සිම්බාබ්වේ – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය අතහැර දමයි

144

ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අතර තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතහැර දමන්නට සිම්බාබ්වේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ. සිම්බාබ්වේහි හදිසියේ වැඩිවූ කොරෝනා රෝගීන් නිසා මෙම තීරණය ගෙන තිබෙන්නේ එරට රජයේ නියමයන්ට ද අනුවය. 

ICCය කාන්තා ලෝක කුසලානය ගැනත් තීරණයක් ගනියි

සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තරගාවලිය නියමිත සෞඛ්‍යාරක්ෂිත නියමයන්ට අනුව පැවැත්වීමට අවසර ඉල්ලා ඇතත් දිනෙන් දින එරට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය වර්ධනය වන නිසා සිම්බාබ්වේ රජයේ ක්‍රීඩා සහ විනෝද කටයුතු පිළිබඳ කමිටුව පවසා ඇත්තේ විදෙස් කණ්ඩායම් වලට සිම්බාබ්වේ වෙත ඇතුළු වීමට තවමත් අවසර ලබා දිය නොහැකි බවයි. 

“අපි නම් ගොඩක් කැමතියි ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂිතව ඉක්මණින් ආරම්භ කරන්න. නමුත් අපිට තේරෙනවා රජය සෞඛ්‍යය සම්බන්ධව කරන අනතුරු ඇඟවීම් සහ ඔවුන් ඒ පිළිබඳව සැලකිලිමත් වන ආකාරය. ඒ නිසා ක්‍රීඩකයින්ගේ, තරග නිලධාරීන්ගේ, ස්වෙච්ඡා සේවකයින්ගේ, සේවා සම්පාදකයින්ගේ වගේම ප්‍රේක්ෂකයින්ගේ යන සියල්ලන්ගේම ආරක්ෂාව වෙනුවෙන් අපි තරගාවලිය අවලංගු කරනවා.” යයි සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරණ අධ්‍යක්ෂක ගිව්මෝර් මාර්කෝනි පවසා සිටියේය. 

මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි වීම, වසර පහක් ණය රහිතව සිටිමින් ආර්ථික සුරක්ෂිතතාව ළඟා කරගනිමින් සිටි සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයට දැඩි අවාසියක් වනු ඇත. ICCයේ අනුග්‍රහය ද ඇතිව සිම්බාබ්වේ කණ්ඩායම එතරම් තරග රහිතව 2019 වසර ගෙවූ අතර 2020 ඔවුන්ට ඉතා කාර්යබහුල වසරක් වීමට නියමිතව තිබුනි. 

“අපි ICCය එක්ක හොඳ ආර්ථික සැලැස්මක් සකසමින් සිටිනවා.” Mukuhlani විසින් Cricbuzz වෙත පවසා සිටියේය. 

“අපි වියදම් හොඳින් පාලනය කරනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය යළි ප්‍රතිසංවිධානය කරන්නට පියවර ගෙන තිබෙනවා. COVID-19 වෛරසය නැතිනම් අපි මේ වන විට බොහොම ස්ථාවර මට්ටමක සිටිනවා.” 

කොරෝනා තවත් තරගාවලියක් කල්දමයි

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ද අගෝස්තු මාසයේ දී සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලියක් ක්‍රීඩා කරන්නට නියමිතව සිටියත් එම තරගාවලියත් COVID-19 වෛරස ව්‍යාප්තිය නිසා අවලංගු වී ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<