Main Logo

Saturday 22 August 2020

මා, ජාතික ව්‍යාපාරය, විග්නේෂ්වරන් හා මියන්මාරය

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9





මා, ජාතික ව්‍යාපාරය, විග්නේෂ්වරන් හා මියන්මාරය 

ඇතැමුන් මගෙන් අහනවා මා ජාතික ව්‍යාපාරයට කිසිවක් කර නැති බව කියන්නේ ඇයි ද කියා. එක් අයකු මුහුණු පොතේ මෙසේ තම අදහස් පළ කර සිටියා. "//මා කිහිප වතාවක් ම කියා ඇති පරිදි එහි ලා මගෙන් සිදු වූ කාර්යයක් නැහැ. උගතකු බුද්ධිමතකු වියතකු නොවන මට කරන්න දෙයක් තිබුණේ නැහැ.// I don't know why you should continue to say this. This is not the truth. Why should you undermine what you have been doing?"

මේ ප්‍රතිචාරය ඉංගිරිසියෙන් තිබීම පඬි නැට්ටකුට සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එය ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. විවිධ හේතු නිසා ඒ ඒ අය ඉංගිරිසියෙන් මුහුණු පොතේ අදහස් දක්වනවා.  මා මගෙන් කාර්යභාරයක් සිදු වී නැති බව කියන්නේ මා දැනුවත් ව හෝ මෙරට ජාතික ව්‍යාපාරයේ හරි ඉන් පිට හරි ඉන්න ප්‍රසිද්ධ උගතුන් දැනුවත් ව හෝ මගෙන් සිදු වී ඇති කාර්යභාරයක් නැති නිසා. මෙරට ජනමාධ්‍යයේ හරි පාර්ලිමේන්තුවේ හරි අදහස් දක්වන කිසිවකු මගෙන් කාර්යභාරයක් සිදු වී ඇති බවක් කියන්නේ නැහැ. අප්‍රසිද්ධ පුද්ගලයන් කියන කතා එතරම් වැදගත් නැහැ. මුහුණු පොතට වැදගත් වූ පමණින් රටට වැඩක් වන්නේ නැහැ.

පාර්ලිමේන්තුවේ යුතුකම සංවිධානය වෙනුවෙන් කතා කරන  (යුතුකම පක්‍ෂයක් ද කියා අහන්න එපා)  ගෙවිඳු කුමාරතුංග පසුගිය දා  කියා සිටියේ ගුණදාස අමරසේකර හා මනෝහර සිල්වාගේ පොතපත නිසා රට බේරුණු වගක්. අමරසේකර වුණත් කිසි දා ප්‍රසිද්ධියේ කියා නැහැ මගෙන් සිදු වූ කාර්යභාරයක් ගැන. මාත් හිතන්නේ නැහැ මගෙන් කාර්යභාරයක් සිදු වුණා කියා. මා කියන දේට ජනමාධ්‍යයෙහි ප්‍රසිද්ධියක් නොලැබෙන්නේත් ජාතික ව්‍යාපාරයට මගෙන් කාර්යභාරයක් සිදු නොවන බැවින් වෙන්න ඕන. මා ප්‍රකාශ කරන අදහස් වල්පල් ප්‍රලාප බව ඔවුන්ගේ මතය වෙන්න ඇති. 

මා පසුගිය දා මියන්මාරයේ අගනුවර වූ නෙපිටෝ ගියේ මියන්මාර සංගමයේ (Union of Myanmar) සාම සම්මේලනයේ ආරම්භක සැසිවාරයට සහභාගි වීමට. සියලු තානාපතිවරුන්ට ඒ සැසිවාරයට සහභාගි වීමට ආරාධනා කෙරී තිබුණා. සාම සම්මේලනයේ ආරම්භක සැසි වාරය අමතා ජනවර්ග කිහිපයක් නියෝජනය කරන නායකයන් කතා කළා. මියන්මාරයේ ජනවර්ග එකසිය තිහක් පමණ තියෙනවා. ජනගහනය අතින් ගත් කල ඉන් හත අටක් ප්‍රධානයි. අර ආරම්භක සැසිවාරය අමතා කතා කළ ඒ ඇතැම් ජනවාර්ගික නායකයන් කරුණු තුනක් අවධාරණය කළා. 

ඒ ප්‍රජාතන්ත්‍රවාදය, සංධිය රාජ්‍යය හා ජනවර්ග අතර සමානත්වය. අපට සහභාගි වීමට අවසර ලැබුණේ ආරම්භක සැසිවාරයට පමණයි. සම්මේලනය අවසානයේ එකඟ වූ සම්මුතියට අනුව මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංධීය රාජ්‍යයක් පිහිටුවීමට යනවා. සාමය ඇති වීම සඳහා එසේ කරනවා වෙන්න පුළුවන්. සුචී මැතිණිය ද එයට එකඟතාව පළ කරල තියෙනවා. මා එයට වඩා යමක් කියන්නේ නැහැ. වියනා සම්මුතිය අනුව මා වැඩ කරනවා. 

ලංකාවේ ඒකීය රාජ්‍යය දැන් සුරක්‍ෂිතයි. සිංහල බෞද්ධ සංස්කෘතිය රටේ විශේෂිත සංස්කෘතිය බවට අතිවිශාල බහුතරයක් පිළිගන්නවා. ජනතාව නීතිය ඉදිරියේ සම්මුතියක් ලෙස සමානවුවත් (නීතිය ඉදිරියේ එසේ සමාන වීමක් ප්‍රායෝගික ව සිදු නොවන බව මා ලිපි රාශියක ම කියා තියෙනවා) සම්මුතියක් ලෙස වත් ජාතිය ජනවර්ග ජනකොටස් සමාන නොවන බව අද පිළිගැනී අවසන්. ඊනියා බහුසංස්කෘතික බහුබූතය අද පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හා බටහිර ගැති බටහිරින් යැපෙන රාජ්‍ය නොවන ගැත්තන් හැරෙන්න අනෙක් අය පිළිගන්නේ නැහැ. 

ඕනෑම රටක විශේෂිත සංස්කෘතියක් තියෙනවා. එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය සමාන වන්නේ නැහැ. එලිසබෙත් නෝනගෙන් පසුව රජ වන තැනැත්තා කවුරුන් වුවත් අභිෂේක කිරීමට ලංඩන් බෞද්ධ විහාරයේ නායක ස්වාමීන්වහන්සේට වෙස්ට්මිනිස්ටර් පල්ලියට ආරාධනා කෙරෙන්නේ නැහැ. ඒ තැනැත්තා දිවුරුම් දීමට ලංඩන් බෞද්ධ විහාරයට යන එකක් නැහැ. මහින්ද රාජපක්‍ෂ කැළණි විහාරයේ දිවුරුම් දීම අද ඊනියා සාම විරෝධී වැඩක් නො වෙයි.

එංගලන්තයේ පමණක් නොව ලෝකයේ හැම රටක ම පාහේ ඊනියා සංවර්ධන ආකෘතිය බටහිර ක්‍රිස්තියානි. ඊනියා ධනවාදය පමණක් නොව මාක්ස්වාදී සමාජවාදයත් බටහිර ක්‍රිස්තියානි. පඬි නැට්ටන්ට මෙහි පරස්පර ප්‍රලාප පෙනේවි. ඒ ඔවුන්ගේ දෘශ්ටිය. ඒ දෘශ්ටියත් බටහිර ක්‍රිස්තියානි. බටහිරින් ආධාර ලබන සාම වැද්දන්ට ලංකාවේ කිසි දෙයක් කරගන්න බැරි වුණා. සිංහලයන්ට පුළුවන්කම ලැබුණා තම ඡන්දයෙන් පමණක් ජනාධිපති කෙනකු පත්කර ගන්න. මෙය ප්‍රවාදයක්වත් සංකල්පයක්වත් නොවන බව කිව යුත්තේ පඬි නැට්ටන්ට ප්‍රවාද හා සංකල්ප අතර වෙනසවත් නොතේරෙන නිසා.  

පෙරේදා විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේ තම මුග්ධ ප්‍රකාශය කරලා. ඒ ඔහු පළමුවරට කළ එකක් නොවෙයි. ඒකෙන් දැන් සතපහක වැඩක් නැහැ. ඔහුත් දන්නවා ඔහු පැරදිලා කියල. ඔහුගේ පක්‍ෂයට දිස්ත්‍රික්ක මට්ටමෙන් එක් මන්ත්‍රී ධුරයක්වත් ලැබුණේ නැහැ. ඔහුට ඊනියා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දුන්නෙ සිංහලයන් අතර ඉන්න එ ජා ප හිතවතුන්. ඒ අය තව පිරිසක් ඡන්දය දෙන්න ඡන්ද පොළට ගියා නම් විග්නේෂ්වරන්ගෙ පක්‍ෂයට ලැබෙන ජාතික ඡන්ද ප්‍රතිශතය අඩු වෙනවා. එවිට ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබෙන්නෙ නැහැ. මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නෙත් ඡන්ද පොළට නොගිය එ ජා ප හිතවතුන්. සමහර ආණ්ඩු හිතවතුන්ට මේ කතා අල්ලන්නෙ නැති බව මා දන්නවා. 

විග්නේෂ්වරන්ගෙ දෙමළ නිජභූමි කතාව පරාජය කරල හුඟක් කල්. ඔහු ඔය කතා කියන්නෙ තමන්ගෙ හිත හදාගන්නත් පඬි නැට්ටන්ගෙ හිත් හැදීමටත්. මෙරට දෙමළ නිජභූමියක් තියෙන්න නම් මුලින් ම දෙමළ ජනවර්ගයක් ඉන්න ඕන. මෙරට තබා භාරතයේවත් දෙමළ ජනවර්ගයක් තිබිල නැහැ. දෙමළ කතා කරන ජනයා තැන තැන ඉන්නවා කියන එකෙන් කියැවෙන්නෙ නැහැ දෙමළ ජනවර්ගයක් තිබුණු බවක්. ලංකාවේ දෙමළ කතා කළ ජනතාවක් දොළොස්වැනි සියවසට පෙර ස්ථිරවවත් හිටියෙ නැති බව යාපන විශ්වවිද්‍යාලෙ පළමු ඉතිහාස මහාචාර්යවරයා කියා තියෙනවා. අප එය පිලිගන්නේ ඔහු කියා ඇති නිසා ම නොවෙයි. ඒ පිළිබඳ කිසිම සාක්‍ෂියක් දෙමළ බෞද්ධයන් ගැන ලියූ සුනිල් ආරියරත්නටවත් දෙන්න බැරි වුණු නිසා. 

ඔය දෙමළ භාෂාව පැරණි බසක් කියන එක පැතිරෙව්වෙ වත්මන් තමිල්නාඩුවෙ දෙමළ කතෝලික පූජකවරු. ඒ කෙළේ ඉංගිරිසින්ගෙ අනුග්‍රහයෙන්. ඒ උතුරු ඉන්දියානුවන්ට එරෙහි ව. ඉංගිරිසින් ඉන්දියාවෙ දෙමළ පූජකවරු යොදා ගත්ත හින්දි කතාකරන හින්දුන්ට ඉන්දියාවෙ තිබෙන සුවිශේෂත්වය නැති කරන්න. ඇතැමුන් මොහෙන්ජදාරෝ හරප්පා සංස්කෘතියත් දෙමළ සංස්කෘතියක් කියල කිව්වා. නරක ද විග්නේෂ්වරන්ට මොහෙන්ජදාරො හරප්පා ගිහින් එහි අක්‍ෂර දෙමළ අක්‍ෂරවල පූර්ව ස්වරුපයක් කියල පෙන්නන්න. විග්නේෂ්වරන් අද හින්දු වුණාට ඔහුගෙ පරම්පරාව ටික කාලෙකට ඉස්සර ක්‍රිස්තියානි. 

ලංකාවට ඉංගිරිසි සහ පොදුවේ බටහිර මතවාද පරාජය කරන්න පුළුවන් වුණා. ඒ සඳහා සිංහල ජාතිකවාදීන් විශාල මෙහෙවරක් කළා. නැවතත් කියන්න ඕන මා නම් ඉටු කළ කාර්යභාරයක් නැති බව. මා ප්‍රලාප කියන්නකු මිස උගතකු විද්වතකු බුද්ධිමතකු නො වෙයි. මේ ලිපියත් තවත් ප්‍රලාපයක් පමණයි.