චන්දිමාල් 2 වී ලහිරු, දුවිඳු 1 වූ Major League තරගාවලිය දස්කම් විස්කම්

4876

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමාවට පත්වූයේ කුසලාන ශූරතාව සී. සී. සී. කණ්ඩායමත්, පලඟ ශූරතාව මුවර්ස් ක්‍රීඩා සමාජයත් ජයග්‍රහණය කරමිනි. නිමා වූ එම තරගාවලියේ සුවිශේෂී දක්ෂතා පිළිබඳ ව ThePapare.com තබන සටහනක් මේ. 

තරගාවලියේ කණ්ඩායමක් ඉනිමක දී රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව

මෙවර තරගාවලියේ දී එකී වාර්තාවට හිමිකම් කියන්නේ කඩුලු 8කට ලකුණු 652ක් ලබා ගත් මූවර්ස් ක්‍රීඩා සමාජය ය. ඔවුන් මීගමුව කණ්ඩායමට එරෙහිව මුවර්ස් පිටියේ දී ම පැවති තරගයේ දී මේ දක්ෂතාව දැක්වූයේ පන්දුවාර 109.1කට මුහුණ දෙමිනි. එම ඉනිම පන්දුවාරයකට ලකුණු 5.97ක සාමාන්‍යයකින් යුක්ත වූ අතර එම ලැයිස්තුවේ ද ඉහළින් සටහන් වූයේ එම ඉනිමයි.  

මෙම ඉනිම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් නොදැවි ලකුණු 300ක් ලබා ගත් අතර සචිත්‍ර සේරසිංහ ලකුණු 149ක් සහ චරිත කුමාරසිංහ (51) සහ නිමන්ද සුබසිංහ (90) අර්ධ ශතක බැගිනුත් ලබා ගෙන දක්ෂතා දැක්විය.

මුවර්ස් සහ ලංකන් අතර පැවති තරගයක ඡායාරූපයක්

තරගාවලිය ආරම්භ කරමින් එම දැවැන්ත ඉනිම වාර්තා කළ මුවර්ස් ක්‍රීඩකයෝ තරගාවලිය අවසන් කළ ලංකන් ක්‍රිකට් සමාජය හා තරගයේ දී කඩුලු 9කට ලකුණු 599ක් රැස් කිරීමට සමත් වීම ද කැපී පෙණුනි. එම තරගයේ දී තවත් කැපී පෙණෙන සිදුවීමක් වූයේ පෙර තරගයේ දී ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ රමේෂ් මෙන්ඩිස් මෙම තරගයේ දී ලකුණු 104ක් ද, පෙර තරගයේ දී ශතකයක් වාර්තා කළ සචිත්‍ර සේරසිංහ මෙම තරගයේ දී ලකුණු 151ක් ද සහ නිපුන් කරුණානායක ලකුණු 142ක් ද වාර්තා කිරීමයි. 

තරගාවලියේ දී ඉනිමක ලකුණු 600කට වැඩියෙන් රැස් කරන ලද අවස්ථා තුනක් වාර්තා වීම ද කැපී පෙනුණි. ඒ බදුරලිය ක්‍රීඩා සමාජය ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 8කට ලකුණු 648ක් සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සැරසන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8කට ලකුණු 642ක් ලෙසයි. 

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුව

එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරන ඉදිරි පෙළ දකුණත් පිතිකරු ලහිරු උදාර මෙම තරගාවලියේ තරග 9කට සහභාගී වෙමින් ඉනිම 14ක දී ලබා ගත් ලකුණු 1039 මෙම තරගාවලියේ ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමිකරු වේ. ඔහුගේ මේ දක්ෂතාවේ සාමාන්‍ය 86.58ක් ලෙසින් ගණන් ගැනේ. රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව ලබා ගත් ද්විත්ව ශතකයක් සමඟින් තවත් ශතක දෙකක්, අර්ධ ශතක 3ක් එම ඉනිමට අයත් ය. 

එම ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රී ලංකා යුද හමුදාවේ දිනේෂ් චන්දිමාල්ට හිමි වේ. ඔහු තරගාවලියේ අවසන් සතියේ දී වාර්තා කරන ලද ත්‍රිත්ව ශතකයට අමතරව තවත් ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් මෙම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නේ තරගයක සාමාන්‍ය 93.36ක් සේ සටහන් කර ගනිමිනි. චන්දිමාල් මේ දක්ෂතාවට පිවිසෙන්නේ තරග 8ක ඉනිම් 13කට සහභාගී වෙමිනි.

එම ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වෙන්නේ  බී. ආර්. සී. කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ ය. ඔහු තරග 10ක ඉනිම් 18ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 835ක් ලබා ගන්නේ ය. එහි සාමාන්‍ය 49.11කි.

තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභී ලැයිස්තුව

සැරසන්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යුද හමුදාවේ දිනේෂ් චන්දිමාල් තරගාවලියේ අවසන් සතියේ දි නොදැවී වාර්තා කරන ලද ලකුණු 354 එම ලැයිස්තුවේ ඉහළින් සටහන් වේ. චන්දිමාල් මෙම ඉනිම වෙනුවෙන් පන්දු 391කට මුහුණ දෙන අතර හතරේ පහර 33ක් සහ හයේ පහර 9ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය. 

එහි දෙවැනි තැන මුවර්ස් ක්‍රීඩා සමාජයේ රමේෂ් මෙන්ඩිස් සතු වේ. චන්දිමාල් අවසන් සතියේ දී වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කරන විට රමේෂ් තරගාවලියේ පළමු සතියේ දී මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව නොදැවී ලකුණු 300ක් ලබා ගනිමින් එකි ලැයිස්තුවේ දින 207ක් පුරා පළමුවැනියා ව සිටියේ ය. රමේෂ්ගේ ඉනිම පන්දු 270කින් සමන්විත වූ අතර හතරේ පහර 28ක් සහ හයේ පහර 10ක් ඊට ඇතුළත් විය.

එන්. සී. සි. කණ්ඩායමේ ලහිරු උදාර රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව නොදැවී වාර්තා කරන ලද ලකුණු 290 මෙම ලැයිස්තුවේ තෙවැනි තැන ගන්නේ ය. ඒ වෙනුවෙන් ලහිරු පන්දු 303කට මුහුණ දෙන අතර හතරේ පහර 28ක් සහ හයේ පහර 9ක් ඊට ඇතුළත් කර ගන්නේ ය. 

වැඩිම ශතකලාභින්

තරගාවලියේ ශතක 3 බැගින් රැස් කරන ලද ක්‍රීඩකයන් 9 දෙනෙක් ලැයිස්තුවේ ඇත. ඒ අතුරින් ඉදිරියෙන් ම ඉන්නේ තරග 4ක ඉනිම් 6කට පමණක් සහභාගී වූ සී. සී. සී. කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ය. ඔහුගේ ඉනිම් අතර නොදැවී රැස් කරන ලද ලකුණු 200ක් ද වේ.

ඊට පසුව එන්. සි. සී. කණ්ඩායමේ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර, එස්. එස්. සී. කණ්ඩායමේ දසුන් ශානක, බදුරලිය ක්‍රීඩා සමාජයේ ලහිරු මිලන්ත, ශ්‍රී ලංකා යුද හමුදාවේ දිනේශ් චන්දිමාල්, මුවර්ස් ක්‍රීඩා සමාජයේ සචිත්‍ර සේරසිංහ, ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ මනෝජ් සරත්චන්ද්‍ර සහ සී. සී. සී. කණ්ඩායමේ ලසිත් අබේරත්න ද වේ. 

වැඩිම කඩුලු ලාභී ලැයිස්තුව 

මේ අතුරින් ප්‍රමුඛයා වී ඇත්තේ තරග 9ක ඉනිම් 16ක පන්දු යැවී බී. ආර්. සී. කණ්ඩායමේ දුවිඳු තිලකරත්න ය. 23 හැවිරිදි වමතින් දඟපන්දු යවන දුවිඳු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 56කි. මෙවර තරගාවලියේ ඔහුගේ තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ තම පියාගේ ක්‍රීඩා සමාජය වන එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පෑ දක්ෂතා ය.

ඔහු පළමු ඉනිමේ දී ලකුණු 63කට කඩුලු 6ක් ලබා ගන්නා විට දෙවැනි ඉනිමේ දී ලකුණු 55කට කඩුලු 7ක් ලබා ගන්නා අතර තරගයේ දී ලකුණු 118කට කඩුලු 13ක් ලබා ගන්නේ ය. ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 147කට ලබා ගත් කඩුලු 8යි. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම ද වන්නේ ය. 

ඊට අමතරව කඩුලු 50 බැගින් ලබා ගත් සී. සී. සී. කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර ද, මීගමු ක්‍රිකට් සමාජයේ වමතින් දඟපන්දු යවන උපුල් ඉන්ද්‍රසිරි ලැයිස්තු ගතව ඇත. වේගපන්දු යවන්නන් අතුරින් ප්‍රමුඛ ස්ථානයේ පසුවෙන්නේ හලාවත මේරියන්ස් කණ්ඩායමේ දකුණතින් මද වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු ය. ඔහු කඩුලු 47ක් ලබා සිටී. 

ඉනිමක හොඳම පන්දු යැවීම

මේ ලැයිස්තුවේ පළමුවැනියා වන්නේ එන්. සී. සී. කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙනිය ය. ඔහු මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සැරසන්ස් ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී පන්දුවාර 20.4ක දී ලකුණු 86කට කඩුලු 9ක් ලබා ගනිමින් මේ තැනට පත් විය. 

තවත් විශේෂාංග ලිපි:

තරගයක හොඳම පන්දු යැවීම

බී. ආර්. සී. කණ්ඩායමේ දුවිඳු තිලකරත්න එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව ඉනිම දෙකේ දී පන්දුවාර 40ක් යවමින් ලකුණු 118කට ලබා ගත් කඩුලු 13 එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් ව ඇත.  දුවිඳු නිමා වූ මේ තරගවාරයේ දී තරගයක දී කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 3ක් වාර්තා කිරීමට සමත් විය. 

කඩුලු රකින්නන්ගේ දක්ෂතා

මේ ලැයිස්තුවේ ඉහළින් ම සිටින්නේ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ කඩුලු රකින ක්‍රීඩක නවිඳු විතානගේ ය. ඔහු තරග 10ක දී ලබා ගත් උඩ පන්දු සංඛ්‍යාව 34කි. කඩුල්ල බිඳ දැමීමේ අවස්ථා 4ක් ද සමඟින් කඩුලු රකින්නන්ගේ ලැයිස්තුවේ දවා ගැනීම් 38කට දායක වෙමින් ඔහු එම ලැයිස්තුවේ ද පළමුවැනියා වන්නේ ය. 

කඩුලු රකින්නන් අතුරෙන් දවා ගැනීම් 36කට දායක වෙන සී. සී. සී. කණ්ඩායමේ මිනෝද් භානුක දෙවැනි ස්ථානයේ පසුවෙන අතර කඩුලු බිඳ දැමීමේ අවස්ථා 9ක් වාර්තා කරමින් එහි පළමු ස්ථානයට ඔහු පත්ව තිබේ.

දවා ගැනීම් 31කට දායකත්වය දැක්වූ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ ඉරෝෂ් ප්‍රනාන්දු මේ ලැයිස්තුවේ තෙවැනියා වී සිටි. 

වැඩිම උඩ පන්දු

මීගමුව ක්‍රිකට් සමාජයේ ඇන්ජලෝ ජයසිංහ ඉනිම් 16ක දී උඩ පන්දු 22ක් රැක ගනිමින් මේ ලැයිස්තුවේ පළමු තැනට පත් ව සිටි. එහි දෙවැනි තැන උඩ පන්දු 15ක් ලබා ගත්  හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් රැඳී සිටින අතර තෙවැනි ස්ථානය මුවර්ස් ක්‍රීඩා සමාජයේ පබසර වඩුගේට හිමිව ඇත. ඔහු රැක ගත් උඩ පන්දු සංඛ්‍යාව 14කි.  

කඩුලු අතර හොඳම සබඳතා

Wkt Runs Partners Team Opposition Ground
1st 189 ඩිල්ශාන් මුණවීර, අශේන් සිල්වා මීගමුව එස්. එස්. සී. එස්. එස්. සී.
2nd 305 ලහිරු තිරිමාන්න, උදාර ජයසුන්දර රාගම  බි. ආර්. සී. පී. සරා ඕවල්
3th 254 උදාර ජයසුන්දර, රොෂේන් සිල්වා රාගම  එන්. සී. සි.  එන්. සී. සී.
4th 294 සචිත්‍ර සේරසිංහ, රමේෂ් මෙන්ඩිස් මුවර්ස් මීගමුව මුවර්ස්
5th 296 රොෂේන් සිල්වා, නිශාන් මධුශ්ක රාගම  ලන්කන් එන්. සී. සී. 
6th 204 චතුරංග ද සිල්වා, සහන් ආරච්චිගේ එන්. සි. සි.  සි. සි. සි.  පී. සාරා ඕවල්
7th 154 රමේෂ් මෙන්ඩිස්, නිමන්ද සුබසිංහ මුවර්ස් මිගමුව මුවර්ස්
8th 162 සාද් නසිම්, උපුල් ඉන්ද්‍රසිරි මිගමුව  යුද හමුදාව මුවර්ස්
9th 127* දිනේෂ් චන්දිමාල්, හේෂාන් හෙට්ටිආරච්චි යුද හමුදාව සැරසන්ස් කටුනායක
10th 89 භානුක රාජපක්ෂ, දුවිඳු තිලකරත්න බී. ආර්. සී.  එන්. සී. සී.  කටුනායක 

වෙනත් වාර්තා

තරගාවලියේ එක් තරගයක දී කණ්ඩයම් දෙකම එක් වී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ සී. සී. සී. කණ්ඩායම එක්ව එස්. එස්. සී. පිටියේ දී වාර්තා කරන ලද ලකුණු 1291යි. ඒ වෙනුවෙන් ඔවුන් පන්දුවාර 252.5ක් වැය කරන අතර අහිමිකර ගත් කඩුලු සංඛ්‍යාව 29කි. 

කණ්ඩායම් දෙකම එක් වී ලකුණු 1000කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 18ක් මෙම තරගාවලියේ දී වාර්තා වීම කැපී පෙණුනි. 

රාගම ක්‍රිකට් සමාජයේ 23 හැවිරිදි වමත් පිතිකරු නිශාන් පීරිස් තරග 5ක ඉනිම් 6ක දී කිසිදු ලකුණක් ලබා නොගැනීම කැපී පෙනුණි. ඔහු අවස්ථා 5ක දී ලකුණු නොලබා දැවී ගොස් ඇති අතර අනෙක් අවස්ථාවේ දී ලකුණු නොලබා නොදැවි පිටියේ රැඳී සිට ඇත. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<