Friday, September 4, 2020

මට ගන්න ඕන ලෝකේ හොදම ෆෝන් එක



මේ පොස්ට් එකත් කලින් පොස්ට් එකට ලගින් යනවා. ඒ විතරක් නෙවෙයි ගොඩක් අයට රිදෙයි.

 මිනිස්සු දුරකතන ගන්න මහා විශාල මුදලක් ගෙවනවා කියල ආයිත් කියන්න දෙයක් නැහැනේ? මම දැකපු දෙයක් තමයි මිනිස්සු  ලක්ෂ ගණන් දීලා ෆෝන් ගන්නවා, කිසිම ලෝබ කමක් නැතිව. හැබැයි අතේ සතේ නැති වෙනකොට සල්ලි නෑ කියා කියා ආණ්ඩුවටයි රස්සවටයි බැන බැන ඉන්නවා. 

මේ මිනිස්සු කොච්චර මෝඩද කියල මට තේරුම් ගන්නත් බෑ. මේ මෝඩකම් දකිනකොට දරා ගන්නත් බෑ. මිනිස්සු අදුරගන්නේ නෑ තමන්ගේ අවශ්‍යතාව මොකක්ද කියල. ඒ අවශ්‍යතාවට හරියන වියදම් කරන්න පුළුවන් සීමාව ගැන හිතන්නෙත් නෑ. මගේ වටේ මම දකින ගොඩක් අය ලග තියෙන දුරකතන ලක්ෂෙ පන්නපු ඒවා. හැබැයි ඒ ලක්ෂ ගානක් දීල ගන්න ෆෝන් එකෙන් කරන්නේ facebook  යන එක විතරයි. facebook යන්න ඕන නම් රුපියල් පහළොස්දාහේ ෆෝන් එකක් ගත්තත් ඇතිනේ. 

එතකොට ඇයි එච්චර ගානක් දීල ෆෝන් ගන්නේ ?

තමන්ගේ තත්වේ පෙන්නන්න, 

අනිත් අයට වඩා උඩින් යන්න, 

අනිත් මිනිස්සුත් ගන්න නිසා, 

හැබැයි මේ ගන්න. හොදම ගොන් කතාව තමයි, හිත හදාගන්න කියනවා " මේක තමයි හොදම ෆෝන් එක කියල" හොදම කියන දේ සාපේක්ෂයි. කෙනෙක් කැමරාවට හොදයි කියයි තව කෙනෙක් display colours වලට හොදයි කියයි. තව කෙනෙක් වේගෙන් වැඩ කරන්න පුළුවන් එකට හොදයි කියයි. 

රුපියල් විසි තිස්දාහේ පඩි ගන්න එවුනුත් බලන්නේ ලක්ෂෙ පන්නපු අයි ෆෝන් ගන්න. මට නම් තේරෙන්නේ නෑ. සල්ලි ඒ ගානට හම්බ කරනවා නම් ඉතිරි කරලත් තියෙනවා නම් ගත්තට වරදක් නෑ. එත් ගන්නේ කොහොමද ලෝන් ගහල. 

හරි එහෙම ගත්ත කියමු. දැන් බයයි කැඩිලා යයි කියල. දානවා scrren guard එකක් ඊට පස්සේ වටේ ප්ලාස්ටික් කවරයක්. ඔන්න ඔය දෙක දැම්මම අර ලක්ෂ එකහමාරේ ෆෝන් එකේ පෙනුමයි රුපියල් පහළොස්දාහේ පෙනුමයි දෙකම එකයි. බොහොම අමාරුවෙන් ලංවෙලා බැලුවොත් ඔන්න හොයාගන්න පුළුවන්.

මේ ෆෝන් ලක්ෂ ගණන් මිල ඉහල යන්න හේතු වලින් එකක් තමයි සයිස් එක පොඩියට හදන්න. අපේ ගොන් වහන්සේලා සයිස් එක පොඩියට හදපු නිසා ඒකට වැඩිපුර ගානක් ගෙවල ආයිත් පත සයිස්  කවරයක් එහෙම දාල ලොකු කර ගන්නවා. 

මම දන්නා සමහරු ඉන්නවා හැම අවුරුද්දෙම එන අලුත් model එක ගන්න උණ තියන ගොන්නු. වාණිජ ලෝකේ අතරමන් වෙලා මෝඩ වෙලා කියන්නේ ආයිත් ගොඩ ගන්නම බෑ. කිව්වට තේරෙන්නෙත් නෑ. එච්චරටම ඔලුවේ මැටි.

දැන් ඉතින් ඕව ගත්ත අයට මේක කියවල හිත රිද්දගන්න එපා. mobile software engineer කෙනෙක් විදියට අවුරුදු පහකට එහා අත්දැකීමෙන් මම කියන්නේ. කොච්චර ගාන වැඩි උනත් ෆොන් එකකට කරන්න පුළුවන් දේ සීමාවක් පන්නල යන්න බෑ. සාමාන්‍යයෙන් රූ 50000 ට වගේ තියෙන ෆෝන් එකකත් තියෙන්නේ ලක්ෂ ගානක ෆෝන් එකේ තියෙන ඒ දේම තමයි. ලොකු ඒවාට වෙනම OS එන්නේ නෑ. එක්කෝ android නැත්නම් apple.

කැමරා පහක විතර ෆෝන් එකක් අරන් ගන්න ෆොටෝ එක මෙගාබයිට් 10 ක් විතර. ඒක මොකද කරන්නේ බැනර් හදල එල්ලනවද නෑ නේ. දානවා facebook. එතකොට මොකද වෙන්නේ facebook එකෙන් අර තඩි ෆොටෝ එක කොලිටි අඩු කරනවා කිලෝ බයිට් 400 ට වගේ. ඉතින් ලක්ෂ ගණන් ගෙවල වැඩක් තියෙනවද?

දැන් අලුතෙන් මනස්ගාතයක් තියෙනවා ෆෝන් එක විතරක් මදි එකට ඔරලෝසුවකුත් ගන්න ඕන කීයක් හරි එකතු කරලා. ඇයි වයර්ලස් ඉයර් බඩ් දෙකකුත් ඕන.  ඒ දෙකේ එකතුව තව ලක්ෂයක් විතර. අමතක උනා වයර්ලස් චාජර් එකත් තියෙනවා. 

හැම අවුරුද්දෙම ලක්ෂ ගානක් දීල ෆෝන් අරන් උදේ හවස හිගන්නෙක් වගේ බස් එකේ තද වෙලා යන්නේ නැතිව සල්ලි කියක් හරි එකතු කරලා වහනයක් බැරි නම් බයික් එකක් ගනිල්ලා. බඩගින්නේ ඉන්නේ නැතිව පොඩ්ඩක් හොදට කාල බිලා හිටපල්ලා. මගුලට ඉතිරි කරපල්ලා. පොඩි එකෙක් ඉන්නවා නම් ඌට ඉතුරු කරපල්ලා. ක්‍රෙඩිට් කාඩ් වලින් ෆෝන් අරන් හැම බැන්කුවටම ණය නොවී ඉඳපල්ලා. 

ලෝකේ හොදම ෆෝන් එක නෙවෙයි, එදිනෙද වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකක් ගනින්. හොරකම් කරත්, බස් එකේ මගදී නැති උනත් අපෝ ඕක මොකක්ද කියල අලුත් එකක් ගන්න හිත හදාගන්න පුළුවන්  විදියේ එකක් ගන්න.



1 comment:

Anonymous said...

Awesome post!

"මගුලට ඉතිරි කරපල්ලා." - Never encourage this. :D It is same as buying useless things.