදු මුදලක් සර් අය කළේ නැහැ.”

එහෙම සෙල්ලම් කරන්න ආ චන්ද්‍රිකා, උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ දී විවෘත ශූරතාව දිනා ගන්නවා. ඒ වෙද්දී ඇයට වයස අවුරුදු 13යි. අවාසනාවකට වගේ එම තරගයේ දී චන්ද්‍රිකා අතින් පරාජය වෙන්නේ ඇයගේ අක්කා කෙනෙක් වූ නිලන්ති සේපාලිකා. 

“ඒ වෙද්දී අපි බොහොම අමාරුවෙන් කාලය ගත කළේ. අපි බැඩ්මින්ටන් නතර කරන්න කියල හිතාගෙන හිටපු කාලෙ. ඒත් මේ තරග ජයග්‍රහණයත් සමඟ සර් මම ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවා. මට බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉහළට යන්න පුළුවන් බව පැවසුවා. ඒත් අපි හිටියෙ ම බැඩ්මින්ටන් නතර කරනවා කියන තැන. අන්තිමට අක්කලා දෙන්නා අයින් වෙලා මට දිගට ම බැඩ්මින්ටන් කරගෙන යන්න බල කළා.”

මේ කාලය වෙද්දී චන්ද්‍රිකා ජාතික කනිෂ්ඨ ශූරතාවලිය ඇතුළු අනෙකුත් කනිෂ්ඨ තරග සඳහා සහභාගී වෙනවා. තරගවලට කොළඹ එන්න ඕන. ඒ සඳහා වියදමට හරි හැටි මුදල් දීමට පවා චන්ද්‍රිකාලට හැකියාවක් තිබුණෙ නැහැ. ගෙදරින් ලැබෙන කීය හෝ අතමිට මොලවාගෙන චන්ද්‍රිකා ගමනට සහභාගී වෙනවා. හැබැයි ඉතිං වැඩි වියදම් පුහුණුකරු විමලරත්න මහතාගෙන් තමයි.  

චන්ද්‍රිකා දිනන අශ්වයෙක්ගේ තත්ත්වයට පත් වෙන්නේ 1993 දී. ඇය ගල්කිස්සේ දී පැවති ජනසතු සේවා බැඩ්මින්ටන් තරගාවලියේ විවෘත ඉසව්වේ දී යසින්තා ලියනගේ පරාජය කරමින් ශූරිය වෙනවා. ඒ තමයි චන්ද්‍රිකා දිනූ පළමු සමස්ත ලංකා විවෘත තරගාවලිය. ඊට පස්සේ 1996 බැඩ්මින්ටන් ජාතික තරගාවලියේ දී අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. එම තරගයේ දී ඇය කෞෂල්‍යා දිසානායක වෙතින් පරාජය වෙනවා.

“ඊට පස්සෙ අවුරුද්දෙදි මම ජාතික ශූරිය වෙනවා. එතැන් සිට 2003 අවුරුද්ද දක්වා පිට පිට අවුරුදු 7ක් ජාතික ශූරිය මම. ඒ වෙද්දී චන්ද්‍රිකා මලවිආරච්චිත් පිට පිට අවුරුදු 7ක් ජාතික ශූරිය වෙලා තිබුණා. මගේ උත්සාහය වුනේ ඒ වාර්තාව බිඳ දමන්න. ඒත් 2004 අවුරුද්දේ මම තිළිණි ජයසිංහට පරාජය වුනා. නමුත් ඊට පසු අවුරුද්දේ සිට නැවත 4ක් වතාවක් ජාතික ශූරිය වෙනුවෙන් අවුරුදු 11ක් ජාතික බැඩ්මින්ටන් ශූරිය වීමට මට හැකි වුනා.”

පාසල් කාලයේ දී

එම දක්ෂතාවට අමතරව තමන් සහභාගි වූ තරග අතරින් ඇය තවමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නේ SAFF තරගාවලියේ දී කණ්ඩායම් තරගාවලියේ දී දිනූ රිදි පදක්කම සහ කාන්තා යුගල ඉසව්වේ දී දිනාගත් ලෝකඩ පදක්කමත් සහ මිශ්‍ර යුගල ඉසව්වේ දී දිනූ රිදි පදක්කමත් ය. ඊට අමතරව සාක් කලාපයේ රටවල් අතර පැවති බැඩ්මින්ටන් තරගාවලියේ දී තුෂාර එදිරිසිංහ සමග එක් ව අංක 1කට ශ්‍රේණිගතව සිටි ඉන්දියාවේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව පරාජය කිරීමත් ඇයට සුවිශේෂි මතකයන්.

“මේ ජයග්‍රහණවලට අමතරව මෙරට බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ ඉහළම ජයග්‍රහණය වාර්තා කරන්නත් මට හැකි වුනා. ඒ 2011 වසරේ දී කැනඩාවේ දී පැවති ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ දී වයස අවුරුදු 35න් ඉහළ කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීම. ඇත්තටම ඒ ගැන මම ආඩම්බර වෙනවා. අවසන් තරගයේ දී මම පරාජය කරන්නේ මේ වයස් කාණ්ඩයේ ලෝකයේ අංක එකට ශ්‍රේණිගත වෙලා හිටපු චාමනි රීඩ්” ලෝක බැඩ්මින්ටන් සම්මේලනය සංවිධානය කළ මේ තරගාවලිය සඳහා රටවල් 42ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 641 ක්‌ සහභාගී වූ බැව් ද චන්ද්‍රිකා පැවසුවා. 

ඊට අමතරව තවත් තරගාවලි රාශියකට සහභාගී වී ඇති චන්ද්‍රිකා, දැනට දිනා ඇති දේශීය සහ ජාත්‍යන්තර පදක්කම් ප්‍රමාණය ගණනය කරන්නේ නම් බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවේ වැඩිම පදක්කම්ලාභිනිය ඇය විය යුතුයි. ඒ අතුරින් ඇය දිනූ විශේෂ තත්ත්වයෙන් යුත් ජාත්‍යන්තර පදක්කම් කිහිපයක් මෙසේ දැක්විය හැකියි. 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී චන්ද්‍රිකා දිනා ඇති පදක්කම් ප්‍රමාණය 8ක්. 2004 වසරේ දී පාකිස්තානයේ දී පැවති ක්‍රීඩා උළෙලේ දී ඇය ඒකල, පමීෂා දිශාන්ති සමඟ එක්වෙමින් කාන්තා යුගල සහ තුෂාර එදිරිසිංහ සමඟ එක් වෙමින් මිශ්‍ර යුගල ඉසව්වන්ගෙන් ලෝකඩ පදක්කම් 3ක් දිනා ගත්තා. 

ඊට පසුවම ක්‍රීඩා උළෙලේම 2006 වසරේ මෙරට දී පැවති තරගාවලියේ දී ඒකල, තිළිණි ජයසිංහ හා එක්ව කාන්තා යුගල සහ තුෂාර එදිරිසිංහ හා එක්වෙමින් මිශ්‍ර යුගල ඉසව්වන්ගෙන් ලෝකඩ පදක්කම් 3ක් ද දිනා ගැනීමට සමත් වූවා. අනතුරුව 2010 වසරේ දී බංග්ලාදේශයේ දී පැවති තරගාවලියේ දී නදිශා ගයන්ති සමඟ එක් වෙමින් කාන්තා යුගල සහ නිලූක කරුණාරත්න සමඟ එක්වෙමින් මිශ්‍ර යුගල ඉසව්වන් හී ලෝකඩ පදක්කම් 2ක් හිමි කර ගත්තා. 

ලෝක බැඩ්මින්ටන් සංගමයේ පුහුණු පාඨමාලාවේ දී

ජාත්‍යන්තර බැඩ්මින් සංගමයේ අනුමත තරග රාශියකට ද සහභාගී වී සිටින චන්ද්‍රිකා එම තරගවල දී ශූරතා 7ක් සහ අනුශූරතා 7ක් දිනා ඇත. තම ඒකල ඉසව්වේ දී 2002 බංග්ලාදේශ සැටලයිට් තරගාවලියේ දී රන් පදක්කමත්, 2005 නේපාල සැටලයිට් තරගාවලියේ දී රන් පදක්කමත් සහ 2007 ඉරාන් ෆජ්ර් ජාත්‍යන්තර තරගාවලියේ දී අනුශූරතාවත් දිනා ඇත. 

කාන්තා යුගල ඉසව්වේ දී 2007 වසරේ දී ඉරාන් ෆජ්ර් ජාත්‍යන්තර තරගාවලියේ දී අනුශූරතාව, සිරියා ජාත්‍යන්තර තරගාවලියේ දී ශූරතාව, ජෝර්දාන් සැටලයිට් තරගාවලියේ දී ශූරතාව සහ පාකිස්තාන ජාත්‍යන්තර තරගාවලියේ දී අනුශූරතාව ද 2008 වසරේ දී ඉරාන් ෆජ්රා ජාත්‍යන්තර තරගාවලියේ දී අනුශූරතාව ද දිනා ඇත. මේ සෑම අවස්ථාවකම ඇයගේ සහායිකාව ලෙසින් සිට ඇත්තේ තිළිණි ජයසිංහ ය. 

තවත් විශේෂාංග ලිපි:

මිශ්‍ර යුගල ඉසව්වේ දී ඇය 2005 වසරේ දී තුෂාර එදිරිසිංහ එක්ව රන් පදක්කම ද, 2007 වසරේ දී ජෝර්දාන් සැටලයිට් තරගාවලියේ දී දිලූක කරුණාරත්න සමඟ ශූරතාව ද, එම වසරේ දී ම පාකිස්තාන ජාත්‍යන්තර තරගාවලියේ දී දිලූක කරුණාරත්න සමඟ අනුශූරතාව ද 2010 වසරේ දී උදාර නයනජිත් සමඟ මාලදිවයින් ජාත්‍යන්තර තරගාවලියේ දී අනුශූරතාව ද එම වසරේ දී ම සිරියා ජාත්‍යන්තර තරගාවලියේ දී ලසිත මේනක සමඟ ශූරතාව ද සහ 2011 වසරේ දී ලසිත මේනක සමඟ අනුශූරතාව ද දිනා ඇත. 

“මේ කුමන පදක්කම දිනා ගත්තත් මට මේ දේවල් දිනා දෙන්න පාර කපා දුන්නේ අනුරාධපුරයෙන් ආරම්භ කරපු බැඩ්මින්ටන් ගැහිල්ල. අපි ගොඩක් දුක් වින්දා. ගෙදර අඩු-පාඩු ගොඩක් තිබුණා. කෑම බීම පවා නොතිබුණ අවස්ථා තිබුණා. ඒ වුනත් බැඩ්මින්ටන් ගැහිල්ල අත හැරියෙ නෑ. මොකද මම වෙනුවෙන් මගේ අක්කලා දෙන්නම බැඩ්මින්ටන් ක්‍රීඩාව අතහරිනවා. හැමෝගෙම අධිෂ්ඨානය තිබුණෙ මාව කොහොම හරි දිගටම බැඩ්මින්ටන් ක්‍රීඩාවේ තබනවා කියලායි. ඒ හේතුවත් බැඩ්මින්ටන් ගහන්න මට තිබුණ ආසාව නිසාත් මම රුපියල් 75 දීමනාවට කොළඹ ඇවිත් රුපියල් 25 කෑම එක කාලා පුහුණුවීම් කළා. 

තනියම හැම දෙයක් ම කරන්න පුරුදු වුනා. ගෙදරින් ලැබුණ මුදල අරපරිස්සමින් වියදම් කළා. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දිගින් දිගටම යෙදී සිටි නිසා අවුරුදු 23ක් වෙනකම් රැකියාවක් පවා කරන්න බැරි වුනා. අම්මා තාත්තාට කරන්න තිබුණ යුතුකම් පවා මඟ හැරුණා. ඒත් මම බැඩ්මින්ටන් ක්‍රීඩාව අතහැරියෙ නැහැ. අදටත් මම බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙනවා.”

චන්ද්‍රිකා පසුගිය කාලයේ වැඩි වශයෙන්ම සහභාගි වූයේ ලෝක ජ්‍යෙෂ්ඨ අංශයේ තරග සඳහා ය. ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ ටර්කි දේශයේ පැවති තරගාවලියේ දී වයස අවුරුදු 40න් ඉහළ ඒකල ඉසව්වේ දී ලෝකඩ පදක්කම, ඉන්දියාවේ, කොචින් නගරයේ දී පැවති තරගාවලියේ දී රිදී පදක්කම සහ නිමා වූ වසරේ පෝලන්තයේ දී පැවති තරගාවලියේ දී ඒකල ඉසව්වේ රිදී පදක්කම සහ යුගල ඉසව්වේ දී ලෝකඩ පදක්කම් ද දිනා ගැනීමට ඇය සමත් වුනා. 

මේ තරගවලට සහභාගී වෙන ගමන්ම චන්ද්‍රිකා, ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිලත් පුහුණුකාරිනියක් ලෙසින් ද සුදුසුකම් ලබනවා. ඇය මේ තනතුර දිනා ගත්තේ හංගේරියාවේ දී පැවති බැඩ්මින්ටන් ජාත්‍යන්තර පුහුණු පාඨමාලාවක දී සමත් වූ එකම ශ්‍රී ලාංකික තැනැත්තිය ලෙසයි.

දේශීය බැඩ්මින්ටන් ක්‍ෂේත්‍රයේ පරිපාලනයේ යම් යම් නොගැලපීම් ඇති බවත්, ඒ තැන් නිරාකරණය විය යුතු බවත් චන්ද්‍රිකා පවසනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ලෙසින් තමන් ඒ දේ බලාපොරොත්තු වන්නේ ක්‍රීඩාවේ දියුණුව පතා බැව් ද ඇයගේ මතයයි. නුදුරු දිනයක දී පුහුණුකාරිනියක් ලෙසින් තමන් ලත් දැනුම අනාගත පරපුර වෙත දායාද කිරීමට බලාපොරොත්තුවෙන් සිටින චන්ද්‍රිකා කුමන තත්ත්වයක් යටතේ වුවත් හැකිතාක් කාලයක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වෙන බැව් ද පවසනවා.

“ක්‍රීඩිකාවක් ලෙසින් මම මට හැකි පමණින් මේ රටට කීර්තියක් ගෙනත් දීලා තිබෙනවා. ඒ ගැන සියුම් සතුටක් තිබෙනවා. ඒත් නිලධාරීන්ගේ නොයෙකුත් වැඩ කටයුතු නිසා ක්ෂේත්‍රය ගැන ලොකු කලකිරීමකින් ඉන්නේ. ඒ වුනත් මම බැඩ්මින්ටන් ක්‍රීඩාවට ආදරෙයි. මම අද තැනක ඉන්නේ මේ නිසා. හෙට දවසේ මගෙන් මේ ක්‍රීඩාවට විය යුතු දේවල් රාශියක් තිබෙනවා. යම් යම් ලෙසින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දායකත්වය දැක්වුවත් තවමත් පූර්ණ ලෙසින් ඊට එක්වීමට කාලය නෙමේ. එදාට මම නොපැකිළිව ඒකට ඉදිරිපත් වෙනවා. මගේ සම්පූර්ණ කාලය ඒ වෙනුවෙන් ගත කරනවා” චන්ද්‍රිකා පැවැසුවා.

බීජ රෝපණය වෙන්නේ සුදුසු කල් හී ය. දැන, එවන් ගමනක යෙදෙන ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩිකාව වන රේණු චන්ද්‍රිකා ද සිල්වාට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්.  

  >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<