Skip to main content

සය වන වියමන | කාල තරණය

 



මට ඕනේ අතීතයට යන්න. මගේම කියලා පුංචි කාලයාත්‍රවක නැගලා කාලය සහ අවකාශය හරහා අතීතයට යන්න. ලොකු කාලයක් නෙමේ. අවුරුදු 20ක් විතර අතීතයට.... වෙන කාගෙවත් නෙමේ මගේම අතීතයට යන්න.

ඉස්සර මායි මල්ලිලා දෙන්නයි නිදා ගත්තේ එකම කාමරේ.... මම එක ඇඳක. මල්ලිලා අනික් ඇඳේ. නිදාගන්න ගියේ එක වගේ පිජාමා තුනක් ඇඳන් එකම වෙලාවට. කෑවේ එකම වෙලාවට පාඩම් කලේ එක ළඟ තිබුණු මේස තුනක. ඉස්කෝලේ ගියේ එකම ඉස්කූල් වෑන් එකේ එකට. ආවේ එකට. හැමදේම කලේ එකට. සෙල්ලම් කලේ එකට. අම්මගෙන් බැනුම් ඇහුවේ එකට.හැමදේම එකට.

 පොඩි කාලේ මට විතරයි බයිසිකලයක් තිබුනේ. ඕකෙන් ඉතින් කොච්චරවත් බිම වැටෙනවා. බිම වැටිලා මගේ දනිස් දෙකම ලෙලි ගිහිල්ලා තිබුණේ. ඒ තුවාල අවුරුදු දෙකක් විතරම හොඳ වෙන්නේ නැතුව තිබුනා. ඒකට බෙහෙත් දාන්න ගියාම ඩොකා අහනවනේ කොහොමද තුවාල වුණේ කියලා. ඉතින් අම්මා කියනවා බයිසිකලෙන් වැටිලා කියලා. ඊළඟට ඇතුලට එන්නේ මල්ලිලා දෙන්නා උන් දෙන්නගේ කකුල් වලත් ඊටත් හපන් තුවාල. ඩොකා ආයෙත් අහනවා

 "මේ මොනව කරගෙනද? බයිසිකලෙන් වැටිලද?"

 "නෑ ඩොක්ට බයිසිකලය පස්සේ දුවලා " අම්මා උත්තර දෙනවා.

මල්ලිලාට ඒ වෙද්දි බයිසිකල් පදින්න බැරි වුණත් මං පදිනකොට මගේ පස්සෙන් දුවගෙන එනවා.උන්ට ඒක විනෝදයක්. ඒ එද්දි වැටිලා තමයි තුවාල කකුල් දෙකේ.

පස්සේ ඒ දෙන්නටත් බයිසිකල් අරන් දුන්නට පස්සේ අපි තුන්දෙනාම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා කළුවර වෙනකම්ම, අම්මා බනිනකම්ම  බයිසිකල් පදිනවා. අපි ඒ කාලේ හරිම සුළු දේවල් වලින් තමයි සතුටට පත් වුණේ.

ඒකට දැන්....

සමහර වෙලාවට අපි තුන් දෙනා තුන් තැනක. ගෙදර හිටියත් කාමර තුනක. එකට සෙල්ලම් කරපු කාලයක් මතක නෑ. තාක්ෂණයයි කාලයයි සල්ලියි අපිව ගොඩක් ඈත් කරලා. ඒ සුන්දර කාලය අපේ ජීවිතයට ආයේ කවදාවත් එන්නේ නෑ. වෙනස් නොවී තියෙන්නේ අම්මා පොඩ්ඩ ඇත්තන් බනින එක විතරයි. ඒවත් තව කොච්චර කාලයකටද? වැඩිම උනොත් තව අවුරුදු දහයක් විස්සක් තියෙයි.

 දවසක් තියෙන්න ඇති අපි අන්තිමටම එකට හිටපු.අන්තිමට එකට කාපු. අන්තිමට එකට නිදාගත්ත.  අන්තිමටම එකට සෙල්ලම් කරපු......

මට ආයෙත් ඒ දවසට යන්න පුලුවන් නම්. මට, මගේ අතීතයට කියන්න තිබුණා " උඹලා අන්තිමට එකට සෙල්ලම් කරන දවස තමයි අද. ආයෙත් මැරෙනකම්ම මේ වගේ දවසක් එන්නේ නෑ" කියලා.

එහෙනම් අපිට තව වැඩිපුර පැයක්වත් සෙල්ලම් කරන්න තිබුණා.

____________________________________________________________________________________________

ඉස්සර අපේ ගම අද වගේ නෙමේ. ඇත්තටම ගමක්. උළු හෙවිල්ලපු මහ ගෙදර වටේ ලොකු වත්තක් තිබුණා. ඉස්සරහ පොඩියට තාර දාපු පාරක්. අවුරුදු දවසට පස්සේ දවසේ අප්පච්චිගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම මහ ගෙදර එනවා. ගෙදර පුරාම කැවුම් කොකිස් සුවඳයි. කොහාත් කොහේදෝ ඉඳලා කෑ ගහනවා. ඉස්සරහ පාරේ සැරින් සැරේ බය්සිකල් රේස් යනවා.රේස් එකක් යන යන ගානේම අපේ වැඩේ පාර ගාවට දුවන එක. අපි ඒ කියන්නේ මායි මල්ලිලා දෙන්නයි තව අප්පච්චිගෙ සහෝදාර සහෝදරියන්ගේ ලමයි ටිකයි දවසම කරන්නේ සෙල්ලම් කරන එක. හැමෝම උදේ පාන්දරම මහ ගෙදරට එනවා. ලොකු ඈයෝ ඉවුම් පිහුම් වැඩ එහෙම නැත්තන් සතුටු සාමිචියේ යෙදෙනකොට අපි දවසම ක්‍රිකට් ගහනවා. එහෙම නැත්තන් අල්ලන සෙල්ලම්. මහ ගෙදරට උඩින් තියෙන කැලෑවේ හැංගිමුත්තන් කරන එක තමයි ලොකුම විනෝදේ.

හවස් වෙනකොට දාඩිය නාලා ඉතින්. ඊට පස්සේ කරන්නේ ලිඳෙන් නාලා රෑට කාලා නිදාගෙන පහුවදා උදේ අපේ ගෙදරට එනවා.

එක දවසක් නැන්දලාගේ ගෙදර ගිහිල්ලා මල්ලිලයි අක්කයි එක්ක වෙලේ මඩෙ බැහැගෙන සෑහැන්න දුර ගිහිල්ලා තිබුණා. හවස් වෙනකන් අපි නැති නිසා මාමා ඇවිත් අපිව එක්කන් යනකන් අපි මඩේ.

ඒකට දැන්...

දැන් ඉස්සර තිබුණු ගම නෑ. ඒක නාගරිකරණය වෙලා. මහ ගෙදර ඉස්සරහ තිබුණ පාර අධිවේගි පිවිසුම් මාර්ගයක් වෙලා. පාර දෙපැත්තේ අඩියෙන් අඩියට කොත්තු කඩ. පාර හදන්න ඉඩමෙන් ලොකු කොටසක් ගිහින්. ගෙදරත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ගෙදර වටේම තිබුණ ඉඩම කෑලි කරලා විකුණලා. ලිඳත් දැන් නෑ. සෙල්ලම් කරන්න තියා හැරෙන්නවත් ඉඩ නෑ. අපිත් අවුරුද්දට යන්නෙත් කලබලේ. එක එක අය ඒ ඒ අයට පහසු දවස් වලට තමා ගමේ යන්නේ. එකට සෙල්ලම් කරපු කාලයක් මතක නෑ.

එක දවසක් තියෙන්න ඇති අපි හැමෝම අන්තිම පාරට කලින් තිබුණු ලස්සන ගමේ එකට එකතු වුණු. එකට සතුටින් නිදහසේ කාලා බීලා. දවසම දාඩිය පෙරාගෙන සෙල්ලම් කරපු... ආයෙත් ඒ දවස කවදාවත් එන්නේ නැති වෙයි.

මට පුළුවන් නම් ආයෙත් ඒ දවසට යන්න. ගිහින් කියන්න උ‍ඹලා සතුටින් මේ ලස්සන ගමේ සෙල්ලම් කරන අන්තිම දවස අදයි කියලා. එහෙනම් අපිට තව ටික වෙලාවක් සෙල්ලම් කරන්න තිබුණා. තව දවසක් දෙකක් ඒ ගමේ නැවතිලා එන්න තිබුණා.

___________________________________________________________________________________________

ඉස්සර අපි දෙන්නා යාලු වුන මුල් දවස් වල අපි හරි සතුටින් හිටියා. අනාගතය ගැන ලොකු බරක් නෑ. අපි අපේම සිහින ලෝකවල හිටියා. පැය ගනන් එක ළඟ වාඩිවෙලා කතා කලා. පැය ගනන් කෝල් කලා. රෑ එලි වෙනකන් වීඩියෝ චැට් කලා. බස් එකේ එක එක තැන් වල ගියා. අත් අල්ලගෙන හැතැප්ම ගනන් ඇවිද්දා. මාසෙන් මාසේ ඇනිවසරි සැමරුවා. අපි හරි සැහැල්ලුවෙන් හිටියේ.

ඒකට දැන්...

අපි දෙන්නම බිසී. හරියට කතාකරන්න වෙලාවක් නෑ. හම්බු වෙන්නෙත් මාස දෙකකට සැරයක් විතර. ඒ හම්බ උනත් ලොකුවට කතාකරන්න වෙලාවක් නෑ. යන්නේ එන්නේ වාහනේ. නිදහසේ කතාකරන්න විදිහක් නෑ. පොඩ්ඩ ඇත්තන් තරහ යනවා දෙන්නටම. ජීවන බර සහ වගකීම් ටික ටික අපි දෙන්නව හිර කරනවා.

දවසක් තියෙන්න ඇති. අපි දෙන්නා අන්තිමට සතුටින් එකට තුරුළුවෙලා නිදහසේ ආදරයෙන් කතා කර කර ඉඳපු. මට පුලුවන් නම් ඒ දවසට කාලයාත්‍රා කරන්න. මට කියන්න තිබුණා අද තමයි උඹලා සතුටින් නිදහසේ ඉන්න අන්තිම දවස කියලා. එහෙමනම් අපිට තව එක පැයක් වැඩිපුර කතා කර කර ඉන්න තිබුණා.

___________________________________________________________________________________________

අපි අද ගතකරන දවස ආයේ කවදාවත් අයේ ගන්න බෑ. ඒක නිසා ජීවත්වන අද දවස සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙමු.

"Give Me Some Sunshine, Give Me Some Rain

Give Me Another Chance I Wanna Grow Up Once Again"



Comments

Popular posts from this blog

සිව් වන වියමන| කාන්තාරයේ වෘකයා - එක

පුර්විකාව පොත් කියවිල්ලයි.තරු බැලිල්ලයි හැරුනම මම ආසම විනෝදාංශය තමයි ෆිලිම් බැලිල්ල.ෆිල්ම් එකක් මම බලන්න ගන්නේ හොඳට හිතල බලල. internet එකේ review ටිකක් කියවලා. imdb rank එක එහෙම බලලා, synopsis එක කියවලා එහෙම තමයි මම ෆිල්ම් එකක් බලන්නේ. මොකද වැඩක් නැති ෆිල්ම් එකකට යොදවන කාලය අපරදේනේ. ඊට වඩා හොඳයි ඒ වෙලාවේ පොතක් කියවගන්න එක. ඉතින් එහෙම හොඳ ෆිල්ම් එකක් හොයන කොට තමා මට හම්බ උනේ " Valkyrie" කියන ෆිල්ම් එක. මම ආසම නළුවන්ගෙන් එක්කෙනෙක් වන ටොම් කෲස් තම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. මේ ෆිල්ම් එක කොච්චර ලස්සනද කියනවනම් මම ෆිල්ම් එක විසි තිස් වතාවක්වත් බලන්න ඇති. එතනින් නවතින්නේ නැතුව මට හිතුණා ෆිල්ම් එක සිංහලින් අයෙමත් ලියන්න.ලිව්වට කියවන්න කෙනෙක් නෑනේ. ඒක හින්දා මම හිතුවා අද ඉඳන් කොටස් වශයෙන් ඒක මේ බ්ලොග් එකේ දාන්න. ඇත්තටම මේක කොහෙවත් දාන හිතාගෙන ලියපු එකක් නෙමේ. මගේ තියෙන කැහිල්ලට ලියපු එකක්.ලියපු එකේ අපරාදෙනේ මම විතරක් කියවන්නේ. ඔගෝලොත් අද ඉඳන් මාත් එක්ක කියවන්නකෝ. ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2008 නිකුත් වුණේ.imdb අගය 7.1 ක්.ටොම් කෲස් මෙහි ප්‍රධාන චරිතය වන කර්නල් වොන් ස්ටෆන්බර්ග්ට රඟපාන

සත් වන වියමන | මකරට ගිය රට

ඕන්න එකෝමත් එක කාලයක එක්තරා දේශයක වුන කතාවක් තමා මේ කියන්න යන්නේ. මේ එක්තරා දේශය ඒ කාලෙ ලෝකේ සමෘදිමත්ම රාජධානියක් විදිහට තමයි හැමෝගේම පිළිගැනීම. ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමියක් විදියටයි ලෝකයේ හතර දිග්බාගයේම මේ එක්තරා දේශය ප්‍රසිද්ධ. එක්තරා දේශයේ වැසියන්ට කිසිම දෙයකින් අඩුපාඩුවක් තිබුණේ නෑ. රට වටේම මහ මුහුද. අවුරුද්ද පුරාම සෞම්‍ය හිරු කිරණ. කලට වැසි. දණ්ඩක්, ඇටයක් බිමට නිකන් විසි කලත් පැලවෙන තරම් සාරවත් පොළව. ආයෙත් මොන අඩුපාඩුද? මේ එක්තරා දේශයේ වැසියොත් බොහෝම සාමකාමි දැහැමි පිරිසක් ඒ නිසා ඔවුන් අතර යුද්ධ කළකෝලහල එහෙම නෑ. හරිම සාමයෙන් සාමදානයෙන් තමයි මින්ස්සු ජීවත් වුණේ.  හැබැයි මේ එක්තරා දේශයේ වැසියන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි අවුරුදු ගාණකට සැරයක් එන මකර උවදුර.ඒ කියන්නේ අවුරුදු ගාණකට සැරයක් මේ එක්තරා දේශයට දැවැන්ත ගිනි පිඹින මකරෙක් පියඹාගෙන එනවා. ඒ එන්නේ දේශයට උතුරෙන් තියෙන මහා විශාල කෑලෑවෙන්. මේ කැලෑව කිසිම මනුෂ්‍ය වාසයක් නැති රුදුරු සත්තුන්ගෙන් පිරිච්ච කැලයක් විදිහටයි මිනිස්සූ විශ්වාස කලේ. ඒ නිසා පණට ආදරේ කිසි කෙනෙක් ඔය කැලෑවට යන්නේ නෑ. ඔන්න ඉතින් ඔය කැලෑවෙන් අවුරුදු ග

දෙවන වියමන | තෙපිටයි ඒ ශාපේ... පව්කාරයිනි !

ප්‍රදීපා ධර්මදාස සහ දීපිකා ප්‍රියදර්ශනී ගායන කරන "සොයා දියව් මට සරණක්" ගීතය මෑත කලයේදී වඩාත් ජනප්‍රිය වුනේ එක්තරා රියලටි තරඟයකදී ආධිත්‍යා වැලිවත්ත විසින් ගායනා කිරීමත් සමඟයි. මම මේ කියන්න යන්නේ ආධිත්‍යා ගැනවත් රියලටි තරඟ ගැනවත් එහෙම නැත්තන් මේ ගීතය ගැනවත් නෙමේ.ඒවා ගැන පස්සේ කතා කරමු. මම හිතන්නේ හැමෝම දන්නව ඇති ආචාර්ය සුනිල් අරියරත්න මහත්තයා මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන්නේ 88, 89 කාලයේ මේ සකල පිරින් පිරි සිරි ලංකාවේ සිදුවුණු හැබැයි මේ ලෝකයේ කවදාවත් සිදු නොවිය යුතු සිද්ධි සමුදායක් පාදක කරගෙන කියලා. ඒ ගැනත් මම පස්සේ දවසක ලියන්නම්.මේ ගීතය මගේ ජීවිතයට සමීප වෙන්නේ මට පෞද්ගලිකව සිදුවුණ සිදුවීමක් නිසයි. ආධිත්‍යා මේ ගීතය කියනකොට මගේ හිත මීට වසර ගණනාවක් ඈතට ගියා. සමහර ගීත තියනව ඒ ගීත මතක් වෙද්දී අපිට පෞද්ගලික අතීත සිදුවීමක් මතක් කරන. සමහර විට ඒ සිදුවීම ගීතයේ තේරුමට ලොකු සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්.මම ඒ කතාව නම් ගම් නැතුව කියන්නම්. මීට වසර කීපයකට පෙර මම සේවය කළේ කොළඹින් ඉතා දුර දුශ්කර පලාතක.ප්‍රධාන නගරයකට එන්න නම් හැතැප්ම 10 කටත් වඩා යන්න තියනවා. ඒකත් දවස් දෙකකට සැරයක් තියෙන බස් එක