Main Logo

Saturday 29 August 2020

විග්නේෂ්වරන්ගේ බයිලා

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විග්නේෂ්වරන්ගේ බයිලා


විග්නේෂ්වරන්ගෙ කතාවට තව තවත් ප්‍රචාරය දෙන්න ඕන. ඔහු ඒ ගමන ඉතිහාසය ගැන කතා කරල නිගමනයකට එන්න ජාත්‍යන්තර විශාරදයන් ද ඉන්න කමිටුවක් පත් කරන්න කියල. කවුරු හරි හිතනව නම් කමිටුවෙන් තීරණයකට එන්න පුළුවන් කියල ඒ ඊනියා විශාරදයන් ගැන නොදන්න අයෙක්. ඔය කමිටුවට ඉන්ද්‍රකිර්ති සිරිවීර, මයිකල් රොබට්ස්, ගණනාථ ඔබේසේකර සහ සාවිත්‍රි ගුණසේකර  ඇතුළු සිකුරාදා සංසදය කියන අටමගලේ විශාරදයන්, පාක්‍යසෝති සරවනමුත්තු, එරික් සොල්හයිම්, කමලා හැරිස්, සහ තව තවත් අය පත්කර ගන්න පුළුවන්. ඒකට ඉතිහාසඥයන් ම වෙන්න ඕන නැහැ. 

අවශ්‍ය ම නම් මැදගොඩ අභයතිස්ස හිමියන්, ඕමල්පේ සෝභිත හිමියන්, ගුණදාස අමරසේකර, වසන්ත බණ්ඩාර, කල්‍යානන්ද තිරාණගම, අනුරාධා යහම්පත් ආදීන් ද එකතු කර ගන්න පුළුවන්. කමිටු වාර්තාව අවුරුදු පහක් ඇතුළත දෙන්න කියල වගන්තියක් දාන්නත් පුළුවන්. කමිටුවේ ලේකම් හැටියට විශාරද ඩිලාන් පෙරේරා පත් කරන්න පුළුවන්. ඔහු දන්නවා ස්වාමිවරුන්ට අවශ්‍ය විධියට කතා කරන්න ලියන්න. එකම ප්‍රශ්නය කමිටු වාර්තාව ලියන කාලයේ දී ඔහුගේ ස්වාමිවරුන් කවුරුන් වේ ද යන්න ඔහුවත් නොදැනීම.  

විග්නේෂ්වරන් කියන විධියට දෙමළ භාෂාව ලෝකයේ පැරණිත ම භාෂාව කියල කියමු. ඔහු කරන්න ඕන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල භාෂාවක් හැටියට දෙමළ පිළිගැන්වීම. අද එහි නිල භාෂා වන්නේ ඉංගිරිසි, චීන, රුසියන්, ප්‍රංශ, අරාබි සහ ස්පාඤ්ඤ. මෙය ලියන්න ඕන දෙමළ අකාරාදිය අනුව අනුපිළිවෙලින්. මෝදි වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී දෙමළ පැරණිත ම භාෂාව කියල කී බව අහල තියෙනවා. ඒ වුණාට ඔහු දෙමළ එක්සත් ජාතින්ගේ සංවිධානයෙ නිල භාෂාවක් කරන්න තියා ඉන්දියාවෙ රාජ්‍ය භාෂාවක් කරන්නවත් උත්සාහ ගන්නෙ නැහැ. ඔහුට නරක ද ලංකාවෙ වගේ කිව්ව නම් ඉන්දියාවෙ රාජ්‍ය භාෂාව හින්දි වන්නේ ය, දෙමළ ද රාජ්‍ය භාෂාවකි, ඉංගිරිසි සම්බන්ධිකරණ භාෂාව වන්නේ ය කියල. ඔය දෙමළ නායකයන් කියන අය ඉන්දීය මහා කොමසාරිස්තුමා හම්බ වුණා ම ඒ යෝජනාව කරන්න බැරි ද?  

විග්නේෂ්වරන්ලාට මේ වගේ අඳෝනා කීමට අවස්ථාව සපයල දීල තියෙන්නෙත් එක පැත්තකින් මහාවංසය. විජයසිංහ (බංග්ලාදේශයෙ විජයට කියන්න විජයසිංහ)  සහ පිරිසක් වංගයෙන් කාලිංගයෙන් පැමිණි බවට ඓතිහාසික සාක්‍ෂි කොල්කතාවෙ තියෙනවා. ඒ කිට්ටුව සිංහපුර ම රාශියක් තියෙනවා. ඔවුන් පාලි කතා කළ බවටත් සාක්‍ෂි තියෙනවා. මගධයෙත් පාලි තියෙන්න ඇති. ඒත් විජයසිංහ හා පිරිසගෙන් පමණක් සිංහල ජාතිය ඇති වුණා කියන එක මහා පටලැවිල්ලක්. ඊට ඉස්සර මෙහෙ ජනයා හිටියෙ නැද්ද? මෙහෙ හිටියෙ අමනුෂ්‍යයන් ද? යක්‍ෂයන් හා නාගයන් කවු ද? 

මියන්මාරයෙ තපස්සු භල්ලුක කතාවෙ තියෙනව නාගයන් කේෂ ධාතුන් වහන්සේ පැහැර ගත් බවක්. ලංකාවෙ තපස්සු භල්ලුක කතාවෙ කියනව නාගයන් ද ධාතූන් වහන්සේ සමග පැමිණි බවක්. මේ කතා එකතු කරල සංගත කතාවක් හදන එක මහා අමාරු වැඩක් නො වෙයි. ඒත් එය සිංහලයන් පිළිගන්නෙ නැති බව මට විශ්වාසයි. විජයසිංහ සහ පිරිස පමණක් නොවෙයි ලංකාවට සංක්‍රමණය වෙලා තියෙන්නෙ. භාරතයෙ බටහිරිනුත් මෙහෙ ඇවිත් තියෙනවා. ඒ කතාව මහාවංසෙ කියන්නෙ විජය සුප්පාරක සහ භාරුකච්ව වැනි  බටහිර වරායවල රවුම් ගැහුව කියන විධියට. 

චන්ද්‍රගුප්ත රජුගෙ කාලෙ සිංහල කියල අයෙක් භාරතයෙ බටහිරින් ලංකාවට ඇවිල්ල තියෙනවා. ඔහුගෙ භාර්යාව ග්‍රීක. ඇලෙක්සැන්ඩර් රජුට සම්බන්ධයක් තියෙනවා. ඇරිසේටෝටල් ගැන සඳහන් වෙන සෙල්ලිපි ලංකාවෙ තියෙනවා. පරණවිතාන මහතා ලියා ඇති ග්‍රීකයන් හා මෞර්යයන් පොත කියවන්න. පණ්ඩුකාභය රජුගෙ කාලයෙ මෙහෙ හිටිය කියල මහාවංසය  කියන යෝනයන් (ග්‍රීකයන්)  කවුද? නෙපිටො (මියන්මාරයෙ අගනුවර) දැක්කම මට මතක් වුණෙ පණ්ඩුකාභය රජුගෙ අනුරාධපුර සැලැස්ම. 

මේ ආපු සංක්‍රමණිකයන් මෙහෙ හිටපු යක්‍ෂ නාග දේව වාංශිකයන් සමග එකතු වෙලා තමයි සිංහලයන් බිහි වෙලා තියෙන්නෙ. මහාවංසය සංක්‍රමණිකයන් එක් කොටසක් පමණක් අරගෙන ඔවුන්ගෙන් සිංහලයන් පැවත එන බව කීම නිසා තමයි විග්නේෂ්වරන්ලාට පඬි කතා කියවන්න ඉඩ ලැබිල තියෙන්නෙ. අප යක්‍ෂයන් හා නාගයන් අමනුෂ්‍යයන් ලෙස සලකන නිසා තමයි ඔවුන් දෙමළ කර ගැනීමට විග්නේෂ්වරන්ලාට ඉඩ ලැබෙන්නෙ. 

යක්‍ෂයන්ට නාගයන්ට අමතර ව එකල මෙරට තවත් වාංශිකයන් ඉඳලා තියෙනවා. කබොජ කියල ව්‍යාධ කියල ආදී වශයෙන්. කබොජයන් ද සංක්‍රමණිකයන්. ඔවුන් පසුව කාම්බෝජයට ගිය බවක් පේනවා. සමහර විට ඔවුන්ගෙන් කොටසක් කාම්බෝජයට ගියා වෙන්නත් පුළුවන්. මට පේන විධියට ව්‍යාධයන් හැර අනෙක් වාංශිකයන් විජයසිංහලාත් සිංහලලාත් එකතු වෙලා තමයි සිංහල ජාතිය හැදිල තියෙන්නෙ. අප බටහිරයන් අනුකරණය කරමින් ව්‍යාධයන් (වැද්දන්) ආදිවාසින් කරල සිංහලයන් සංක්‍රමණිකයන් කරනවා. විග්නේෂ්වරන්ලට බොරු කියන්න පාර කපනවා.  මා කියන්නෙ සිංහලයන් අවුරුදු විසිපන්දාහක් මෙරට හිටිය කියන එක නො වෙයි. මෙරට හිටි ජනතාව සංක්‍රමණිකයන් ද එක් ව සිංහල ජාතිය හැදුව කියන එක.  

මා මහාවංසය විකෘත කරනවා කියල සුපිරිජාතිකවාදීන් කියාවි. මට එය ප්‍රශ්නයක් නො වෙයි. යක්‍ෂයන් ඉරානයෙන් (පර්සියාවෙන්) පැමිණි බවට ද මතයක් තියෙනවා. එහෙම නම් ඔවූනුත් සංක්‍රමණිකයන්. ප්‍රශ්නයක් නැහැ. ලංකාව පැරණි ලෝකයේ සංක්‍රමණිකයන්ගේ රට වෙන්නත් පුළුවන්. කවුරු කොහෙන් ආවත් එක් කාලයක දී   මෙරට සිංහල දේශය වුණා. ඉන් පසු අප සිංහල. ලෝකයේ පැරැන්නන් මෙරට හඳුන්වා දී ඇත්තේ සිහල දේශය, සිහල දීප ආදී වශයෙන්. 

මියන්මාරයේ ලංකාවට භාවිතා කළ වචනයක් තියෙනවා තිහෝ කියල. මියන්මාර භාෂාවෙ ස සමහර වෙලාවට ශබ්ද වෙනව ත කියල. ඔවුන් තිරිලංකාව කියල කියනවා. තිහෝ කියන්නෙ සිහෝ කියන එක බවට වාදයක් නැහැ. ඒ තමයි සිංහ කියන එක. ඔය කිසිම අයකු මෙරට දෙමළ දේශය කියල හඳුන්වල නැහැ. ඊළාම් කියන්නෙත් සිංහලාම් කියන එකේ දෙමළ උච්චාරණය. මදුරාසි විශ්වවිද්‍යාලෙ ශබ්දකෝශයෙ  ඊළාම් යන්නට දෙන නිරුක්තිය එහෙමයි. සෙයිලාන් කියන්නෙ අරාබියෙන් සිංහලාන්. සිලෝන් කියන වචනෙත් අරාබි සෙයිලාන් යන්නෙත් බිඳුණු වචනයක්. ඇද්ද ලණුව දැම්ම කොඩිය සිලෝන් එකට කියන්නෙ විග්නේෂ්වරන්ගෙ වගේ නිකම් ම බයිලාවක් නො වෙයි.