HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සූෆි උපමා කතාවක් - කුහුඹු පර්යේෂකයාගේ සොයා ගැනීම

එක් තැනැත්තෙකුට කුහුඹුවන් සමඟ කථා කරන හැටි ඉගෙන ගන්නට තම ජීවිත කාලය ම කැප කරන්නට සිදු වුණා. කුහුඹුවන් සමග කථා කිරීමේ හැකියාව ලබා ගත් පසු ඔහු කුහුඹුවකු සමග කථා කරන්නට තීරණය කළා. ඔහු ඒ සඳහා නොදැනුවත්වම වුවද තෝරා ගත් කුහුඹුවා කුහුඹු ලෝකයේ ඉතාමත් බුද්ධිමත් එමෙන්ම ඉතාමත් පැරණි කුහුඹුවෙක් වුණා. ඔහු අවුස්සන අටියෙන් පර්යේෂකයා මෙහෙම කිව්වා.
‘අපේ ජාතිය මනින්න බැරි තරමට ඔබේ ජාතියට වඩා උසස්. අපි ඔබ ගැනත් හදාරනවා. දැන් ඔබේ බසත් අපට පුලුවන්. ඒත් තවමත් අපි ගැන හදාරන්න ඔබේ ජාතිය පටන් අරගෙනවත් නැහැ.’

ඊට පිළිතුරු වශයෙන් කුහුඹුවා මෙසේ කීවා.

‘අනේ අහිංසක මනුස්සයෝ ඔබ දන්නේ ඊයේ ගැන විතරයි. ඒ නිසා ම ඔබට තේරුම් ගන්න පුලුවන් අද ගැන විතරයි. ඒ වගේ ම ඔබට සූදානම් වෙන්න පුලුවන් වෙලා තියන්නෙ හෙටට විතරයි.’

ඒ කතාව තේරුම් ගත නොහැකි වූ ඔහු ඒ අදහස අනුමත කරමින් කුහුඹුවාගෙන් එය තවත් පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියා. ඊට පිළිතුරු වශයෙන් කුහුඹුවා මෙහෙම කීවා.

‘අවුරුදු දශ ලක්ෂ ගානකට ඉස්සර, කුහුඹු අපි, සොයා ගත්තා මේ පෘථිවිය මත සිදුවන්නට යන දේ ගැන. අපි දැන ගත්තා මනුෂ්‍ය වර්ගයා වූ නුඹලා මිහිමත පහළ වී සියල්ල විනාශ කරන බව. ඉතා හොඳින් තොරතුරු දැනගත් බුද්ධිමත් සත්ව විශේෂයක් වූ අපි, ඒ සඳහා කළ හැකි හොඳම පිළියම යෙදුවා. අප ගැන ඇති සියලු දත්ත විනාශ කර දැමුවා. තේරුම් ගැනීමේ හැකියාව ඇති කුහුඹුවන් බිහිකිරීම නතර කළා. විශේෂ ජනපද ලෙස සංවිධානය වී ජීවත්වෙන්න අපේ අයට හුරු කළා. ඒවා කළේ ඔබෙන් අපේ පරපුර ආරක්ෂා කර ගැනීමටයි.

‘දැන් යළිත් අපට ඉඳහිට පසුබෑමක් ඇති වෙනවා. අපේ ජීවන ක්‍රමයේ වැදගැම්මකට නැති බව හා එහි වෙනස් කළ නොහැකි බව දකින කුහුඹුවකු දෙන්නකු ඉඳහිට බිහි වෙනවා. නමුත් ඒ ගැන නොසිතන අහිංසක කුහුඹුවන් ලක්ෂ කෝටි ගණනක් ඉතා සතුටින් ජීවත් වෙනවා. අපේ කාලය යළිත් එළඹෙන තුරු ඔවුන් ඒ විදියට ජීවත්වෙනවාට සැකයක් නැහැ.

‘ඒ තමයි කුහුඹු අපේ විසඳුම. අනික් අතට මිනිසුන් වූ නුඹලාට මොකද වෙන්න යන්නේ කියා හිතා ගන්නවත් පුලුවන්කමක් නුඹලාට නැහැ. අනාගතයේ දී නුඹලාට වෙන්න යන දේ අවබෝධ කර ගන්න පුලුවන් තත්වයටවත් තවමත් නුඹලා පත්වෙලා නැහැ. ඒ නිසා ඊට පිළියම් වශයෙන් මොකුත් කරන්නට හැකියාවකුත් නුඹලාට නැහැ.’

- පර්සි ජයමාන්න ‘නස්රුදින් සහ නෑදෑයෝ’ කෘතියෙනි.

Post a Comment

0 Comments