රජයේ ඉඩම් මංකොල්ලකෑමේ ආණ්ඩුවේ ගැසට්ටුව විරෝධය නිසා අකුලා ගනී

 

රජයේ ඉඩම් බලෙන් අල්ලාගත් වැඩිදෙනෙකු හොර තක්කඩි ය. ඔවුන් ඉඩම් අල්ලාගැනීම කළේ කුමක් හෝ දේශපාලන හයියකිනි. විශේෂයෙන් ම නාගරික ඉඩම් හොරෙන් අල්ලාගැනීම සිදුකළේ එසේය. එසේම, කැලෑ ඉඩම් අක්කර සිය ගණන් විවිධ වගාවන් සඳහා අල්ලා ගත් අය ද සිටිති. ඔවුන් ද දේශපාලන බලපුළුවන්කාරකම් තිබෙන ව්‍යාපාරිකයන්ය.

ගම්බදව සුළු පරිමාණෙන් රජයේ ඉඩම් ඇල්ලූ අය ද සිටිති. ඔවුන් ද සියලු දෙනා දුප්පතුන් යයි කිව නොහැකිය.

ධනවතුන් කළත්, දුප්පතුන් කළත්, මෙය බලහත්කාරය පාවිච්චි කර සිදුකරන ලද රජයේ දේපල මංකොල්ලයකි. එය සිදුකළ අයගේ සුදුසුකම වන්නේ ඔවුන්ට සොරකම් කිරීමට, බලාත්කාරීත්වයට, වංචනික ලෙස කටයුතු කිරීමට තිබෙන එඩිතරකමයි. ඔවුන් සෙසු නීතිගරුක පුරවැසියන්ගෙන් වෙනස් වන්නේ එම නිසාය.

මෙය දඬුවම් කළ යුතු වරදක් මිස තෑගි දිය යුතු දක්ෂකමක් නොවේ. ඒ අතර, හුදෙක්ම දිළිඳුකම හේතුවෙන් එසේ කළ යම් අයෙකු වේ නම්, ඒ පිළිබඳ සොයා බලා සානුකම්පිත හේතු මත සහනයක් සැලසීමෙහි වරදක් නැත. සෙසු අයට දඩ ගැසිය යුතුය. එම දේපල කඩා ඉවත් කළ යුතුය. කඩා ඉවත්කිරීම වෙනුවට ඕනෑ නම් සුදුසු පුද්ගලයන්ට නිශ්චිත කාලයකට තවදුරටත් ඒවා බදුදිය හැකිය. එහෙත්, සාධාරණ ගාස්තුවකට පමණි. එහිදී, විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව එකී පුද්ගලයන්ට ම එම බදුදීම කරන්නේ නම්, එයට සාධාරණ හේතු තිබිය යුතුය.

අංක 2192/36 දරණ 2020 සැප්තැම්බර් 10 දාතම සඳහන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අති විශේෂ ගැසට් නිවේදනයෙන් බලාපොරොත්තු වූයේ මෙම ඉඩම් මංකොල්ලකරුවන්ට මංකොල්ලකෑ ඉඩම් අයිතිකරගැනීමට අවස්ථාව ලබාදීමටයි.


බලෙන් අල්ලාගන්නා ලද රජයේ ඉඩම් ඒවා අල්ලාගත් අයටම පැවරීමේ රජයේ ගැසට් නිවේදනය

රජය මෙම වංචනික ක්‍රියාව වෙත යොමු කරනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න තවමත් අපැහැදිලි ය. මෙය හුදෙක්ම ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාවක්ද? නැතිනම් ඉඩම් ඇමතිවරයාගේ ක්‍රියාවක්ද? එහෙමත් නැතිනම් එයට ඊටත් ඉහළින් බලපෑම් තිබිණිද? මේ සම්බන්ධ කැබිනට් තීරණයක් තිබේද? මෙවැනි කරුණු ආණ්ඩුව පැහැදිලි කළ යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලකයන් ඉඩම් සම්බන්ධයෙන් දක්වා තිබෙන ආකල්ප අනුව, මේ පසුපස තමන්ගේ හෙංචයියන්ට සැලකීමේ කැත උවමනාවක් තිබුණු බවට සැකකිරීම ඉතා සාධාරණය.

මෙම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වූවා නම්, එය සංරක්ෂිත වනාන්තරවලට, වැව් තාවුලු ඇතුළු ජල පෝෂක ප්‍රදේශවලට, රක්ෂිත ඉඩම්වලට, මහාමාර්ගවලට, දුම්රිය මාර්ගවලට බරපතල ගැටලුවක් වන්නට තිබිණි. එබැවින් සමාජයෙන් ඒ පිළිබඳ දැඩි විරෝධයක් පැනනැගිණි.

කෙසේ වෙතත්, තවත් ගැසට් නිවේදනයක් මගින් ඉහත දක්වන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට දැන් රජය ක්‍රියා කර තිබේ. අංක 2194/28 හා 2020 සැප්තැම්බර් 22 දිනය දරණ එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

බලෙන් අල්ලාගන්නා ලද රජයේ ඉඩම් ඒවා අල්ලාගත් අයටම පැවරීමේ රජයේ ගැසට් නිවේදනය අවලංගු කිරීමේ ගැසට් නිවේදනය





Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා