HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගත නිවෙස් එළිය කරන්න විස්මිත ‘ස්මාර්ට් ගඩොල්’!

ඇමරිකානු විශ්ව විද්‍යාල පර්යේෂකයන් පිරිසක් විසින් නිවෙස් ආලෝකමත් කළ හැකි ‘ස්මාර්ට් ගඩොල්’ විශේෂයක් නිපදවා තියෙනවා. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන ඇත්තේ අද ලොව පුරා බහුලව යොදා ගන්නා, පහසුවෙන් මිලදී ගත හැකි රතු ගඩොල් විශේෂයයි. මේ රතු ගඩොල සඳහා විදුලිය ගබඩා කළ හැකි පොලිමර් ආලේපයක් යෙදිය හැකි නව ක්‍රමවේදයක් මේ පර්යේෂකයන් සකසා තියෙනවා. ඒ මගින් එල්ඊඩී බල්බයක් පහසුවෙන් දැල්විය හැකියි.
ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් 
රතු ගඩොල් තුළ බලශක්තිය රැඳවිය හැකි නව නිපැයුමක් 
තනා අනාගතයේ ලොකු පෙරළියක් කරන්න සූදානම්.

මේ පර්යේෂකයන් කියන විධියට ලෝකයේ අනාගත නිවාස මේ නව ගඩොල් භාවිතයෙන් ඒ නිවසේ ඇති විදුලි බල්බ ආලෝකමත් වේවි. මේ බලශක්ති සැපයුම විදුලි බල්බවලට විතරක් නොවෙයි, විදුලිය අවශ්‍ය මෙවලම්වලටත් යොදා ගන්න පුළුවන්.

මේ නව ත‍ාක්ෂණය නිපදවූ රසායන විද්‍යාඥයන් කියන්නේ මෙවැනි ගඩොල් 50ක් පමණ බිත්තියකට එක් කිරීමෙන් හදිසි ආලෝක සැපයුමක් පැය පහක් පමණ කාලයක් දැල්විය හැකි බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ නව තාක්ෂණය සංවර්ධනය කර ඇත්තේ. ඔවුන් කියන විධියට වෙළඳපොළේ අඩු මිලට ලබා ගත හැකි රතු ගඩොල්වලට ඔවුන්ගේ මේ නව ආලේපය යෙදීම පමණයි, කළයුතු වන්නේ. එවිට ඒ ගඩොල් තුළ සූර්යාලෝකය යොදා ගෙන ලබා ගන්නා බලශක්තිය පහසුවෙන් ගබඩා කර ගත හැකියි.

ගඩොල මත සන්නයනික පොලිමර් ආලේපනය කළ විට එය එල්ඊඩී බල්බ දැල්විය හැකි 
විදුලි කෝෂයක් බවට පත් කළ හැකියි. (1.) ගඩොලට බලශක්තිය සපයන සූර්ය පැනලය. 
(2.) මේ ස්මාටර්ට් ගඩොලෙහි පොලිමර් විශේෂයක් අන්තර්ගත ආලේපයක් තවරනවා.  
එය ගඩොල තුළට කාන්දුවෙලා එය සන්නායකයක් බවට පත් කරනවා. 
(3.) ස්මාර්ට් ගඩොල සූර්ය පැනලයෙන් බලශක්තිය ලබා ගන්න දැන් සූදානම්. 
(4.) එසේ ගබඩා කළ බලශක්තිය දැන් විදුලි ආලෝකය සඳහා යොදා ගත හැකියි.

ගඩොල් යොදා තැනෙන බිත්ති හා ගොඩනැගිලිවලට විශාල ඉඩකඩක් යනවා. ඒ නිසා එයින් තවත් ප්‍රයෝජනයක් ගන්නට හැකියාව ලැබීම වාසියක් ලෙසයි ඔවුන් දකින්නෙ.

ආචාර්ය ජුපියෝ ඩිආචි ඇතුළු මේ පර්යේෂණ කණ්ඩායම කර ඇත්තේ දැන් ලොව පුරා භාවිතයේ පවතින රතු ගඩොල් විශේෂය, බලශක්තිය ගබඩා කළ හැකි සුපිරි කැපෑසිටරයක් බවට පත්කිරීමට හැකි තීන්තාලේපයක් නිපදවීමයි. ඔවුන් ඒ සඳහා විදුලි සන්නායක පොලිමර් විශේෂයක් යොදා ගත්තා. එය ඔවුන් හඳුන්වන්නේ පීඩොට් (PEDOT) කියලයි.

ඒ පීඩොට් ආලේපය ගඩොලෙහි ගැල්වූ පසු, ඒ ගඩොලෙහි ඇති සිදුරු සහිත ගතිය නිසා එය ගඩොල තුළට කාන්දු වෙනවා. ඒ ආලේපය ගඩොලෙහි ඇති රතු වර්ණක තැනී ඇති අයන් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවා. මේ නිසා බහුඅවයවීකරණ ප්‍රතික්‍රියාවක් ඇතිවෙලා ගඩොල් කැටය ‘අයන් ස්පොන්ජ්’ එකක් බවට පත් වෙනවා.
පර්යේෂණ කණ්ඩායම කියන්නේ අනාගත නිවෙස්වලට මේ රතු ගඩොල් යොදා ගෙන ආලෝකය සැපයිය හැකි බවයි. ඒ වගේම ඒ ගඩොල් පැයක් තුළ දස දහස් වාරයක් වුවත් ප්‍රති ආරෝපණය කළ හැකියි.

ආචාර්ය ඩිආචි කියන්නේ මේ නව බලශක්ති සංචිත සඳහා සාමාන්‍ය ගඩොල් හෝ ප්‍රතිචක්‍රිය කළ ගඩොල් වුනත් සුදුසු බවයි.

‘අපි මේ සඳහා යොදා ගත්තේ මිසෝරිහී බ්‍රෙන්ට්වුඩ්වල ස්වදේශ අමාත්‍යාංශය අනුමත කළ රතු ගඩොල් තමයි.’ ඇය වැඩිදුරටත් කියනවා.

සාමාන්‍යයෙන් වාස්තු විද්‍යාඥයන් හා නිවාස සැලසුම්කරුවන් කලිනුත් දැන සිටියා මේ රතු ගඩොල්වල සූර්ය තාපය උරා ගැනීමේ හැකියාවක් ඇති බව. ඒ නිසයි ලොව පුරාම ඔවුන් නිවෙස් තැනීමට ඒවා යොදා ගන්නේ. ඒත් එතැනින් එහාට මේ වගේ දේකට හැකියාව ඒ ගඩොල්වලට ඇති බවක් ඔවුන් දැන සිටියේ නැහැ.

මේ නව අධ්‍යයනය තමා මුල්වතාවට රතු ගඩොල්වලට නිවාසය තුළ සිසිලස ඇති කරනවා වගේම, නිවස ආලෝකමත් කිරීමේ හැකියාවත් ඇති බව ලොවට හෙළි කළේ. මේ පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දෙන ආචාර්ය ඩිආචි කියන්නේ, ගොඩනැගිලි තැනීමේ දී මේ පීඩොට් ආලේප කළ ගඩොල් යොදා ගැනීමෙන් හදිසි අවස්ථාවල දී අවශ්‍ය ආලෝකය ලබාගැනීමට එය මනා පිටිවහලක් වන බවයි.

ඇය වැඩිදුරටත් කියන්නේ, ‘අපි හිතන විධියට වහලේ සවි කරන සූර්ය පැනලවලට ආසන්නව මේ ආලේපිත රතු ගඩොල් 50ක් විතර බිත්තියට එක්කාසු කොට තිබුණොත් ‍ඒ අදහස පහසුවෙන් ම ඉටු කර ගන්න පුළුවන් වෙනවා’ කියායි.

‘ඒ වගේම මේ ගඩොල් සුපිරි කැපෑසිටරයක් ලෙස දස දහස්වාරයක් වුනත් පැයක් ඇතුළත ප්‍රති ආරෝපණය කරන්න පුළුවන්. මේ ගඩොල් කීපයකට සම්බන්ධ කිරීමෙන්, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික සංවේදක පහසුවෙන් ම බලගන්වන්නට හැකියාව තියෙනවා.’ ඇය අවසාන වශයෙන් සඳහන් කළා.

මේ අධ්‍යයනය පිළිබඳ වැඩි විස්තර Nature Communications ජර්නලයේ සඳහන් වෙනවා.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments