Hurricanes වෙලින්ටන් පිටිය කළඹයි!

138
International Rugby

Investec Super Rugby Aotearoa 2020 තරගාවලිය යටතේ ක්‍රියාත්මක වූ තීරණාත්මක තරගයකින් ජය වාර්තා කිරීමට Hurricanes අද (08) සමත් විය. ඒ වෙලින්ටන් හී Sky ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවති ත‍රගයෙන් Chiefs ලකුණු 31-18ක් ලෙස පරාජයට පත් කරමිනි.

ශූරතාවේ සිහිනය රැකගනිමින් Blues පියවරක් ඉදිරියට!

Crusaders සහ Blues කණ්ඩායම්වලට අභියෝගයක් වෙමින් ශූරතාවලිය පිළිබඳ යම් හෝ බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය Hurricanes කණ්ඩායමට අතිශය වැදගත් වූ අතර Chiefs කණ්ඩායම ද අද දිනයේ දී තරග බිමට පිවිසියේ කෙසේ හෝ තම ජයග්‍රහණ ඉඩෝරයට තිත තැබීමේ දැඩි අධිෂ්ඨානයෙනි. 

Hurricanes පා පහරින් ආරම්භ වූ තරගයේ පළමු වෙඩිමුරය දියත් කරමින් ලකුණු පුවරුව සක්‍රිය කිරීමට Peter Umaga Jensen සමත් වූයේ 7 වන මිනිත්තුවේ දී ගෝල කණු ආසන්නයෙන්ම ධවල රේඛාව අභිබවා දිව යමිනි. Jordie Barrett අමතර ලකුණු එක්කිරීමේ කාර්‍යභාර්‍ය මැනවින් ඉටු කළේ Hurricanes කණ්ඩායම අපේක්ෂා කළ අඩිතාලම ඔවුන්ට සකසා දෙමිනි. (Hurricanes 07 – 00 Chiefs)

Chiefs කණ්ඩායම අවස්ථා කිහිපයක දී ම ප්‍රතිවාදී ආරක්ෂක වැට බිඳ දැමීමට දැඩි ලෙස වෑයම් කළත්, ඔවුන්ගේ එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කර හැරීමට Hurricanes ඉදිරිපෙළ සමත් විය. කෙසේ නමුත් 23 වැනි මිනිත්තුවේ දී Hurricanes ක්‍රීඩක Dane Coles off-side වරදට හසුවීමත් සමඟම උදා වූ දඬුවම් පහරින් උපරිම ඵල නෙලා ගැනීමට Damian Mckenzie හට හැකි වූයේ ගෝල කණු ඉදිරියෙන් ලැබුණු පහසු පා පහර නිවැරදිව එල්ලය වෙත ඉලක්කගත කරමිනි. (Hurricanes 07 – 03 Chiefs)

ආන්දෝලනාත්මක විනිසුරු මැද Crusaders ජය තහවුරුයි!

දිනයේ වාර්තා කළ දෙවන උත්සාහක දිනුමේ ගෞරවයත් තමන් සතුකරගත්  Umaga Jensen, Wes goosen සමඟ එක්ව දැකුම්කළු උත්සාහක දිනුමකින් Hurricanes ලකුණු පුවරුව පෝෂණය කළේ ප්‍රතිවාදී ක්‍රීඩකයින් වෙත දැඩි පීඩනයක් යොමු කරමිනි. Jordie Barrett විසින් එල්ල කළ පා පහර ගෝල කණු පසු කරමින් ඉවතට ඇඳී ගිය අතර ඉන් අනතුරුව කිසිදු කණ්ඩායමකට පළමු අර්ධය නිමාව වෙනතෙක් ලකුණු පුවරුවෙහි වෙනසක් සිදු කිරීමට නොහැකි විය. (Hurricanes 12 – 03 Chiefs)

පළමු අර්ධය: Hurricanes 12 (2T,1C)  – 03 (1P) Chiefs 

විවේක කාලයෙන් අනතුරුව ආක්‍රමණශීලී තරග රටාවකට අවතීර්ණ වූ Chiefs ක්‍රීඩකයින් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු දඩයම ආරම්භ කළේ Sean Wainuiගේ අපූරු උත්සාහක දිනුමත් සමඟිනි. ඊට එසැනින් ප්‍රතිචාර දැක්වූ  Hurricanes ක්‍රීඩක Dane Coles ප්‍රතිවාදි ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකු මඟ හරිමින් උත්සාහක දිනුම රේඛාව පසුකොට ගමන් කළේ ලකුණු පරතරය 7ක් දක්වා ඉහළ නංවාලමිනි. (Hurricanes 17 – 10 Chiefs)

ශූරතාවයේ බලාපොරොත්තු සමඟින් Blues ජයග්‍රාහී මාවතට

52 වැනි මිනිත්තුවේ දී උදා වූ දඬුවම් පහර අවස්ථාව ගෝල කණු අතරින් පා කර හැරීමේ වගකීම අකුරටම ඉටු කිරීමට Chiefs කණ්ඩායමේ Damian Mckenzie සමත් වූ නමුත් තවත් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමින් Chiefs කණ්ඩායමේ බලාපොරොත්තු එක්වරම සුනුවිසුනු කර දැමීමට Kobus Van Wyk ප්‍රමුඛ Hurricanes ක්‍රීඩකයෝ වගබලා ගත්හ. (Hurricanes 24 – 13 Chiefs)

Chiefs කණ්ඩායම නැවත වතාවක් තරගයට අවතීර්ණ වූයේ Mitch Karpick විසින් තම සුරතට ලැබුණු පන්දුව සුරක්ෂිතව ධවල රේඛාවෙන් ඔබ්බෙන් පතිත කිරීමට සමත් වීමත් සමඟිනි. කෙසේ නමුත් Chiefs ප්‍රේක්ෂකයින්ගේ සතුට කෙටි වේලාවකට පමණක් සීමා කරමින් Hurricanes කණ්ඩායම තරගයේ ජය නියත වශයෙන්ම තහවුරු කරගත්තේ 73 වැනි මිනිත්තුවේ දී Billy Proctor වාර්තා කළ දර්ශනීය උත්සාහක දිනුමත් සමඟිනි. (Hurricanes 31 – 18 Chiefs)

අවසන් ලකුණු තත්වය: Hurricanes 31 (5T,3C) – 18 (2T,2P,1C) Chiefs

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • Hurricanes – Peter Umaga Jensen (2T), Jordie Barrett (3C), Kobus Van Wyk (1T), Dane Coles (1T), Billy Proctor (1T)
  • Chiefs – Damian Mckenzie (2P,1C), Sean Wainui (1T), Mitchell Karpick (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<