විදේශ ඉල්ලුම තෘප්ත කරන්නට – කළු ගම්මිරිස්. ගම්මිරිස් වගාකරන කලාපයක් නිර්මාණය කරමු.

 

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කළු ගම්මිරිස්වල පයිපරින් නම් රසායනිකයක් අඩංගු නිසා ලෝකය පුරාම ලංකා ගම්මිරිස් වලට ඉල්ලුමක් පවතී. එසේම අස්වැන්න ලෙස නෙලන ගම්මිරිස් වියලා සකස් කර අපනයනය කරනවා වෙනුවට අගය එකතු කර අපනයනය කරන්නේ නම් ද විශාල ඉල්ලුමක් පවතී. මේ සාධක දෙක මත ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සදහා මාතලේ, මහනුවර, නුවර එලිය, කුරුණෑගල, කෑගල්ල, රත්නපුරය හා බදුල්ල දිස්ත්‍රික්කය ඇතුලත් ගම්මිරිස් නිෂ්පාදනය කරන කලාපයක් නිර්මාණය කර විශාල විදේශ විනිමයක් රටට ගෙන්වා ගැනීමට උනන්දු නොවන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි.

ගම්මිරිස් වගා කරන රටවල් අතුරින් ඉඩම් වගා වපසරිය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ පස්වැනි ස්ථානයේ ය. ගම්මිරිස් නිෂ්පාදනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ හත්වන ස්ථානයේ ය. ගම්මිරිස් අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ පස්වැනි ස්ථානයේ ය. 2017 වර්ෂයේ දී ගම්මිරිස් ටොන් 13, 309ක් අපනයනය කර රුපියල් බිලියන 12.7ක් විදේශ විනිමය ලෙස උපයා ඇත.

පසුගිය කාලය තුළ දේශීය ගම්මිරිස් නිෂ්පාදනයේ පසුබෑමක් ඇතිවූයේ ගම්මිරිස් මිල සීඝ්‍රයෙන් පහල බැසීම නිසා ය. ඊට හේතුවූයේ ගම්මිරිස් නිෂ්පාදනය කරන අංක එකේ රටවන වියට්නාමය විසින් විශාල ලෙස ගම්මිරිස් නිෂ්පාදනය කරන්නට යොමුවීම නිසා ලෝක වෙළෙද පළේ ගම්මිරිස් මිල පහළ බැසීමයි. අදට ද ශ්‍රී ලංකාවේ අඩු වෙළෙද පළ මිලක් ගම්මිරිස් සදහා පවතින්නේ එනිසා ය. එහෙත් ඒ තත්ත්වයට අභියෝගාත්මකව මුහුණදිය හැක්කේ අගය එකතු කළ ගම්මිරිස් නිෂ්පාදනයෙන් හා බටහිර අලුත් වෙළෙද පළවල් සොයා ගැනීමෙනි. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනයෙන් 60%ක් අපනයනය කරන්නේ ඉන්දියාවටවීම ශ්‍රී ලංකාවට පාඩුවකි.

මේ අභියෝගයන් ජයගෙන ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ හිගයට පිළියමක් ලෙස විශාල වශයෙන් ඩොලර් උපයන්නට නම් ගම්මිරිස් වගා කරන විශේෂ කලාපයක් ඇති කර ඊට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුය. එහිදී ජය ගන්නට තිබෙන විශාලම අභියෝගය වන්නේ මෙරට ගම්මිරිස් නිෂ්පාදනයේ මහා පරිමාණ නිෂ්පාදකයන් ප්‍රමාණය වර්ධනය කර ගැනීමයි. දැනට ගම්මිරිස් වගා කරන ඉඩම් හෙක්ටාර් 27.661ක ප්‍රමාණයෙන් 93.3%ක්ම කුඩා පරිමාණ ඉඩම්හිමියන්ට අයත්වීම ගැටළුවකි. එනිසා ගම්මිරිස් නිෂ්පාදනය කරන කලාපය තුළ උපරිම පහසුකම් සලසමින් විශාල ඉඩම් හිමියන් ගම්මිරිස් වැවීමට උනන්දුකරවීම වඩා යෝග්‍යය වේ.

මේ කිසිවක් කිසිම ආණ්ඩුවක සැලකිල්ලට ලක් වන්නේ නැත. මැටි, වේවැල්, බතික් පමණක් නොව වෙනත් එවැනි වාණිජ්‍යමය නොවන නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කරන්නට අමාත්‍යංශ පවා නිර්මාණය කළ ද ගම්මිරිස් වගා කරන කලාපයක් පිහිටුවා අගය එකතු කරන ලද ගම්මිරිස් අපනයනය වර්ධනය කර විදේශ විනිමය ඉපයීමට සැලසුම් සකස් නොකිරීම අනුවණකමකි.

Leave a comment