HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අප්‍රිකාව ගැන මේ විස්මිත ‍තොරතුරු ඔබත් දන්නවද?

ඔබත් දන්නවද බොහෝ වාග් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අප්‍රිකාවට ඒ නම ලැබී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ කාතේජය අසල උතුරු අප්‍රිකාවේ විසූ ඇෆ්රි නම් ගෝත්‍රයක් නිසා බව; ඒ ඇෆ්රි යන්නට ‘රට’ යන අරුත් දෙන රෝම ඈඳිය එක් කිරීමෙන් ‘ඇෆ්රිකා’ යන්න සාදා ගත් බව.

ඔබත් දන්නවද පුරාණ ග්‍රීක හා රෝම වැසියන් මුලින් ම ‘අප්‍රිකා’ කියා කීවේ ඒ මහාද්වීපයේ උතුරු කොටසට පමණක් බව. (ලතින් බසින් ඇෆ්රිකා යන්නෙහි අරුත ‘හිරුරැස් සහිත’ යන්නයි. ග්‍රීක වදනක් වු ඇෆ්රිකේ යනු ‘ශීතල නැති’ යන්නයි.)

ඔබත් දන්නවද ලොව උෂ්ණත්වයෙන් වැඩි ම මහාද්වීපය අප්‍රිකාව බව.

ඔබත් දන්නවද අප්‍රිකාව වියළි බව අතින් ලොව දෙවැනි තැන් ගන්නා බව. ලොව වඩාත් වියළි මහාද්වීපය ලෙස තාක්ෂණිකව ඇන්ටාර්ටිකාව සලකනු ලැබුවත්, මිනිස් වාසය ඇති ලොව වඩාත් වියළි ම මහාද්වීපය ඕස්ට්‍රේලියාව බව.

ඔබත් දන්නවද අප්‍රිකාව මහාද්වීප අතරින් ප්‍රමාණයෙන් දෙවැනි තැන් ගන්නා බව. ඒ වගේ ම පෘථීවියේ මුළු භූමි ප්‍රමාණයෙන් 22%ක් ද පෘථිවි පෘෂ්ඨයෙන් 6%ක් වසා පැතිර ඇති බව.

ඔබත් දන්නවද ලෝක ජනගහනයෙන් 16%ක් එනම් බිලියන 1.1කට වැඩි ජනගහනයක් අප්‍රිකාවේ වාසය කරන අතර එය ලොව මහාද්වීප අතර දෙවැනි තැන් ගන්නා බව. (ලෝකයේ ජනගහනය අතින් වැඩි ම මහාද්වීපය ආසියාවයි. එහි ලෝක ජනගහනයෙන් 59%ක් එනම් බිලියන 4.4ක් වාසය කරන බව.)
අප්‍රිකානු අලියා ගොඩබිම වෙසෙන ලෙකුම සතාය

ඔබත් දන්නවද අප්‍රිකාව ලෝකයේ දිලිඳු ම ඒ වගේ ම සංවර්ධනය අතින් පහළ ම මට්ටමේ මහාද්වීපය බව. (අප්‍රිකාවේ උපසහරා කලාපයේ රටක දිලින්දකු දිනකට උපයන්නේ රුපියල් සීයකටත් අඩු මුදලක් බව.)

ඔබත් දන්නවාද අප්‍රිකානුවන්ගෙන් 40%ක් ම අකුරු ලියන්න, කියවන්න නොදන්නා බව. ඔබත් දන්නවද අප්‍රිකාවේ මුළු ජනගහනයෙන් තුනෙන් දෙකක් කාන්තාවන් බව.

ඔබත් දන්නවද අප්‍රිකාවේ මුළු ජනගහනයෙන් හරි අඩක් ම ඉන්නේ වයස 25ට අඩු තරුණයන් වන නිසා එය ලෝකයේ වැඩි ම තරුණ ජනගහනයකින් යුත් මහාද්වීපය බව.

ඔබත් දන්නවද අප්‍රිකාවේ මුළු ජනගහනයෙන් මිලියන 25කට වඩා ඒඩ්ස් රෝගයෙන් පෙළෙන බව හා දැනටමත් මිලියන 17ක් ඒ රෝගයෙන් මිය ගොස් ඇති බව.
ජල ප්‍රශ්නය අප්‍රිකානුවන්ට බරපතල එකකි

ඔබත් දන්නවද ලෝකයේ මැලේරියා රෝගීන්ගෙන් 90% ඉන්නේ අප්‍රිකාවේ බව. ඔබත් දන්නවද අප්‍රිකාවේ වනාන්තර විනාශය ලෝකයේ සියලු ම රටවල් එකතු කර ගත් විට ඊටත් වඩා දෙගුණයක් බව. (කෙන්යාවේ හා සැම්බියාවේ දැනටමත් ඉතිරිව ඇත්තේ මූලික වනාන්තරවලින් 1.5%ක් පමණි.)

ඔබත් දන්නවද අප්‍රිකාව පුරා විවිධ භාෂා දහසකට වැඩි ගණනක්, සමහර දැනුමැතියන් කියන පරිදි, දෙදහසකට කිට්ටු ප්‍රමාණයක් කතා කරන බව.

ඔබත් දන්නවද ඉතියෝපියාව හා ලයිබීරියාව හැරුණු විට අප්‍රිකාවේ අනෙක් රටවල් සියල්ල ම විදේශ බලවේගවල යටත්විජිත බවට පත් ව තිබූ බව.

ඔබත් දන්නවාද අප්‍රිකාව තුළ අනිකුත් මහාද්වීපවලට වඩා වැඩි නිදහස් රාජ්‍ය ගණනක්, එනම් 54ක් ඇති බව.

ඔබත් දන්නවද අප්‍රිකාවේ විශාලතම විල වික්ටෝරියා බව හා එය ලෝකයේ ම මිරිදිය විල් අතර දෙවැනි තැන් ගන්නා බව.
ලොව ලොකුම උරගයා අප්‍රිකානු කිඹුලාය

ඔබත් දන්නවද අප්‍රිකාවේ වැඩි ම සංචාරක ආකර්ෂණයක් ඇති රට ඊජිප්තුව බව හා වසරකට සංචාරකයන් කෝටියක් පමණ එහි එන බව.

ඔබත් දන්නවද අප්‍රිකාවේ රටවල් අතරින් ඊජිප්තුව පිරමීඩවලට ප්‍රසිද්ධ වුවත් ඊට වඩා දෙගුණයකටත් වැඩියෙන් එනම් 223ක් ම ඇත්තේ සුඩානයේ බව.

ඔබත් දන්නවද ලෝකයේ කුරුලු වර්ගවලින් 25%ක් ඉන්නේ අප්‍රිකාවේ බව. ඔබත් දන්නවද නැගෙනහිර අප්‍රිකාවේදී ඔබට කෙසෙල් ගෙඩිවලින් තනන බීර බීමට හැකි බව.

ඔබත් දන්නවද අප්‍රිකානු අළු ගිරවුන්ට වචන 200ක වාං මාලාවක් ඇති බව. ඔබත් දන්නවද ලෝකයේ වේගයෙන් ම දිවිය හැකි සතුන් පස් දෙනා අතරින් හතරක් ම අප්‍රිකාවේ වෙසෙන බව. (චීටාවන්, විල්ඩර්බීස්ට් ගවයන්, සිංහයන් හා තොම්සන් ගැසලි මුවන් ඒ හතර වර්ගයයි. ඒ හතර වර්ගයට ම පැයට සැතැපුම් 50 ඉක්මවිය හැකි බව හා එයින් චීටාට පැයට සැතැපුම් 70ක උපරිම වේගයක් ලබා ගත හැකි බව.)

ඔබත් දන්නවද අප්‍රිකාවේ ගැහැනුන් හා ළමයින් දිවි රැක ගැනීමට දිය පොදක් සොයා දිනපතා සැතැපුම් තුනක් හෝ හතරක් පයින් යන බව.
අප්‍රිකාවේ ගැහැනුන් හා ළමයින් දිවි රැක ගැනීමට දිය පොදක් සොයා දිනපතා සැතැපුම් තුනක් හෝ හතරක් පයින් යනවා

ඔබත් දන්නවද මානවයා මුලින් ම මතු වූයේ අප්‍රිකාවෙනැයි ප්‍රථම වරට කීවේ චාර්ල්ස් ඩාවින් බව. එහෙත් අප්‍රිකාව ගැන පැහැදීමක් නොතිබුණු බටහිර ජාතීන් එහි පුරා විද්‍යාමත්මක සාක්ෂි සොයා ගන්නා තෙක්, එනම් විසිවන සියවස තෙක් එය නො පිළිගත් බව.

ඔබත් දන්නවද අප්‍රිකාවේදී හමුවන ගොඩ බිම වෙසෙන විශාලතම සත්වයා වූ අප්‍රිකානු අලියා බරින් ටොන් 6ක් 7ක් පමණ වන බව.

ඔබත් දන්නවද 1974 දී විද්‍යාඥයන් විසින් මිනිසාගේ ආදීමයාගේ ඇටසැකිල්ලක් ඉතියෝපියාවෙන් සොයා ගත් බව. වසර මිලියන 3.2ක් පැරණි ඒ ඇටසැකිල්ල දැනට හඳුනාගෙන ඇති පරිදි අපේ පැරණිතම මිත්තනිය වන අතර ඇයට ‘ලූසී’ යැයි නම් තැබුවේ එවකට ජනප්‍රිය ගායක කණ්ඩායමක් වූ බීට්ල්ස්ලාගේ ‘ලුසී ඉන් ද ස්කයි විත් ඩයමන්ඞ්ස්’ නම් වූ ගීය අනුව යමින් බව. ඒ වගේ ම ඒ ගීය අප්‍රිකාව ගවේෂණයේ යෙදුණු ඒ කණ්ඩායම ඔවුන්ගේ කඳවුරු තුළ නිතර ගැයූවක් බව.

ඔබත් දන්නවද 7 වන හා 20 වන සියවස්වල අරාබි වහල් වෙළඳාම නිසා අප්‍රිකාවෙන් වහලුන් වශයෙන් මිලියන 18ක් විදේශ රටවලට ගෙන ගිය බව. ඔබත් දන්නවද ඉතියෝපියාව ගැන අතීතයේ ග්‍රීක නාට්‍යවල මෙන් ම කවිවල ද සඳහන් වූ බව. ග්‍රීක මහා කවි හෝමර් පවා ඔහුගේ ‘ඉලියඩ්’ හා ‘ඔඩිසි’ යන කාව්‍ය දෙකෙහි ම ඉතියෝපියානු ජනයා හඳුන්වා ඇත්තේ වරදක් දැකිය නොහැකි උතුම් මිනිසුන් ලෙස බව.

ඔබත් දන්නවද අප්‍රිකාවේ වැඩි ජනතාවක් අදහන්නේ ඉස්ලාම් ආගම වුවත්, කිතුනුවන් ද ඒ ආසන්නයට ම ඉන්නා බව. ඒ ආගම් දෙක ම එක්ව ගත් කල 85%ක් වන අතර ඉතිරි 15% සාම්ප්‍රදායික ඇදහිලි ඇති හෝ කිසිම ආගමක් නොඅදහන හෝ අය වන බව.

ඔබත් දන්නවද අප්‍රිකාව ප්‍රමාණයෙන් මහාද්වීප අතර දෙවැනි තැන් ගත්ත ද එහි වෙරළ තීරය ඉතාමත් කෙටි බව. මේ තත්වය ඇති වී තිබෙන්නේ එහි භූ විෂමතා නිසා බව.

ඔබත් දන්නවද අප්‍රිකාවේ ඉන්නා ඇතා ගොඩබිම වෙසෙන ශක්තිවන්තම සත්වයා බව. හොඳින් වැඩුණු ඇතකු කිලෝග්රෑම් 6,000ක් පමණ වන අතර එවැනි ඇතකුට මිනිසුන් 132 දෙනකු එකවර පිට මත ගෙන යා හැකි බව.

ඔබත් දන්නවද 16 හා 19 වන සියවස් අතර කාලය තුළ බාබරි මුහුදු කොල්ලක්කාරයන් විසින් යුරෝපීයයන් මිලියනයක් වහලුන් ලෙස උතුරු අප්‍රිකාවට විකුණා ඇති බව.

ඔබත් දන්නවද දෙවැනි කොංගෝ යුද්ධය නිසා මිලියන 5.4ක් මිය ගිය බව. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සිදු වූ දරුණුතම මිනිස් සංහාරය එය බව.

ඔබත් දන්නවද අප්‍රිකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන් පිරිමිනට වඩා සතියකට පැය 13ක් වැඩියෙන් වැඩ කරන බව.

ඔබත් දන්නවද ආසියාවේ ඉන්නා කොටියා හෙවත් දිවියා අප්‍රිකා මහාද්වීපයේ නැති බව. ඔබත් දන්නවද භූමි ප්‍රමාණය අනුව එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, නවසීලන්තය, ආජෙන්ටිනාව හා යුරෝපය අප්‍රිකාව තුළ බහාලිය හැකි බව.

ඔබත් දන්නවද ලෝකයේ විශාලතම ගොලායත් ගෙම්බා ඉන්නේ අප්‍රිකාවේ නිරක්ෂීය ගිනියාවේ හා කැමරූන්වල බව.

ඔබත් දන්නවද අප්‍රිකාවේ රටවල් අතරින් තමන්ට ම ආවේණික හෝඩියක් ඇත්තේ ඉතියෝපියානුවන්ට පමණක් බව. එහි අක්ෂර 345ක් ඇති බව.

ඔබත් දන්නවද නිවුන් දරුවන් බිහිවීම පිළිබඳ ලෝක වාර්තාව උසුලන බටහිර අප්‍රිකාවේ පිහිටි බෙනින් රාජ්‍යයේ නිවුන් දරු උපත් අනුපාතය දහසකට 27ක් බව. එහි ලෝක අනුපාතය උපත් දහසකට 13.6ක් බව. 

ඔබත් දන්නවද ලෝක ඉතිහාසයේ කැණීම්වලින් ලබා ගත් රන්වලින් අඩක් ම ලැබුණේ දකුණු අප්‍රිකාවේ විට්වෝටර්ස්රෑන්ඩ් බව.

ඔබත් දන්නවද උතුරු අප්‍රිකාවේ පිහිටි සහරා කාන්තාරය ලෝකයේ වැඩි ම උෂ්ණත්වයක් ඇති විශාලතම කාන්තාරය බව; විශාලත්වයෙන් එය තුන්වැනි තැන ගන්නේ ඇන්ටාක්ටික් හා ආක්ටික් කාන්තාර සමග සසඳන විට බව.

ඔබත් දන්නවද ලෝක ඉතිහාසයේ දැනට සොයා ගෙන ඇති පැරණිම සැලසුම් කළ නගරය වසර 35000ක් ඉහත දී ඉදි කරන ලද අතීත මිසර නගරයක් වූ කැහුන් බව.

ඔබත් දන්නවද උප සහරා අප්‍රිකාවේ මවක දරු උපතේදී හෝ ගර්භණීව සිටියදී හෝ මිය යාමට ඇති අවදානම උතුරු ඇමරිකාවේ මවක මෙන් 250 ගුණයක් බව.

ඔබත් දන්නවද උප සහරා අප්‍රිකාවේ මිලියන 589ක ජනතාවට විදුලි බලය නැති බව. එයින් අදහස් කෙරෙන්නේ ජනගහනයෙන් 80%ක් කෑම පිසීම සඳහා බල ශක්තිය සපයා ගතයුතු වන්නේ දර, අඟුරු හා වියළා ගත් සත්ව වසුරු ආදියෙන් බව.

ඔබත් දන්නවද අප්‍රිකාවෙන් ඉංග්‍රීසියටත්, ඉන්පසුව අපටත් ආ වදන් අතර ආඩ්වාක් (ආත්වාකියා), බැන්ජෝ, චිගර්, චිම්පන්සි, කෝලා, කෝපි, ගම්බෝ, ජම්බෝරි, ජෑස්, ජම්බෝ, ඉම්පාලා, සෆාරි, ටැංගෝ, වූඩූ, යැම්, සීබ්‍රා, සොම්බී ආදිය ඉන් කීපයක් බව.

ඔබත් දන්නවද දැනට හඳුනාගෙන ඇති ගණනය සඳහා යොදා ගත් පැරණිතම මෙවලම ක්‍රිස්තු පූර්ව 35,000ට අයත් යැයි සැලකෙන ස්වාසිලන්තයේ ලීබොම්බෝ කඳුකරයේ දී හමුවූ ලීබොම්බෝ අස්ථිය බව.

ඔබත් දන්නවද ලෝකයේ විශාලතම උරගයා අප්‍රිකාවේ නයිල් කිඹුලා බව.

ඔබත් දන්නවද අප්‍රිකාවේ වෙසෙන ක්ෂීරපායී සතුන් අතරින් වඩාත් අනතුරුදායක සතා හිපපොටේමස් බව. වසරකදී හිපපොටේමසුන් පහරදීමෙන් එහි මිනිසුන් 500ක් පමණ මිය යන බව.

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments