පරුෂ වචනයේ ආදීනව කියා දුන් පියා දුන් දඬුවම!

238

ක්‍රිකට් ආචාරධර්ම සංග්‍රහයේ විග්‍රහ කෙරෙන පරිදි පළමු ශ්‍රේණියේ විනය නීති කඩ කිරීමකට වරදකරුවකු වූ ඕනෑම ක්‍රීඩකයෙකුට ඔහුගේ හෝ ඇයගේ මුළු තරග මුදලින් 50%ක් දක්වා දඩ මුදල් අයකර ගැනීමටත්, අයහපත් ලකුණු එකත් දෙකත් අතර ප්‍රමාණයක් පැනවීමේ නෛතික බලය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සතු වේ. 

ස්ටෝක්ස්ට පාකිස්තාන තරගාවලිය අහිමි වෙයි

සත්කාරක එංගලන්තය සහ පාකිස්තානය අතර මේ දිනවල පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය දා නිමාව දුටුවේ එංගලන්ත කණ්ඩායමට කඩුලු තුනක තියුණු ජයක් අත්පත්කර දෙමිනි. 

කෙසේ නමුත් ජයග්‍රාහී සටනකින් නිමාව දුටු එම තරගයේ අවසානය එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් හට එතරම් සුබදායක නොවුනේ ඔහු ඉහත සඳහන් කළ පරිද්දෙන් ක්‍රීඩක විනය නීති මාලාවට පටහැනිව කටයුතු කර වරදකරුවෙකු බවට සනාථ වී ඇති නිසාවෙනි. ඒ අනුව බ්‍රෝඩ්ට එරෙහිව එක් අයහපත් ලකුණක දඬුවමක් සහ ඔහුට හිමි මුළු තරග මුදලින් 15%ක් දඩ මුදල් ලෙසත් අයකර ගැනීමට ICCය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම සිදුවීම ද ඇතුළත්ව ඉකුත් මාස 24ක කාලය පුරාවට ඔහුට එරෙහිව එක් අයහපත් ලකුණ බැගින් අවස්ථා තුනක දී දඬුවම් කිරීමට අදාළ තරග ත්‍රිත්වය විනිශ්චය කළ ප්‍රධාන තරග තීරකවරුන් කටයුතු කොට තිබුණි. මෙහි දී වඩාත් කැපී පෙනෙන කාරණාව වන්නේ මෙවර බ්‍රෝඩ් හට එරෙහිවී තිබෙන්නේ ප්‍රධාන තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඔහුගේම පියා වන ක්‍රිස් බ්‍රෝඩ් මහතා වීමයි. එය ක්‍රිකට් ඉතිහාස පොත් අතරට එකතු වන සුවිශේෂී සිදුවීමක් බව ක්‍රිකට් විද්වතුන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මත පළකොට තිබුණි.

මුරලි එක්ක වැඩේ ටිකක් අමාරුයි – සංගා

පාකිස්තාන දෙවන ඉනිමේ 46 වැනි පන්දුවාරයේ දී පිතිකරණයේ නියැලෙමින් සිටි යසීර් ෂහාගේ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව ඔහු ඉලක්ක කරගනිමින් ක්‍රීඩාවට උචිත නොවන අයුරින් භාෂාව හසුරවීම බ්‍රෝඩ්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාවයි. 

පිටියේ විනිසුරුවන් දෙදෙනා ලෙස කටයුතු කළ රිචඩ් කෙට්ල්බර්ග් සහ රිචඩ් ඉලිංග්වර්ඩ් යන මහත්වරුන්ට අමතර තෙවැනි සහ රූපවාහිනි විනිසුරුවරුන් ලෙස ක්‍රියා කළ මයිකල් ගූෆ් සහ ඕ’ෂෝන්නෙස්සී මහත්වරුන් දෙදෙනා ද බ්‍රෝඩ්ට විරුද්ධව චෝදනා ගොනු කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. 

තමන් එම අවස්ථාවේ දී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බව ප්‍රකාශකොට සිටි බ්‍රෝඩ් තමන්ට එල්ල වන චෝදනා සත්‍ය නිසාවෙන් ලබා දී ඇති දඬුවම් සියල්ල පිළිගන්නා බව වැඩිදුරටත් සඳහන්කොට තිබුණි. ඒ අනුව මෙම ගැටලුව සමථයකට පත් කරමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමේ  අවශ්‍යතාවක් නොමැති බව ICCය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන්කොට තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<