HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මුල් ම සිංහල කෙටිකතාකරුවා වී. ඩී. ද ලැනරෝල් ද? මාර්ටින් වික්‍රමසිංහ ද?

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘අභිරහස’ කෙටිකතාව ප්‍රථම සිංහල කෙටිකතාව ලෙස මහාචාර්ය ඒ. වී. සුරවීරයන් විසින් ‘මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා’ පළමු වෙළුමට ‘සිංහල කෙටිකතාවේ ප්‍රභවය’ යන මැයෙන් ලිපියක් ලියමින් සඳහන් කර තිබුණි. එහි සඳහන් වූ ආකාරයට ‘අභිරහස’ කතාව දිනමිණ පුවත්පතේ පළ වී ඇත්තේ 1924 අප්‍රේල් 25 වැනිදාය. 

මුල් ම සිංහල කෙටිකතාව ලියූ වී. ඩී. ද ලැනරෝල්

මේ පිළිබඳව සොයා බැලීමක් කළ මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් ඒ මතයට වෙනස් මතයක් ‘විසිවන සියවසේ සිංහල කෙටිකතා’ (ගොඩගේ ප්‍රකාශන 2018) නම් ග්‍රන්ථයෙන් එළි දක්වා ඇත. ‘මුල් ම සිංහල කෙටිකතාකරුවා වී. ඩී. ද ලැනරෝල් ද? මාර්ටින් වික්‍රමසිංහ ද?’ යන සිරස යටතේ පළ කෙරුණු එම ලිපියෙන් මාර්ටින් වික්‍රමසිංහගේ ‘අභිරහස’ දිනමිණේ පළවීමට වසරකට පෙර, එනම්, 1923 දී දිනමිණේ පළ වූ වී. ඩී. ද ලැනරෝල්ගේ ‘උපාසක මහත්තයා’ යන කතාව නිසා ඒ ගෞරවය ඔහුට හිමිවිය යුතු යයි අවධාරණය කරයි. 

‘1864 සිට ම ‘‘කෙටිකතා’’ සාහිත්‍යාංගය පිළිබඳ අවබෝධයකින් යුතුව ‘‘කතාවස්තු’’ රචනා කොට ඇත ද කිිසිදු ලේඛකයකු සිය නමින් පෙනී සිටීමට නොපෙලඹීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. ක්‍රි. ව. 1864 සිට 1920 දක්වා කාලය අතරතුර එක ම ලේඛකයකු විසින් ‘‘කථාවස්තු’’ රැසක් රචනා කරන්නට ඇත. එම ලේඛකයන් නමින් පෙනී සිටිමින් කතා රචනා කළේ නම් මුල් ම සිංහල කෙටිකතාකරුවා මාර්ටින් වික්‍රමසිංහ හෝ වී. ඩී. ද ලැනරෝල් නොව වෙනත් ලේඛකයකු වීමට හොඳට ම ඉඩකඩ තිබුණි.’ යයි මහාචාර්ය කුලතිලක කුමාරසිංහ එම ලිපියෙන් පැහැදිලි කරයි. 

ඒ පිළිබඳ ව කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය කුමාරසිංහයන් මෙසේ ද සඳහන් කරති. ‘වී. ඩී. ද ලැනරෝල්ගේ ‘‘උපාසක මහත්තයා’’ මුල් ම සිංහල කෙටිකතාව ලෙස සැලකූයේ කවර කරුණු නිසා ද යන බැව් පැහැදිලි කළ යුතු ය. මා එසේ පැවසූයේ හුදෙක් එම කතාව ‘‘අභිරහස’’ කතාවට වසරකට පෙර එනම් 1923 දී රචනා කරන ලද නිර්මාණයක් වූ නිසා ම නොවේ. මේ කතාව හා සසඳන විට කෙටිකතා ලක්ෂණ වඩාත් ඉස්මතු වන අයුරින් ‘උපාසක මහත්තයා’ රචනා කොට ඇති හෙයිනි. පිළිගත් මූලධර්මවලට අනුව කෙටිකතාවක, සියල්ල අභිභවා ඉස්මතු වී පෙනෙන ප්‍රබල සිදුවීමක් තිබිය යුතු ය. එසේ ම එක් ප්‍රධාන චරිතයක් කේන්ද්‍ර කොට ගෙන කතාව විකාශනය කිරීමට ලේඛකයා සැලකිලිමත් විය යුතු වේ. මෙහි කතාව විකාශනය වන්නේ උපශාන්ත පුද්ගලයකු ලෙස හැසිරුණු ධර්මරත්න නම් තරුණයාගේ ජීවිතය නාභිගත කරගෙන ය. ඔහුගෙන් ප්‍රාචීන භාෂා ඉගෙනීමට පෙලඹුණු තරුණියක මුහුණ දෙන ජීවන ශෝකාන්තය මෙහි දී ඉස්මතු වී පෙනෙන සිදුවීම වේ. 

වී. ඩී. ද ලැනරෝල්ගේ ‘උපාසක මහත්තයා’ කෙටිකතාවේ සාරාංශය මෙසේ ය. 

‘සමරසේකර යුවළ කාලයක් වත්පොහොසත්කම් ඇති ව සිටියත්, පසුගිය කාලයේ අබලදුබලතාවන් ගෙන් පීඩනයට පත් වූයෙන් සිය විශාල නිවසෙහි නේවාසිකයන් රඳවා ගෙන ආර්ථික දුෂ්කරතා මඳ වශයෙන් හෝ පියවා ගැනීමට පෙලඹුණහ. ඔවුන් තරුණ ගැහැනු දරුවන් තිදෙනකුගේ මාපියන් වූ බැවින් නේවාසිකයන් බඳවා ගැනීමේ දී හැකිතාක් දුරට මනා චරිත ශුද්ධිය ඇති ගුණයහපත් තරුණයන් තෝරා ගැනීමට සැලකිලිමත් වූහ. ඒ අනුව සිරිපාල, වෛද්‍යසේකර හා ධර්මරත්න යන තිදෙනා එහි නවාතැන් ගැනීමට වාසනාව ලැබූහ. වෛද්‍ය ශිෂ්‍යයකු වූ සිරිපාල තරමක් කටකාර, විවේකයෙදී විහිළුතහළු කරමින් දවස ගෙවන්නෙකි. සිරිපාල කෙළිලොල් තරුණයකු නොවුණ ද, නීති ශිෂ්‍යයකු වූ වෛද්‍ය‍සේකර සන්සුන් ඉඳුරන් සහිත උපාසක ජීවිතයක් ගත කිරීමට නොපෙලඹුණේය. ධර්මරත්න නිරතුරු පංචශීලය මෙනෙහි කරමින් උපශාන්ත ජීවිතයක් ගත කළ හුදෙකලාව අගය කළ පුද්ගලයෙකි.’ 

ඔහු ගත කළ ප්‍රතිපත්තිමය - සන්සුන් ජීවිතය ලේඛකයා නිරූපණය කර ඇත්තේ කෙටිකතාවේ අවසානය මෙනෙහි කරන පාඨක සිත් සතන්හි උත්ප්‍රාසාත්මක අර්ථයක් ජනනය වන අයුරිනි. 

‘ගෙදර කිසිවකු සමඟ හෙතෙම වැඩිපුර කතාබහට නොගියේය. අන්‍යයන් සමූහ වී කථාකරන තැනට ද ඔහු කවදාවත් ගියේ නැත. මැස්සෙකුගෙන් පමණටවත් හිංසාවක් කිසිවකුට ඔහුගෙන් සිද්ධ නොවූයේ ය. හෙතෙම බිම පා තබන විට කුරුකුහුඹුවන් නොපෑගෙන ලෙස බිම බලාගෙන ප්‍රවේසමෙන් ඇවිද්දේ ය. පොළොවේ සිටින පණුවන් මැරේ යන බියෙන් කවදාවත් ඔහු උණු වතුර ටිකක් බිමට විසි කළේ නැත. සප්‍රාණික බීජ තිබෙන බව කියා හෙතෙම නොපෙරා වතුර පානය නොකළේය.’ 

‘ඔහුගේ ආහාරය බත් සහ එළවළු ව්‍යඤ්ජන පමණකි. හෙතෙම මත්ස්‍ය මාංශ අනුභව කරන්නන් පිළිකුල් කළේය. මෙබඳු යහපත් ගතිගුණාංග නිසා ගෙදර ස්ත්‍රී පක්ෂය ඔහුට තපස්වරයකුට මෙන් සැලකුවෝය. සමරසේකර හාමිනේ නොඑක්වර ඔහුට අපේ ‘‘උපාසක මහත්තයා’’යි ගෞරවයෙන් පැවසුවා ය.’ 

ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබමින් සිටි සිය දෙවැනි දියණිය වූ බියට්රිස්ට සිංහල හා පාලි ඉගනීමට අවශ්‍ය වෙයි. ඇයට උගන්වන්නැයි සමරසේකර දෙමහල්ලන් කළ ඉල්ලීමට ප්‍රමාද වී හෝ ධර්මරත්න එකඟ වීම ගැන බියට්රිස් සතුටු වූවාය. ධර්මරත්න බඳු යහපත් තරුණයකුගෙන් යමක් දැන කියා ගැනීමට පෙලඹෙන කිසිවකුට හානියක් හෝ වරදක් නොවන්නේ යැයි සමරසේකර මහත්මිය කල්පනා කළා ය. ඇය සිය සැමියා පවා අස්වසමින් මෙසේ පැවසුවා ය. 

‘....ඒ ළමයා ළඟට ළමිස්සියක් යවන්ඩ බය නම් පන්සලේ හාමුදුරුවන් ළඟට යවන්ටත් බිය වෙන්ට එපායැ.’ 

ලේඛකයා ධර්මරත්නගේ චරිතය නිරූපණය කර ඇත්තේ ඔහුගේ ව්‍යාජ උපාසක වේශය සරදමට ලක් කෙරෙන අයුරිනි. 

‘ඉතින් සමරසේකර මහත්මයා කියනවා නම් යමක් නොකරත් බැහැ. මට ගෑනු ළමයින්ට උගන්නන එක නිකම් ‍මොකක්ද වගේ. හොඳයි ඉතින් බෑ කියල කොහොමද? ඉගෙන ගන්ට එන කොට ඒ ළමයින්ගෙ මෑණියන්ටත් එන්ටයි කියන්න. වෙන මොකවත් නිසා නෙවෙයි, දන්නෙ නැද්ද මහත්තයා රටේ කතා ඇති වෙනවා නොවැ.’ 

සමරසේකර යුවළගේ වැඩිමහල් දියණිය සිරිපාල සමඟ ද බාල ම දියණිය වෛද්‍ය‍සේකර සමඟ ද පෙම් සබඳතා පවත්වාගෙන ගියහ. එයට මවුපියෝ එකඟතාවක් නොදැක්වූහ. කිසියම් කරුණක් නිසා ඔවුන්ගේ උදහසට ලක් වන දෙදෙනා ම පසුව වෙනත් නිවසක නවාතැන් ගනිති. සිංහල හා පාලි ඉගෙනීමට උනන්දු වූ බියට්රිස් ධර්මරත්නගේ උපාසක චර්යාවට වසඟ වූයේ පසුව ඔහු හේතු කොට ගෙන ගැබිනියක් බවට පත් වේ. ධර්මරත්න ද නිවසෙන් පමණක් නොව ප්‍රදේශයෙන් ද අතුරුදහන් වේ. එසේ වුවද විහිළු තහළු කරමින් කෙළිලොල් ලෙස හැසිරුණු සිරිපාල හා වෛද්‍යසේකර ඔවුන් පෙනී සිටි විභාගවලින් සමත් වී රැකියා ලැබ, පොරොන්දු වූ පරිදි සමරසේකර යුවළගේ දියණියන් හා විවාහ වෙති. බියට්රිස් ගැබ්ගත් පසු පලා ගිය ධර්මරත්න පිළිබඳ තොරතුරුකතාව අවසානයේ දී අනාවරණය කෙරේ. දානපතියකුගේ වේශයෙන් පෙනී සිටි ඔහු ධර්මරත්න බැව් හඳුනා ගන්නා බියට්රිස් පසුව ඔහු සමඟ නීත්‍යනුකූල ව විවාහ වේ. 

චරිත කීපයක් ම මුඛ්‍ය සිදුවීම් කථනයට සම්බන්ධ කරගෙන ඇතත්, ලේඛකයා මූලික වශයෙන් කතාව ගොනු කොට ඇත්තේ ව්‍යාජ උපාසකයකු වූ ධර්මරත්නගේ චරිතය කේන්ද්‍ර කොට ගෙන ය. එම චරිතය හා බැඳුණු ව්‍යාජ උපාසක වේශය ඉස්මතු වන අයුරින් සෙසු චරිත හැසිරවීමට 1923 දී පමණ ලේඛකයා පෙලඹුණු හෙයින් වී.ඩී. ද ලැනරෝල්ගේ කතා රචනයේ කුශලතා අප විසින් අගය කළ යුතු වේ. 

වී. ඩී. ද ලැනරෝල්ගේ සාහිත්‍ය කෘති කීපයක්

වී. ඩී. ද ලැනරෝල් නම් සිංහල කෙටිකතාවේ පුරෝගාමියා ගැන ද මෙහිදී සටහනක් තැබීම වැදගත්ය. වී.ඩී. ද ලැනරෝල්ගේ සම්පූර්ණ නම රාජකරුණාධිපති අමරකෝන් මුදියන්සේලාගේ වික්ටර් ඩියුක් ලැනරෝල් ය. ඔහු 1893 දෙසැම්බර් 25 වැනිදා කඩුවෙල බෝමිරියේ උපන්නේය. ඔහු ලේඛන කලාවට, විශේෂයෙන් සිංහල සාහිත්‍යයට, පුවත්පත් කලාවට, සම්බන්ධ සොහොයුරන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ය. පවුලේ දෙවැන්නා වූ ජූලියස් ද ලැනරෝල්, සිංහල ශබ්දකෝෂයේ සංස්කාරකවරයා ලෙස ද, ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම ‘ලංකාදීප’ පුවත්පත ආරම්භ කරද්දී එහි ප්‍රධාන කර්තෘ ලෙස ද කටයුතු කළේය. ‘වන නදිය’ ලියූ ඇස්.ඩී. ද ලැනරෝල් තුන්වැන්නාය. සිව්වැන්නා වූ කේ.ඩී. ද ලැනරෝල් කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකු විය. පසුව ප්‍රධානාචාර්ය ධුුරයට ද පත් වූ ඔහු ඉංග්‍රීසි බසින් බුදුදහම ගැන පොතපත ලිවීය. 

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ඔහුගේ ‘උපන්දා සිට’ පොතේ, වී.ඩී. ද ලැනරෝල් නම් අසාමාන්‍ය ලේඛකයා, පුවත්පත් කලාවේදියා ගැන සඳහන් කර ඇත්තේ මෙසේ ය. ‘ද්විභාෂා පුහුණු ගුරුවරයකු වශයෙන් වෘත්තිය ඇරඹූ ලැනරෝල් මහතා කවියකු, පාසල් පොත් රචකයකු, ළමා කවි, ළමා කතා, පමණක් නොව අපේ ඉතිහාසය, ජාතිකත්වය, ශිෂ්ටාචාරය ගැන ද අපේ ගම ගැන, ගැමිකම, පුරසාරම් ගැන හා මෝඩකම් ගැන ද ලියා පිස්සන් කොටුවට ගොස් නැවතී, එහි අපූරු තොරතුරු ඇසුරෙන් රසවත් කතා ලියූ සූර ලේඛකයෙකි.’ 

ඇම්. ඩී. ගුණසේන සමාගමේ ප්‍රකාශන ප්‍රධානියා ව සිටි සමයේ වී. ඩී. ද ලැනරෝල් පාසල් සඳහා අතිරේක කියවීම් පොත් ඇතුළු ග්‍රන්ථ රාශියක් ලියා පළ කළේය. ලේඛකයන්ට හා පාඨකයන්ට ප්‍රයෝජනවත් සේවාවන් රැසක් සිදු කළේය. පාඨකයන්ට කියවීමට අඩු මිලට පොත් සැපයීම සඳහා පෙන්ගුවින් සමාගම අනුව යමින් ආරම්භ කළ ‘ලිහිණි පොත්’ ව්‍යාපෘතිය ඉන් එකකි. 

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

මුල් ම සිංහල කෙටිකතාව පිළිබඳ ගැටලුව අපට මෙසේ ලිහා දුන් සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් ගැන ද මෙහිදී වචනයක් සඳහන් කළ යුතු වෙයි. සිංහල කෙටිකතාව ගැන විචාර ග්‍රන්ථ තිහකට වඩා සිය නාමයට එක් කර ගෙන ඇති එතුමා සිංහල කෙටිකතාවේ ආරම්භයට පෙර, කුඩා කතා, කතාවස්තු, ආදි නම්වලින් හැඳින්වුණු, පුවත්පත් සඟරාවල පළ වූ, ඒවායේ පටන් මේ දක්වා ලියවුණු කෙටිකතා පිළිබඳ විශේෂ අධ්‍යයනයක යෙදුණු මධ්‍යස්ථ විචාරකයෙකි. දැනට එතුමා සිංහල විශ්වකෝෂයේ උපදේශක ප්‍රධාන කර්තෘ පදවිය හොබවයි.

- පර්සි ජයමාන්න

Post a Comment

2 Comments

  1. සැමදා මෙන්ම අදත් නැණසට යමක්! මම අසා තිබෙනවා වී. ඩී. ද ලැණරෝල් මහතාගේ පොත් එකතුවට සිද්ධ වුනු දේ අදටත් අභිරහසක් කියා! මෙය ඇත්තක්ද?

    ReplyDelete
  2. බොහොම ස්තූතියි. ලැනරෝල් මහතාගේ පොත් එකතුව ගැන සොයා බලා කියන්නම්! හුඟක් තාත්තලගෙ පොත් එකතු පරිස්සම් කරන්න දරුවන්ට ඕනෑකමක් නෑ. වික්ටර් මහත්තයාගෙ පුතෙක් ආනන්ද කියලා මාත් එක්ක ලේක්හවුස් එකේ වැඩ කළා.දැන් ඉන්නෙ ඇමෙරිකාවෙ.

    ReplyDelete