අරාබිකරයට ක්‍රිකට් කියාදෙන ලංකා පුත්‍රයා

2301
Muthumudalige Pushpakumara

2000 වසරේ ශ්‍රී ලංකාවේ පැවති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමාව දුටුවේ මහත් බලාපොරොත්තු ඇතිව සටන් බිමට ගිය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අනුශූරතාව හිමි කර දෙමිනි.

එදා ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරමින් මොහොමඩ් කායිෆ්ගේ නායකත්වයෙන් යුතු ප්‍රබල ඉන්දීය කණ්ඩායම කිරුළ ශ්‍රී ලංකාවෙන් ඩැහැගෙන යන අවස්ථාවේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට අතිශයින්ම සතුටු විය හැකි රිදී රේඛාවන් කිහිපයක් ඒ කළු වළාව ඉතිරි කළේය.

ඔප් මට්ටම් කර හැඩ දමා ඉහළ වටිනාකමකට හැරවිය හැකි විශිෂ්ට ඝනයේ ක්‍රීඩකයින් රැසක් අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට සුබවාදී සිහින එක් කළ බව රහසක් නොවීය.

වමත් පිතිකරුවෙකු ලෙස පිතිකරණ ලැයිස්තුවේ මැදපෙළ ක්‍රීඩා කළ ද, කණ්ඩායමේ අවශ්‍යතාව මත ඕනෑම තැනකට හැඩ ගැසිය හැකි, දකුණත් පිට දඟපන්දුව හුරු කොළඹ ආනන්දයෙන් පැමිණි මුතුමුදලිගේ පුෂ්පකුමාර ද එවන් දීප්තිමත් අනාගතයකට හිමිකම් කී යෞවනයෙකු විය.

නමුත් එකල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින්ගේ ස්ථාවරත්වය කෙතරම් ද කියතහොත් නවක ක්‍රීඩකයෙකුට ජාතික වරම් දිනා ගැනීම එක්තරා අන්දමක අභියෝගයක් විය.

පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වමින්.

“දහනමයෙන් පහළ ලෝක කුසලාන අවසන් මහ තරගයට පෙර දින රාත්‍රියේ ඩී. එස් ද සිල්වා මහත්මයා මට කිව්වා පාකිස්තානය බලා යන ශ්‍රී ලංකා කණ්ඩායමට මා තෝරාගෙන ඇති බව. ඩී. එස් ද සිල්වා මහත්මයා තමයි අපේ යොවුන් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරුවේ. මට සෑහෙන සතුටක් වගේ පුදුමයක් දැනුණා. ඒක හීනයක් සැබෑවීමක් වගේ. 2000 වසරේ යොවුන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකා ජාතික සංචිතයකට එක්වෙන්න වරම් දිනා ගත් මුල්ම ක්‍රීඩකයා වුනේ මම.

දිගින් දිගටම පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ කැපී දක්ෂතා පෙන්වීම නිසා මට එවන් අවස්ථාවක් ලැබුණා කියල මම හිතනවා.

1998 වසරේ පැවති වයස 17න් පහළ සිංගර් කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වීමටත්, 1998 වසරේ අති විශිෂ්ටතම පාසල් ක්‍රීඩකයාට හිමි වේල්ස් කුමර සම්මානය ලබා ගන්නටත් මට හැකියාවක් ලැබුණා. එලෙසම 1999 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙමින් හොඳම පන්දු යවන්නා, හොඳම පන්දු රකින්නා සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මාන දිනා ගැනීමටත් මට හැකියාවක් ලැබුණා. ඒ වගේම 2000 වසරේ මයිලෝ හොඳම පාසල් ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේත් මා විසින්. මේ සියල්ල ජාතික කණ්ඩායමේ සංචිතයට මා නම් කිරීමේ දී සැලකිල්ලට ගන්න ඇති කියා මා විශ්වාස කරනවා.

ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම 1998

2000 වසරේ පාකිස්තානු සංචාරයට එක්වූවද පුෂ්පකුමාරට එහි දී ජාත්‍යන්තර වරම් හිමි වූයේ නැත. එසමයේ බොහෝමයක් උසස් දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ට මෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම අප කතානායක යෞවනයාට ද අපහසු කටයුත්තක් වෙමින් තිබුණි. ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට බොහෝ ක්‍රීඩකයින් පිරිසක් කාලාන්තරයක් තිස්සේ බලා සිටියහ.

“2000 වසරේ පාකිස්තානු සංචාරයට පසු මට තවත් කිහිපවතාවක් ජාතික කණ්ඩායමේ සංචිතය නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණා.

ඊට පස්සේ එංගලන්ත කණ්ඩායම මෙහෙ පැමිණි අවස්ථාවෙත්, 2000 වසර අවසානයේ දකුණු අප්‍රිකානු සංචාරයේදීත් මම ජාතික කණ්ඩායමේ සංචිතයේ සිටියා.”

නමුත් ඔහුට බලාපොරොත්තු වූ පරිදි ශ්‍රී ලංකා වරම ලැබුණේ නැත. ඉන්පසුව ඔහුගේ සේවය ශ්‍රී ලංකා A කණ්ඩායමට පමණක් සීමාවුවද අතර දේශීය තරග පිටියේ ඔහුගේ දස්කම් විශිෂ්ට මට්ටමක තිබුණි.

තවත් නොඇසු කතා:

2001/02 ප්‍රිමියර් ලීග් තරගවාරයේ අවසන් මහා තරගයේ කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් සිංහල සමාජ ක්‍රීඩා සමාජයට එරෙහිව අවසන් මහා තරඟයේ වීරයා සම්මානය දිනා ගත් පුෂ්පකුමාර 2007/08 වසරේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා විය.

“දේශීය පිටියේ දක්වපු දස්කම් නිසා 2009 වසරේ නැවත වතාවක් ඉන්දියානු සංචාරයකට මට කැඳවීමක් ලැබෙනවා. නාග්පූර් නුවර පැවති විස්සයි විස්ස තරඟය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ මගේ මගේ මුල්ම ජාත්‍යන්තර තරගය.

මේ තරගය අප ජයගත්තා. මට මේ තරගයේ දී විස්සයි විස්ස රටාවේ ප්‍රබල පිතිකරුවෙකු වන සුරේෂ් රයිනා දවා ගැනීමට හැකි වුනා.

බලධාරීන් මෙම තරගයට පෙරදා මාව දැනුවත් කළා මට ජාත්‍යන්තර වරම් හිමිවීමට නියමිත බව. රාත්‍රී පුරාවටම උද්‍යෝගය වැඩිකමට මට නින්ද ගියේ නම් නැහැ.”

එම ඉන්දියානු සංචාරයේ දිල්ලි නුවර පැවති පස්වැනි එක්දින තරගයේ දී එක්දින වරම් දිනා ගැනීමට පුෂ්පකුමාර සමත් විය.

“මගේ මුල්ම එක්දින තරගය මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. එදා අපි ක්‍රීඩා කරපු දිල්ලි තණතීරුව ක්‍රිකට් ක්‍රීඩාවට කිසිසේත්ම සුදුසු එකක් නෙවෙයි කියල තීරණය කෙරුණා. අවසානයේ පන්දුවාර 23ක් පමණ යැවීමෙන් පසු තරගය අත්හැර දමන්න සිදු වුනා.”

එසේ ජාත්‍යන්තර වරම් හිමි කරගත්ත ද දිගින් දිගටම වැඩි වශයෙන් අවස්ථාවන් හිමි නොවීම මත පුෂ්පකුමාරගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය එක්දින තරග තුනකටත්, එක් විස්සයි විස්ස තරගයකටත් සීමා විය.

ක්‍රිකට් දිවියේ අවසාන කාලය උදාවන විට පුහුණුකරුවෙකු ලෙස සිය ගමන නවමු ආකාරයකින් ආරම්භ කරන්නට පුෂ්පකුමාර තීරණය කර තිබුණි.

2013/14 වසරේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ පලිහ ශූරතාව කරා යන්නට පුහුණුකරුවෙකු ලෙස කෝල්ට්ස් කණ්ඩායමට මග පෙන්වූ පුෂ්පකුමාර 2014/15 වසරේ ප්‍රිමියර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කරා යෑමට මෙන්ම 2015/16, 2016/17 සීමිත පන්දුවාර තරගවාරයන්හි සිය කණ්ඩායමට අනුශූරතාව ලබා දෙන්නට පුහුණුකරුවෙකු ලෙස සිය කණ්ඩායමට දායකත්වය ලබා දුන්නේය.

2018 සහ 2019 වසරවල වයස 23න් පහළ තරගාවලියේ පිළිවෙළින් අනුශූරතාව සහ ශූරතාව කරා තම කණ්ඩායම ගෙන ගිය පුෂ්පකුමාරට ඉහත දක්ෂතාවයන් නිසාම පුහුණුකරුවෙකු ලෙසින් කැපී පෙනෙන නමක් දිනා ගැනීමට උපකාරී විය.

“2016 වසරේ වෙළඳසේවා B කොටසේ ශූරතාව දිනා ගත්තේ මා පුහුණු කළ Kanrich Finance කණ්ඩායමයි. 2018 වසරේ අප වෙළඳසේවා B කොටසේ අනුශූරයන් වුනා.

2018 Fairfirst Insurance කණ්ඩායම වෙළඳසේවා B කොටසේ අනුශූරතාව කරා ගෙන යන්නටත් හැකියාවක් ලැබුණා”

වෙළඳසේවා තරගවල දී ද පුෂ්පකුමාර පුහුණුකාරීත්වය දැරූ කණ්ඩායම් දිගින් දිගටම ජය ලබද්දී 2019 වසර අග භාගයේ කුවේට් දේශයේ ජාතික කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරීමට ඔහුට ආරාධනාවක් ලැබෙන්නේය.

“2019 වසර අග තමයි මට කුවේට් රටෙන් ආරාධනාවක් ලැබුණේ ඔවුන්ගේ රටේ ක්‍රිකට් කණ්ඩායම භාරගන්න. ඒක මට වගේම ශ්‍රී ලංකාවටත් විශාල ගෞරවයක් වුනා. නමුත් මා යටතේ සීග්‍රයෙන් දියුණු වෙමින් සිටි තරුණ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් ලංකාවේ සිටියා. ඒ නිසා ඔවුන් හැර මෙහි ඒම ලෙහෙසි කාරණයක් වුනේ නැහැ.

කුවේට් ජාතික කණ්ඩායම සමඟ

2020 වසරේ ආසියානු ක්‍රිකට් සංගමය මෙහෙය වූ තරගාවලියක අනුශූරතාව කරා කුවේට් කණ්ඩායම ගෙන යෑමට මට හැකියාව ලැබුණා. ඔවුන් සතුව අති දක්ෂ ක්‍රීඩකයින් රාශියක් සිටිනවා. නමුත් ශ්‍රී ලංකාවේ තරම් සහජ හැකියාවක් ඇති ක්‍රීඩකයින් මා මෙහි දැක නැහැ.

නමුත් මට හැමදාම හිතෙන දෙයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කිරීම තමයි උතුම්ම දේ. මා වගේම සෑහෙන ක්‍රීඩකයින් ප්‍රමාණයක් ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ අංශවල පුහුණුකරුවන් ලෙස නොයෙක් රටවල්වල සේවය කරනවා. ඔවුන් සතු ජාත්‍යන්තර අත්දැකීම් ශ්‍රී ලංකාවට ලැබෙන වැඩපිළිවෙළක් තිබෙනවා නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ඒක සෑහෙන වටිනවා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<