ගේල් ඇතුළු විදෙස් ක්‍රීඩකයින් 150ක් LPL වෙන්දේසියට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

5055

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් 420 අයැදුම් කර තිබෙන අතර ඉන් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා තිබේ.

අන්තර්ජාලය හරහා ඔක්තෝබර් මස පළමුවැනිදා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී තරග වදින කණ්ඩායම් 5 (ගාල්ල, දඹුල්ල, මහනුවර, යාපනය, කොළඹ) සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනෙනු ඇත.

තවත් කියවන්න;

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට සහභාගි වීමේ උනන්දුවෙන් පසුවන අතර ක්‍රිස් ගේල්, ඩැරන් සැමී, ඩැරන් බ්‍රාවෝ,  ශහිඩ් අෆ්රිඩි, ශකීබ් අල් හසන්, රවී බොපාරා, ජොනී බෙයාර්ස්ටොව්, කොලින් මුන්රෝ, ලුක් රයිට් සහ වර්නැන් ෆිලෙන්ඩර් ඒ අතරින් කැපී පෙනෙන ක්‍රීඩකයෝ වෙති.

අසල්වැසි ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු LPL තරගාවලිය සඳහා අයැදුම් කර සිටින අතර මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, මන්ප්‍රීට් ඝෝනි සහ ෂදාබ් ජකාති එම ක්‍රීඩකයෝ වෙති.

දේශීය තරග පිටියේ නියැළෙන ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රිකට් ලෝලීන්ටත් නැවුම් අත්දැකීමක් ලබා දෙමින් පැවැත්වෙන මෙම විස්සයි-විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020 නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනු ඇත. තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම හම්බන්තොට දී පැවැත්වීමට දැනට සැලසුම් යොදා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<