බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු මේ දිනවල තමන් බ්ලොග් අවකාශයේ නව මිතුරන් සමඟ එක්වීම සහ තමන්ගේ බ්ලොග් අඩවිය මිතුරන් දැන ගැනීම නිසා අපහසුතාවයට පත්වී සිටිනු මම දුටුවෙමි. ඔව් එය සැබෑවකි. මාගේ මිතුරන්ද දැන් මාගේ බ්ලොග් අඩවිය දනී. එබැවින් මම දකින ඔවුන්ගේ සමහර අඩුපාඩු, නරක පුරුදු පිළිබඳව දැන් මට ඒ බ්ලොග් අඩවියේ ලිවීමට නොහැකිය. ඒ ඔවුන් අමනාප වන නිසාම නොවේ. සමහරක් විට ඔවුන් මා සමඟ අමනාප නොවූවත් සිත් රිදීම් ඇතිවිය හැකි බැවිනි. බ්ලොග් අවකාශයේ මිතුරන් පිළිබඳ වුවද එමමය.

මා බ්ලොග් ලියන්නට පැමිණෙන විට කිසිම බ්ලොග් කරුවෙකු හඳුනන්නේ නැත. කෙමෙන් කෙමෙන් කල් ගතවත්ම මා බ්ලොග් අවකාශයේ තරමක් ජනප්‍රිය වන අතරම එකා දෙන්නා බැඟින් බ්ලොග් කරුවන් හඳුනා ගැන්මට ලැබෙයි. ඒ සඳහා ඉවහල් වූයේ ෆේස් බුකියයි. එතැනින් නොනැවතී සුහද හමු, මිතුරු හමු ආදිය නිසා බ්ලොග් කරුවන් සමඟ සමීප ඇසුරක් ලැබුණි. දැන් මා බ්ලොග් කරුවන්ව පෞද්ගලිකවම හඳුනයි. ඔවුන්ගේ වගතුග දනියි. ඉතින් දැන් මා අලුත් ලිපියක් ලියන විට එය කිසිවෙකුගේ සිත නොරිදෙන පරිදි ලිවිය යුතුය. කමෙන්ටුවක් දමන විට දෙවරක් සිතිය යුතුය. එය නිදහසේ තමන්ගේ අදහස් ලිවීමට බාධාවකි.

ඔව් මා මේ බ්ලොග් එක සෑදුවේ ඒ නිසාය. දැන් මට බ්ලොග් අවකාශයට පැමිණි මුල් කාලයේ මෙන්ම නිදහසේ ලිවිය හැකිය. මක්නිසාදයත් කිසිවෙකු මා කවුදැයි නොදන්නා බැවිනි. ඉතින් ඒ නිදහස මට පමණක් සීමා නොකොට ඔබටත් විඳින්නට ඉඩ සලසන්නට සිතිනි. මිතුරන්ගේ සිත් රිදේයැයි බියෙන් තමන්ගේ බ්ලොග් වල පළ නොකරන ලිපි සහ පළ කර ඉවත් කරන ලිපි ඔබට කැමතිනම් ඔබේ තොරතුරු කිසිවක් සඳහක් නොකර මා වෙත එවන්න.(වෙනත් බ්ලොග් එකෙක් සාදා නඩත්තු කිරීමට කාල වේලා නැත්තම් පමණක්: amuthukathaa@gmail.com) නැත්නම් ඔබ තවත් බලා නොඉද දැන්මම තවත් බ්ලොග් එකක් සාදා නිදහසේ ලියන්න.

දැන් මේ බ්ලොග් එක ලියන්නේ කවුදැයි සෙවීමට උත්සාහ නොකර ලියනදේ කියවා සෑහීමකට පත්වන මෙන් පාඨක ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.