‘ඇය’ යන්න ගියා මැකිලා …

Share

‘ඇය’ කීවෙ ආදරය නිසාමයි…. ඇත්තම කීවොත්, ‘වියෝ දුක’ තමයි ඒ..

සල්ලි කොළ ගොඩක් රැඳුණත් නිතර අතේ

එක කොළයක්මයි කවදත් බැඳුණෙ හිතේ

කෝ අද දැකගන්නටවත් ළඟක නැතේ

දෙසීයෙ කොළයට නපුරක් උනිද පුතේ

 

‘200 නෝට්ටුව’, මතකද එහෙම නෝට්ටුවක් ගැන. ඔව් ඔව් ලංකාවෙ තමයි. ශ්‍රී ලංකා මහ බැංකුවෙන්නෙ නිකුත් කරන්නෙ, එක වතාවක් හරි දැකල ඇතිනෙ, පොඩ්ඩක් අතට අරගෙන එහෙ මෙහෙ කරල හරි තියෙනවනෙ. අලුත් පරම්පරාව නම් සමහරවිට දැකලවත් නැතුවැති. කොහොමින් කොහොම හරි, අද භාවිතයේ නම් නැති තරම්. සමාජයෙන් හැංගිලා වගෙ තමයි ඉන්නෙ. ඇත්තට මෙයාට මොකද උනේ? ඇයි දැන් පේන්න නැත්තෙ? ඕං ඔය වගේ ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරන ගමන්, ‘200 නෝට්ටුවේ අඟපසඟ’ ගැන පොඩ්ඩක් කතාබහ කරන්න තමයි මේ සටහනින් බලාපොරොත්තු වෙන්නෙ.

නෝට්ටුවේ වර්ණය සලකා බලනකොට ළානිල් පාට තීරුවක්, ළාකහ පාට තීරුවක් ආයෙම ළානිල් පාට තීරුවක් දකින්න පුළුවන්.දිගින් සෙන්ටිමීටර 14කට චුට්ටක් වැඩි වගේම පළල සෙන්ටිමීටර 7කට පොඩ්ඩක් වැඩි. ළා කහ පාට තීරුවේ රතට හුරු මල් රටාවක් වගේ දකින්න පුළුවන්.

මේ මුදල් නෝට්ටුව, ‘නිදහසේ පනස්වෙනි සංවත්සරය’ අරමුණු කරගනිමින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉදිරිපස මුහුණතේ, ‘නිදහස 1948-1998’ ත්‍රෛභාෂාවෙන්ම සටහන් කර තිබීමෙන් ඒ බව පැහැදිලි වෙනවා.

ඉදිරිපස මුහුණත

  • ‘කොළඹ නිදහස් චතුරස්‍රය’ බොහොම පැහැදිලිව, මඳක් විශාලව දකින්න පුළුවන්.
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 
  • බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව 
  • කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 
  • ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළු තදාසන්න නාගරික වටපිටාව
  • විදුලි උත්පාදන ජල යෝජනා ව්‍යාපෘතියක් 
  • සැටෙලයිට් තාක්ෂණය
  • ශ්‍රීපාද කඳුවැටිය
  • කෙතක ගොයම් නෙළනා ගෙවිලියක්
  • වෛද්‍යවරයෙක්, හෙදවරියක් සමඟින් රෝහලක්
  • තරුණියන් දෙදෙනෙක් සමඟින් වැඩබිමක්
  • පන්සල,පල්ලිය,කෝවිල,මස්ජිදය යනාදී සර්වාගමික සිද්ධස්ථාන සමඟින් ජාතීන් හතර නියෝජනය කරන තරුණ තරුණියන් සිව් දෙනෙක් සුදු පරවියෙක් අතැතිව

 

පසුපස මුහුණත

  • ‘මහනුවර ශ්‍රී දළදා මාළිගය’ බොහොම පැහැදිලිව, මඳක් විශාලව දකින්න පුළුවන්
  • කපු කටිමින් සිටින් කුවේණිය වෙතට විජය නිරිඳුන්ගේ සම්ප්‍රාප්තිය
  • මිහින්තලා පුදබිමට වැඩමකළ මිහිඳු තෙරුන් ඇතුළු පිරිස දෙටුතිස් නිරිඳුන් බැහැදැකීම
  • ජනතා ශ්‍රමයෙන් ඉදිවෙන ස්තූපයක් දෙස ප්‍රභූවරයකු බලා සිටීම
  • සීගිරි බලකොටුව සමඟින් අප්සරාවියක්
  • පොළොන්නරු පුලතිසි ප්‍රතිමාව
  • බ්‍රිතාන්‍යයන් ඉදිරියේ එම ධජය පහත හෙළා, සිරිලක් ධජය ඔසවන වාරියපොල සුමංගල හිමිපාණන්

ඉදිරිපස මුහුණතින් වර්තමාන රට තුළ ආර්ථිකමය දියුණුවේ අවස්ථා කිහිපයක් පිළිබිඹු කෙරෙන අතර, පසුපස මුහුණතින් අතීත, එනම් රජ දවසේ ලක්දිව වැදගත් අවස්ථා කිහිපයක් නිරූපණය කෙරේ.

ශ්‍රී ලංකාවේ අන් කිසිඳු මුදල් නෝට්ටුවක දක්නට නොලැබෙන, ‘විනිවිද පෙනෙන ප්ලාස්ටික් පසුබිමෙහි කඩුව අතින් ගත් සිංහයා’ 200 නෝට්ටුවටම ආවේණික වූ ඉතාමත් සුවිශේෂී ලාක්ෂණිකයක් වෙයි.

කවරාකාරයක හෝ හේතුවක් මත, මෙම මුදල් නෝට්ටුව භාවිතයෙන් ඉවත් කළද, මතු වන පැනය නම්, වෙනත් තේමාවක් අරමුණු කරගනිමින් හෝ ඉන් මතුවට අලුතින් හෝ ‘200’ක් මුද්‍රණය නොවීමයි. අනෙක් මුදල් නෝට්ටු කාලෙන් කාලෙට අලුත් මුහුණුවර ගෙන සමාජ සංසරණයට පැමිණියද, ‘200’ට එම අවසරය හිමිවීමක් සිදුවුණේ නැත.

වෙනත් ශ්‍රී ලාංකේය මුදල් නෝට්ටුවකට සාපේක්ෂව, දේශීයත්වය මූලික කර ගත් සැලකිය යුතු විශාල කරුණු, කාරණා ප්‍රමාණයක් නියෝජනය කරන ‘200 නෝට්ටුව’ ලක්දිවෙහි ප්‍රෞඪ අතීතය,අභිමානය මෙන්ම වර්තමානය සාකච්ඡා කෙරෙන සාරවත් මූලාශ්‍රයක් වශයෙන්ද හඳුනාගත හැකිය.

ක්‍රමයෙන් සමාජයෙන් ඈත්ව, සැඟවයන මතු දිනෙක දැකුම පවා ඉතාමත් දුර්ලභ වන බොහොම සුන්දර රසඟුලාවකින් බිඳක් මෙලෙසින් අකුරු කරන ලදියි.

‘200 නෝට්ටුව’ ඇතුළු ශ්‍රී ලාංකීය මුදල් පිළිබඳ තවත් ප්‍රමාණාත්මක හා ගුණාත්මක නිවැරදි තතු දැනගැනීමට ඔබ සැමට ඇල්මක්, කුතුහලයක් ඇති වේවා !!

 
Tagged : / /