Main Logo

Tuesday 1 September 2020

සිංහරාජ, ආනවිලුන්දාව හා විල්පත්තුව

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



සිංහරාජ, ආනවිලුන්දාව හා විල්පත්තුව 


ආනවිලුන්දාව ගැන ජනාධිපති සනත් නිශාන්ත ඇමතිවරයා අමතල. ඇමති කියනවලු ඒක තමන්ගෙ ඡන්දදායකයකුගෙ වැඩක් ඒකෙන් පරිසරයට හානියක් වෙන්නෙ නැහැ කියල. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ පරිසර කතාව අද විහිළුවක් වෙලා. යම් ව්‍යාපෘතියකින් පරිසරයට හානියක් වෙනව ද නැත් ද කියල තීරණය කරන්නෙ කොහොම ද? තීරණය කරන්නෙ කවුද? ජනාධිපති යනව ද හැම තැනම තීරණය කරන්න අදාළ ව්‍යාපෘතියෙන් පරිසරයට හානියක් වෙනවා ද කියල දැන ගන්න. එහෙම නැත්නම් ජනාධිපති පරිසර කමිටුව කියල ඊනියා විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරල තීරණ ගැනීමේ බලය ඒ කමිටුවට පවරනවා ද?

ඒ ඔක්කොට ම ඉස්සෙල්ල මට දැන ගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඔය ආනවිලුන්දාවෙ ඉඩම් කාගෙ ද? ඇමතිගෙ ද නැත්නම් ඔහුගෙ ඡන්දදායකයාගේ ද රජයේ ද? අපි පරිසර ප්‍රශ්නයට ඉස්සෙල්ල ඒක නිරාකරණය කර ගනිමු. ඉඩම් ඡන්දදායකයාගෙ නම් පරිසර කතාවට එමු. ඒත් ඒක එතරම් වැදගත් දෙයක් හැටියට මා දකින්නෙ නැහැ. සිංහරාජෙ මැදින් හදනව කියන පාර සම්බන්ධයෙන් අයිතියෙ ප්‍රශ්නය පැන නගින්නෙ නැහැ. කැලෙත් රජයෙ පාරත් රජයෙ.

මේ ආණ්ඩුව කරන ඕන ම දෙයක් හරිය කියන්න තර්ක ගේන්න මට අවශ්‍ය නැහැ. මා දැක්ක ආණ්ඩුවට පක්‍ෂපාති ඇතැම් වියතුන් සිංහරාජ පාර ගැන ප්‍රශ්නයක් නැති විධියට කතා කරනවා. පාර කැලේ මැදින් යන්නෙ මෙච්චර දුරක් පමණක් ය ආදී කතා කියනව. අපට ඔක්සිජන් අවශ්‍ය නැහැ කියන කතාත් ඇතැම් මැති ඇමතිවරුන් කියා තිබුණා. පරිසරය රකිනව කියන එකවත් රකින්නෙ මොනවට ද කියන එකවත් ගැන එතරම් කල්පනා කරපු බවක් පේන්නෙ නැහැ. 

පරිසර දූෂණය ගැන ට්‍රම්ප් නම් සතපහකටවත් මායිම් කරන්නෙ නැහැ. ඔහු ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙනව කියන එක ගැන සැලිකිලිමත් වෙන්නෙ නැහැ. ඔහු කොවිඩ් 19 නිසා මුව ආවරණ පැළැන්දෙත් නැහැ. පෞද්ගලිකත්වය ආර්ථික වර්ධනය ඔහුට වැදගත් සංකල්ප. මා හිතනවා ඔහු නූතනත්වයේ පිළිබිඹුවක් කියා. එහෙත් නූතනත්වයේ ඇතැමුන් ඔහුට විරුද්ධයි. ට්‍රම්ප් වැන්නන් ගතානුගතිකවාදීන් (කොන්සර්වෙටිව්) කියලයි කියන්නෙ. ඒ අතර ඩෙමොක්‍රටික් වැනි පක්‍ෂවල අය ප්‍රගතිශීලි ලෙස හැඳින්වෙනවා. ඔය ගතානුගතිකත්වය ප්‍රගතිශීලිත්වය ආදියත් සාපේක්‍ෂයි. පෞද්ගලිකත්වය ආර්ථික වර්ධනය ආදිය ගැන කතා කරන සමාජයක ට්‍රම්ප් ප්‍රගතිශීලියි. පහළොස්වැනි සියවසෙන් පමණ ඇරඹි නූතනත්වයක ප්‍රගතියක් තමයි ට්‍රම්ප්ලා බලාපොරොත්තුවෙන්නෙ.

නූතනත්වයට විරුද්ධවයි පරිසරය රැකගැනීම පරිසරවේදය වැනි සංකල්ප ඇති වෙන්නෙ. ඒත් අද ඒ සංකල්පත් නූතනත්වයේ කොටසක තියෙනවා. ඒවා එක්තරා විධියකට නූතනත්ව සුසමාදර්ශයෙහි ම ක්‍රියාත්මක වෙනවා. මට නම් එහි විසංවාදයක් නැහැ. විසංවාද තියෙන්නෙ රේඛීය චින්තනයෙ ද්විකෝටික න්‍යායෙ. පරිසරය රැකීම නූතනත්වයට එකඟ නැහැ. එ වගේ ම එය නූතනත්වයේ අංගයක් වෙලා.  ලෝකයේ (අප තනාගත් ලෝකවල) වැඩ කරන්නෙ චතුස්කෝටිකය මිසක් ද්විකෝටිකය නො වෙයි. 

කාලයක් තිස්සෙ බටහිර තිරසාර සංවර්ධනයක් (sustainable development) ගැන කතා කරනවා. මා නම් මේ සංකල්පවලට කැමති නැහැ. ඒත් එක්සත් ජාතීන්ගෙ සංවිධානය එය පිළිගන්නවා. 2015 දි එක්සත් ජාතීන්ගෙ සංවිධානය තිරසාර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය පිළිගත්තා. එහි අරමුණු 17ක් තියෙනවා. මා හිතන්නෙ ලංකාවත් එයට එකඟ වුණා කියලා. තිරසාර සංවර්ධනය කියන්නෙ මිනිසුන්ගෙ සංවර්ධනය හා ආර්ථිකය සහ සමාජය රඳා පවතින ස්වාභාවික සම්පත් හා පරිසර පද්ධතිය එකට පවත්වාගෙන යෑම. ඒත් ආනවිලුන්දාවටයි සිංහරාජෙටයි ඒ කතාව යොදා ගන්නෙ කොහොම ද? 

මා ජාතිකවාදීන් වෙනුවෙන් කතා කරන්නෙ නැහැ. ජාතිකවාදීන්ට කියල සංවර්ධනය ගැන පොදු මතයක් නැහැ. ඒක පුදුමයට හරි හාස්‍යයට හරි කාරණයක් නො වෙයි. පඬි නැට්ටන් සියලු දෙනා ම සංවර්ධනය ගැන එකඟ වන මතයක් තියෙනවා ද? අර ජනතා ජනබලවේගයෙ බුද්ධිමතුන් එකඟ වන මතයක් තියෙනව නම් කවුරු හරි ප්‍රකාශයෙක් හරි ප්‍රකාශිකාවක් හරි ඒ මොකක් ද කියල කියනවා ද? මා කැමතියි කුමාර් ඩේවිඩ්, නදීක ගුරුගේ, හරිනි අමරසූරිය වැන්නන් ඒ ගැන කියන්නෙ මොකක් ද කියල දැන ගන්න. සංවර්ධනය කියන්නෙ මොකක් ද කියල කාට හරි කියන්න පුළුවන් ද? 

පරිසරවේදය කියන්නෙ බටහිර විද්‍යාව ඇසුරෙන් ගොඩනගා ගත්ත තවත් ඊනියා වේදයක්. මා පරිසරවේදයේ සමහර කතා සමග එකඟ වෙනවා. තවත් සමහර කතා සමග එකඟ වෙන්නෙ නැහැ. අපට තිරසාර සංවර්ධනය අවශ්‍ය සංකල්පයක් නොවෙයි. අප ජීවත්වුණේ පරිසරය සමග සහජීවනයෙන්. මිනිසා සතා සිවුපාවා සර්පයා ගහ කොළ ආදී සියල්ල එක පද්ධතියක්. අපේ සංකල්පය සහජීවනය. මගෙන් අහන්න එපා වලගම්බා කාලෙ ඒ සංකල්පය තිබුණ ද කියල. සංකල්පයක් නැති වුණත් අප වැඩ කරල තියෙන්නෙ එහෙමයි. මේ මහපොළොව ඒ සියල්ලන්ගෙම වාස භූමිය. අප ඉර හඳ පවතිනා තෙක් ගැන කතා කළා. 

ජේම්ස් ලව්ලොක් නම් අයෙක් (ඔහු මුලින් වෛද්‍යවරයෙක්) හැත්තෑවේ දශකයේ ගයියා යන සංකල්පය ඉදිරිපත් කළා. ගයියා නම් කරල තියෙන්නෙ ග්‍රීක දෙවඟනකගෙ නමින්. ලව්ලොක්ගේ මතය වුණෙ ජීව අජිව පද්ධතිය ම ජීව පද්ධතියක් ලෙස සැලකිය යුතු බව. ජීව පද්ධතියක් මෙන් එයට යම් දුරකට තමන් ම සකස් කර ගැනීමේ ශක්‍යතාවක් තියෙන බව ඔහු කිවුවා. මේ කරුණු ගැන විදුසර කියවපු අය නම් දන්නවා ඇති. ජීව පද්ධතියකට සකස් වීමේ හැකියාව තිබෙන්නේ එක්තරා සීමාවකට පමණයි. අප ඒ සීමාව පසුකරලා ද? 

බටහිර පරිසරවේදීන් අනෙක් බටහිර විද්‍යාඥයන් මෙන් ම මානව කේන්ද්‍රීයයි. ඔවුන් පරිසරය ගැන උනන්දුවන්නේ එය මිනිසුන්ට බලපාන නිසා. එහෙත් අපේ සංකල්ප සියළු සතා සර්පයා ගහ කොළ වෙනුවෙන්. දැන් පඬියකු අහන්න බැරි නැහැ ඔවුන්ගේ වචනවලින් දෙමළු මරණ එක හරි ද කියල. අපේ සහජීවන සංකල්පය මානව කේන්ද්‍රීය නො වෙයි. අපට සංඝයා වහන්සේට මෙන් ජීවත් වන්න බැහැ. එහෙත් බුදුදහාමුදුරුවන් සංඝයා වහන්සේට ගහ කොළ සම්බන්ධයෙන් දී ඇති අවවාද වැදගත් වෙනවා. 

මේ කාරණා සැලකිල්ලට ගෙන කාලයකට පෙර ගතික සමතුලිතාව කියන සංකල්පය සංස්කරණය කර ගත්තා. එය සිංහරාජය හා ලංකාගම නිසා ඇති කරගත් සංකල්පයක් නොවෙයි. විදුසර පාඨකයන් නම් ඒ සංකල්පය අහල ඇති. සමස්ත පද්ධතිය වෙනස් වෙනවා. වෙනස් කරනවා. එය ගතිකයි. එහෙත් ඒ ගතිකයේ සමතුලිතතාවක් තියෙන්න ඕන. මිනිසුන්ගේ අවශ්‍යතාවන් ද වෙනස් වෙනවා. දැන් මට මේ පරිගණකය අවශ්‍යයි. එහෙත් පරිගණක භාවිතය හැටේ දශකයේ ඇරඹුණු එකක්. පනස්ගණන්වල කාටවත් පරිගණක අවශ්‍ය වුණා කියල මා හිතන්නෙ නැහැ. 

සිංහරාජය බලන්න ජනාධිපති යන්න ඕන නැහැ. දැන් ආනවිලුන්දාවත් බලන්න යනවා ද? සිංහරාජය කොපමණ දුරකට රකින්න ඕන ද? පොඩ්ඩකට පාරක් කපා ගත්ත ම මොක ද වෙන්නෙ කියල අහන්න පුළුවන්. සිංහරාජය වැසි වනන්තරයක් කියල කියනවා. සිංහරාජය තියෙන්න ඕන මිනිසුන් සඳහා නම් නො වෙයි. සිංහරාජය තියෙනව නම් තියෙන්න ඕන පද්ධතියෙ කොටසක් ලෙස. පද්ධතිය වැනසෙන විට මිනිසුනුත් වැනසෙනවා. ඒ මිනිසුනුත් පද්ධතියෙ කොටසක් නිසා. 

ලංකාගම මිනිසුන්ට පාරක් අවශ්‍යයි. සිංහරාජය අවශ්‍ය නම් ලංකාගම වෙනත් තැනක තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙනින් පැත්තකින් පාරක් කපල පාසල් ආදියට කිට්ටු කරන්න ඕන.  අද අලි මිනිස් ගැටුම ගැන කියනවා. අලියි මිනිසුනුයි එකට ජීවත්වන්න නම් අලි කොහෙද ඉන්න ඕන මිනිසුන් කොහෙද ජීවත් වෙන්න ඕන කියල හිතන්න ඕන. අලි යන පාරවල ගෙවල් හදාගෙන අලින්ගෙන් කරදරයි කියල කෑගහන එක නුවණට හුරු වැඩක් නො වෙයි. එහෙමත් නැත්නම් මිනිසුන් ඉන්න පළාත්වලට අලි ගෙනල්ල දාන එකත් හරි නැහැ. අර කතාවක් තියෙන්නෙ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියල කෑගහනව කියල. සමතුලිතතාව කොහෙ ද? 

සිංහරාජය හා විල්පත්තුව කියන්නෙ එක ම නො වෙයි. මේ හැම එකක් ම පරිසරයට ලඝු කරන්න බැහැ. බද්‍යුද්දීන්ට මුස්ලිමුන් පදිංචි කරවන්න ජාතිවාදී ව විල්පත්තුව කැපීම හා ලංකාගම වැසියන්ට පාරක් කැපීමට ආණ්ඩු පාක්‍ෂික ඇතැම් හිතවතුන් කියන සිංහරාජයෙන් අර චුට්ට ගැනීම එකක් නොව දෙකක්. සුද්දන් එන්න පෙර උඩරට කෑලෑ අප ආරක්‍ෂා කර ගත්තා. එහි එතරම් පිරිසක් පදිංචි වුණේ නැහැ. එහෙත් දැන් තේ වගා කරලා. ඒ පළත් නාය යනවා. මිනිසුන් පදිංචි වෙලා. නාය යන කොට ප්‍රශ්න. පැරණි සිංහලයන්ට යම් සැලැස්මක් තිබුණා. දැන් සැලැස්මක් නැහැ.  

වර්තමානයෙ පරිසරය රකිනව කියන එක හරියන වැඩක් නොවෙයි. බටහිර ආකල්ප සහිත ව කිසි දා පරිසරය රකින්න බැහැ. ඒ බව මා පරිසරය හා  බටහිර ආකල්ප පොතේත් කියල තියනවා.